තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 ඔක්තෝබර් 23, සඳුදා 14:45

පොඩ්ඩාගේ කෑම පෙට්ටියට රසම රස කෑම විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම / වින්ධ්‍යා පාදුක්කගේ
අගයන්න
(0 මනාප)
සිනාසලන සුදු සමනල රෑනක් වාගේ පුංචි පැංචෝ පැංචියෝ උදෑසනම පාසල් යන්න ලක ලැහැස්ති වෙනවා. මූණකට හෝදවලා, ඇඳුම් අන්දවලා, පුංචි බංඩිවලට මොනවා හරි ගිල්ලවන්නත් එක්ක අම්මලා නම් පොඩි යුද්ධයක් කරනවා.

 

ඒ විතරක්ද... මේ පැටවුන්ගේ උදේ කෑම පෙට්ටිවලට දාන කෑම ටික හදා ගන්නත් අම්මලා වද වෙනවා. මොකද දන්නවද... පුංචි පැටවු රස කෑම කන්න වාගේම... තෝරන්නත් හරිම දක්ෂයි. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කරන්නත් එයාලා හරි කැමැතියි. ඉතින් අම්මලාගේ ඒ ගැටලුවට පුංචි විසඳුමක් හැටියට තමයි අද අපේ රස කෑම අතිරේකය වෙන් වන්නේ. ඔයාලා හැමදාමත් හදන කෑමවලට පොඩි වෙනසක් එකතු කරලා මේ විදිහට කෑම පෙට්ටිය පුරවලා බලන්න. පොඩ්ඩෝ හැමදාමත් ඉල්ලාවි.

ඒ වගේම තමයි උදේ පාන්දර මේ වාගේ විවිධ කෑම ජාති හදන්න කොහෙද අපිට වෙලාවක් තියෙන්නෙ කියලත් අම්මලා අසාවි. හැබැයි එළවළු වාගේ දේවල් හෝදලා... කපලා තියාගන්නවා නම්, පාන්, රොටි වාගේ දේවල්වලට පිටි අනලා තියාගත්තොත් කාල වේලාව ගැන ගැටලුවක් නැහැ. ලේසියි... පහසුයි.

ඉතින් හැමදාමත් වෙනස්ම රස කෑම ගැන තරුණීට ලියන Shikifood  හරහා ජාත්‍යන්තරයට ගිය අපේ හිටපු ළෙන්ගතු මාධ්‍යවේදී සොයුරියක්වන තිසරි ශිඛා රණසිංහ තමයි මේ සුවිශේෂි කෑම අතිරේකයත් ඔබට පිරිනමන්නේ.

  

මැකරෝනි බයිට්

පැස්ටා, මැකරෝනි, නුඩ්ලස් වාගේ දේවල් කොයිකාටත් ඉතා ලෙහෙසියෙන්ම සාදාගන්න පුළුවනි.

නමුත් මැකරෝනි බයිට්...? ඇතැම්විට ඔබ අහලත් නැතුව ඇති. බයිට් එකක් කිව්වට මේක සැහැල්ලු කෙටි කෑමක්. උත්සාහ කරලා බලන්නකෝ... පොඩ්ඩගේ ප්‍රතිචාරය කොහොමද කියලා...

අවශ්‍ය ද්‍රව්‍ය

මැකරෝනි කෝප්පයක්

බටර් මේස හැඳි 02 ක්

පිටි මේස හැන්දක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2 ක්

සිහින්ව ගාගත් චිස් කෝප්ප 02 ක්

ක්‍රීම් චීස් මේස හැඳි 04 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

ගම්මිරිස් තේ හැඳි 1/4 ක්

බීට් කරගත් බිත්තරයක්

සාදාගන්නා ආකාරය

පළමුව සාමාන්‍ය පරිදි මැකරෝනි ටික තම්බා ගන්න. දැන් භාජනයක් ගෙන එයට බටර් සහ පිටි දමා ළිපේ තබන්න. බටර් දිය වෙනතුරු හොඳින් කලවම් කරමින් පිස ගන්න. මෙය ක්‍රීම් එකක් ලෙස සෑදුණු පසු එයට ෆ්‍රෙෂ් මිල්ක් එකතුකරන්න. එයටම සිහින්ව ගාගත් චිස් කෝප්ප 1 1/2 ක්, ක්‍රීම් චීස්, ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. මෙය ක්‍රීම් එකක් සේ සෑදෙනතෙක් හැඳිගාමින් පිසගන්න. දැන් එය ළිපෙන් ඉවත්කර පසෙකින් තබන්න.

