තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 ඔක්තෝබර් 23, සඳුදා 12:46

විවිධ රසට දියබත් රෝග රැසකට ම ගුණයි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අපේ මුතුන් මිත්තන් ආහාර අපතේ යන්න දීපු ජාතියක් නොවේ. ඔවුන් පෝෂ්‍යදායි ආහාර අනුභවකළා. ඉතුරුවුණ ආහාර නරක්වීමට නොදි විවිධත්වයක් එකතු කරමින් නැවත ප්‍රයෝජනයට අරගත්තා. ඒක නිසා ඒ කාලෙ අයට ගැස්ට්‍රයිටීස් තිබුණෙ නෑ.

 

එදා හිටියේ නීරෝගි ජාතියක්. ඒකට විශේෂම හේතුවක් වුණේ එයාලගෙ ආහාර රටාව. හොඳ ආහාර පුරුදු. හෙළ බොජුන්වල ගුණ.

පෙරදින රාත්‍රියේ බත් ඉතුරුවුණා නම් පහුව දා ඒක කුණු ගොඩට විසි කළේ නෑ. ඒකෙන් රසවත් ගුණවත් අපුරු කෑමක් හැදුවා. ඒකට කියන්නෙ දියබත් කියලා. අපේ ගමේ ගොඩේ අයනම් තවමත් මේවා ප්‍රයෝජනයට ගන්නවා. මේ දියබත් විවිධ විදිහට හදන්න පුළුවන්. හොඳ ශක්තිජනක ආහාරයක්. ඒ වගේම ඇඟේ පතේ උෂ්ණය නිවන්නත් කදිමයි. දියබත් හදාගන්න අවශ්‍ය කරන්නෙ මෙන්න මේවායි.

හාල් හුණ්ඩුවක දෙකක (පෙර දින රාත්‍රියේ ඉතුරු වූ) බත්

පොල් බෑයක පමණ පොල්කිරි

රස අනුව දෙහි ඇඹුල්

රස අනුව ලුණු

සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස්, උම්බලකඩ කැබලි

 

හදාගන්නෙ මෙහෙමයි

රාත්‍රියේ ඉතුරු වු බත් මුට්ටියට වතුර කෝප්ප 2 ක් පමණ දමා රතුලූනු කපා දමා වසා තබන්න. පසුදා උදේට මෙම වතුර පෙරා බීමට ගත හැකියි. හිස්බඩ පානය කළ හැකි කදිම බීමක්. දියවැඩියා රෝගීන්ට, ආමාශ ප්‍රදාහය ඇති අයටත් ගුණදායකයි. ඉන්පසු ඉතිරි බත් හා රතුලූනු නෑඹිලියක දමා පොඩිකරගන්න. එයට පොල්බෑයක මිරිකාගත් කිරි, ලුණු, දෙහි ඇඹුල්, සිහින්ව කපාගත් අමුමිරිස් ටිකක්, උම්බලකඩ කළවම් කරන්න. උදෑසන ආහාරය සඳහාත් හරිම රසවත් කෑමක්.

මේ දියබත් වෙනස් ආකාරයකට පිළියෙල කරගන්නත් පුළුවන්. එහිදී අමු මිරිස්, රතුලුනු, උම්බලකඩ නොදා පොල්කිරි, ලුණු, දෙහි ඇඹුල් පමණක් යොදා දියබත් සකස්කරගන්න. කිතුල් හකුරුත් සමග ප්‍රයෝජනයට ගන්න. හරිම රසවත් ආහාරයක්. දිව හා තොල් පැලීම, කට දෙකොණ වනවීම, ශරීරයේ උෂ්ණාධික බව නැසීමට කදිම ඔසුවක් ලෙසත් මෙය ප්‍රයෝජනයට ගතහැකියි. මෙවන් දේශීය ආහාර පුරුදු අපෙන් ගිලිහෙමින් පැවතීම කණගාටුදායක දෙයක්.

ඉහත ආකාරයට දියබත් සකස්කරගෙන ලූනු, අමුමිරිස් සහ උම්බලකඩ දමා එය රම්පෙ කරපිංචා දමා තෙම්පරාදු කරගන්නත් පුළුවන්.

බලන්න, ඉවත දාන්න ගිය බත් ටික අරපිරිමැස්මෙන් විවිධ රසවලට හදාගන්න පුළුවන් තාක්ෂණය අපේ මුළු තැන්ගෙවල්වල කොතරම් අපූරුවට ප්‍රයෝජනයට අරගෙන තියෙනවද කියලා.

පොල් කන්න අකැමැති අයට, නැති නම් පොල්කිරි අගුණ අයටත් දියබත් හදලා දෙන්න පුළුවන්.

ඒ සඳහා පෙර පරිදි ම රාත්‍රියට ඉතිරිවූ බත්වලට ජලය දමා රතුලූනු කපා දමා වසා තබන්න. ඉන්පසු උදේ එය පොඩිකර එයට රස අනුව ලුනු, පුලුස්සාගත් වියලි මිරිස් කරල් කීපයක් කඩා එකතු කරන්න. උම්බලකඩ, රතුලූනු ටිකක් වැඩියෙන් එකතු කරගන්න. දෙහි යුෂ ද වැඩියෙන් එකතු කරගන්න. මේකට අපේ ගම්වල අය කියන්නේ ඇඹුල් දියබත් කියලා.

දියබත් පැණිරසට සකස්කර ගතහැකි තවත් ක්‍රමයක් තියෙනවා. මෙහිදී ඉතිරි වූ බත්වලට රටඉඳි (ඇට ඉවත්කර කැබලිවලට කඩා), වියළි මිදි අහුරක් පමණ දමා වතුර ස්වල්පයක් මිශ්‍රකර වසා තබනවා.