තරමක භාජනයක් ගෙන එයට කලින් තම්බාගත් මැකරෝනි ටික දමන්න. දැන් මෙයට සාදාගත් චීස් සෝස් එක සහ ගසාගත් බිත්තරය එකතුකර හොඳින් කලවම් කරන්න. ඉන්පසුව බටර් ගාගත් මෆින් කප්වලට මෙම මිශ්‍රණය දමන්න. දැන් ඉතිරි චීස් කෝප්ප භාගයෙන් ටික ටික ගෙන මිශ්‍රණය දමාගත් සෑම මෆින් කප් එකක් උඩින්ම ඉසින්න. ෆැරන්හයිට් අංශක 400 උෂ්ණත්වයෙන් කලින් රත්කරගත් අවන් එකක විනාඩි 15 ක් පමණ බේක් කරගන්න.

**************************

පෆ් පේස්ට්‍රි

 

පේස්ට්‍රි කිව්වාමත් ඉතින් කවුද නොදන්නේ, ඒ වගේම කන්න අකැමැති කෙනකුත් නැතිතරම්. නමුත් පේස්ට්‍රි හදන්න කොච්චර වෙලාවක් යනවද? උදේ තියෙන ගෙදර යුද්ධෙත් එක්ක පේස්ට්‍රි හද හද ඉන්න පුළුවන්ද? මේවා තමයි අම්මලාට දැන් එන ලොකුම ගැටලුව.

නමුත් ඒ ගැන හිතලා කරදර වෙන්න ඕනේ කාලේ ඉවරයි. දැන් වෙනකොට වෙළෙඳපොළේ පෆ් පේස්ට්‍රි ෂීට් හදලා අලෙවි කරන්න තියෙනවා. ඉන් පැකට්ටුවක් මිලදීගෙන ගෙදරදීම අම්මලාට ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව පෆ් පේස්ට්‍රි හදාගන්න පුළුවන්. පේස්ට්‍රි කඩවල් ගානේ ගිහින් පේස්ට්‍රි ඉල්ලලා කරදර කරන පොඩි අයට මේක හොඳ විසඳුමක් නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

පෆ් පේස්ට්‍රි ශීට් පැකැට්ටුවක්

තම්බා පොඩිකරගත් අල කෝප්පයක්

පොඩි කරගත් සැමන් කෝප්පයක්

කුඩාවට කපාගත් රටලූනු ගෙඩියක්

තළාගත් සුදුලූනු සහ ඉඟුරු ස්වල්පයක්

කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1/2 ක්

කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 04 ක්

රම්පෙ, කරපිංචා, එනසාල්, කුරුඳු

අවශ්‍ය පමණ

මිරිස් කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ටිකක්

කහ ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

ලුණු හා දෙහි රස අනුව

අබ ස්වල්පයක්

පොල්තෙල්

බිත්තරයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත් කරගන්න. තෙල් හොඳින් රත් වූ පසු අබ ස්වල්පයක් දමා පුපුරවා ගන්න. දැන් ලූනු, සුදුලූනු. කරපිංචා, රම්පෙ, කුරුඳු, එනසාල් දමන්න. මේවා දුඹුරු පැහැ ගැන්වෙන විට මිරිස්කුඩු, කහ, ගම්මිරිස්, තුනපහ, ලුණු දමාගෙන තරමක් බැදගන්න. කර කරගන්න එපා. දැන් මෙයටම අල, මාළු, තක්කාලි, අමුමිරිස් ආදියත් දමා හොඳින් කලවම් කරන්න. මෙය මඳගින්නේ විනාඩි කිහිපයක් පිසගන්න. අවසානයේ ළිපෙන් බාගෙන දෙහි ඉස්ම එක්කර ගන්න.