පහුවදා උදේ මෙයට උකුපොල්කිරි හෝ එළකිරි එකතුකරන අතර එයට ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් හෝ වෙනත් කෙසෙල් ගෙඩියක් සූරා එකතු කරනවා. ඉන්පසු කිතුල් පැණි හෝ ගාගත් කිතුල් හකුරු මිශ්‍ර කර ලුණු ස්වල්පයක් එකතු කර කෑමට ගන්නවා.

ඔබත් හදලා බලන්න. ඔබේ පවුලේ හැමෝම කැමැති වේවි. ආහාර නාස්තියක් නැතිවේවි. අපෙන් ගිලිහී යන ආහාර සංස්කෘතිය රැකගැනීමටත් ඉදිරි පරම්පරාවට මෙය දායාද කිරීමටත් හැකිවේවි.

බලන්න ගෘහණියගේ නොසැලකිල්ල නිසා දවසකට නිවෙසේ කොතරම් ආහාර ප්‍රමාණයක් අපතේ යනවාද කියලා. ඉතිරිවන බත්, පාන්, ඉඳිආප්ප, පිට්ටු වගේ දේවල්. මේවා භාවිත කරලා වෙනත් රසවත් ආහාර වර්ග හදාගන්න අපේ ගෘහණියන් දැනුවත් විය යුතුයි.

නිවෙසේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපට දායක විය හැකි එක් ක්‍රමයක් තමා ඒ. ආහාර සුරක්ෂිතතාව, අරපිරිමැස්ම පිළිබඳ දැනුම ගෘහණියකට ආභරණයක් වගේ. අරපිරිමැස්ම කියන්නෙ ලෝබකම නෙවෙයි. ඒ පිළිබඳ අපේ ගෘහණියන්ට තියන්නෙ වැරැදි වැටහීමක්. අපේ ගුරුවරියන් තුළත් එහෙමයි.

කිසිම අරපිරිමැස්මක් නෑ. සමාජය ඉදිරියේ තම පුරාජේරුව පෙන්වන්න ගිහින් නැති නාස්ති කරගන්නෙ තමන්ගෙ දේපළමයි. රැකියාවට යනකොට අපි දිවා ආහාරය රැගෙන යනවා. සමහරවිට උදේ ආහාරයත් ගෙනියන අය ඉන්නවා.

මේ අයගෙන් සමහර අය තමන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොවේ රැගෙන යන්නෙ. ලොකුවට පේන්න දෙතුන් දෙනකුට ප්‍රමාණවත් ආහාර. අපරාදෙ ටිකක් කාල වැඩිහරිය වීසිකරනවා. තමන්ගේ මුදල් පමණක් නොවේ එයින් නාස්ති වෙන්නෙ. තමන්ගෙ කාලය, ශ්‍රමය, ඉන්ධන මේවගේ ගොඩක් දේවල් අපතේ යනව කියලා මේ අයට තේරෙන්නෙ නැහැ.

තමන්ට ප්‍රමාණවත් තරම් ආහාර ගෙනගියා නම් මේ සේරම ඉතුරු වෙනවනෙ. අපි මේ පිළිබඳ අපේ ළමයින්වත් දැනුවත් කළ යුතුයි.

රටට පේන්න නෙවෙයි අප වැඩ කළයුත්තේ. අපට පුළුවන් විදිහටයි. නිහතමානිව ඒ දේවල් කළ හැකි නම් රටට ණයකාරයො නොවී බොහොම ලස්සනට ජීවත්වෙන්න අපට පුළුවන්. අපි හිතන විදිහ වෙනස්කරගන්න ඕනෙ අනිත් අයට ඕනෙ විදිහට නෙවෙයි. අපිට හරියි කියලා හිතෙන විදිහට.

අනාගතය බාරගන්න ඉන්න අපේ දරුවන්ට හරිදේ හරි විදිහට දකින්න කියලා දෙන්නයි ඕනෙ. නවීන තාක්ෂණය සමඟ මං මුලාවී සිටින දරුවන් එයින් බේරගන්න.

ඔවුන්ට නියම මාර්ගය පෙන්නලා දෙන්න අපි කවුරුත් ඉක්මන් වෙන්න ඕනෙ කාලයක් මේක. පිරිමැස්ම, පිරිසුදුකම, පිළිවෙළ පිළිබඳ දැනුම ඔවුන්ට දායාද කළ යුතුයි. නිවැරැදි ආහාර රටා, යහපත් ආහාර පුරුදු ඇති කළ යුතුයි.

සමහර මවුපියො ඉන්නව වෙළෙඳපොළේ තියෙන හැම කෑම බීමක්ම ළමයින්ට අරන් දෙනවා. ඒව අහිතරකයි කියලා හිතන්නෙ නෑ. දරුවනට වස කවන මවු පියවරු තමා ඒ. එනිසා අපි ඉදිරියේදී යහපත් ආහාර භාවිතය පිළිබඳ අපේ වටිනා ආහාර සංස්කෘතිය පිළිබඳව දැනුවත් වෙමු.

 

ඉදිරිපත් කිරීම

එච්. එම්. ඉන්ද්‍රානි විජයබණ්ඩාර

ගෘහ ආර්ථික විද්‍යා හා උපදේශන හා මාර්ගෝපදේශන ආචාරිනී

(ශාස්ත්‍රවේදී උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපනපති පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

1167 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න