දැන් පෆ් පේස්ට්‍රි පැකට් එක ගෙන එක් ශීට් එකක් මැදට කලින් සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් තබාගෙන ශීට් එක කැමැති ආකාරයකට නමා ගන්න. බිත්තරය ගෙන කඩා එහි සාරු පින්සලක් ආධාරයෙන් පේස්ට්‍රියේ උඩින් හොඳින් තවරන්න. එවැනි පේස්ට්‍රි කිහිපයක් සාදාගෙන ට්‍රේ එකක් මත තබා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20 - 25 ක් පමණ බේක් කරගන්න.

**************************

කැරට් චීස් බයිට්

  කැරට්, චීස්, බටර් වාගේ කිරි රසයට හැපෙන ආහාරවලට පුංචි පැටවු කොහොමටත් කැමැතියි.

ඉතින් කැරට් සහ චීස් එකතු කරලා හදන මේ අපූරු රසවත් කැරට් චීස් බයිට් එක පාසල් ගෙනිහින් රස විඳින්න කවුද අකැමැති වෙන්නෙ. වෙනස්ම දෙයක් හින්දා හැමදාමත් ඉල්ලාවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් කැරට් ගෙඩියක්

බිත්තර ගෙඩියක්

බටර් මේස හැඳි 03 ක්

කිරි කෝප්පයක්

පාන් පිටි මේස හැඳි 4 - 5 ක්

මොසරැල්ලා චීස් කෝප්පයක්

රස පදමට ලුණු සහ ගම්මිරිස්

 

සාදන ක්‍රමය

බඳුනක් ගෙන එයට පාන් පිටි සහ බටර් දමා එකට මිශ්‍රකරන්න. අනතුරුව එය අඩු ගින්දරේ විනාඩි දෙක තුනක් ළිප තබන්න. මෙම මිශ්‍රණය කැටි ගැසීමට නොදී හොඳින් ගසා ගන්න.

දැන් ළිපෙන් ඉවතට ගෙන එය වෙනත් බඳුනකට දමන්න.

එයටම ගසාගත් බිත්තරය, ගාගත් කැරට් සහ කිරි ටික එකතු කරන්න. ලුණු සහ ගම්මිරිස් ද රස අනුව එකතු කරන්න. ඉන්පසුව මෙය හොඳින් කලවම් කරන්න. (මේ මිශ්‍රණය එතරම් දියාරු නැහැ වාගේම ඝනකම් ස්වභාවයකුත් නැහැ.)

අනතුරුව මෆින් ට්‍රේ එකක් ගෙන එයට බටර් ටිකක් ගාගන්න. මෙම මිශ්‍රණයෙන් ටික ටික මෆින් කප්වලට දමන්න.

සෑම කප් එකක් උඩින්ම මොසරැල්ලා චීස් ටිකක් ද ඉසින්න. ඉන්පසුව ෆැරන්හයිට් අංශක 400 උෂ්ණත්වයෙන් උදුන රත්කර මෙම මෆින් ට්‍රේ එක දමා විනාඩි 15 ක් 20 ක් බේක් කරගන්න.

උදුනෙන් උදුනට මේ උෂ්ණත්වය වෙනස්වන බැවින් ටූත් පික් එකක් ගසා බලන්න. එය ඇලෙන්නේ නැතිනම් හරියටම කැරට් බයිට් ටික බේක් වෙලා.

**************************

මාළු මිරිස් පැටිස්

 

පැටිස් නම් ඉතින් අපි කවුරුත් අහලත් තියෙනවා. කාලත් තියෙනවා. දැකලත් තියෙනවා. හැබැයි මාළු මිරිස් පැටිස් කිව්වාම ටිකක් නුහුරුයි නේද? කොහොම වුණත් දැන් කියලා දෙන්න හදන්නේ, මාළු මිරිස් පැටිස් හදාගන්න විදිහ.

හදාගන්නත් ලේසියි. ඒ වාගේම රසයි. පොඩ්ඩො විතරක් නෙමෙයි, වැඩිහිටියෝ වුණාත් ගොඩක් කැමැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

මාළු මිරිස්

පිරවුම සඳහා

සැමන් ටින් එකක්

අල ගෙඩි 04 - 05 ක් පමණ

සිහින්ව කපාගත් රට ලූනු ගෙඩියක්

සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 04 ක් 05ක්

තළාගත් ඉඟුරු, සුදු, ලූනු

කරංපිංචා, රම්පෙ, සේර

කුරුඳු කැබැල්ලක්

තළාගත් එනසාල් කරල් කිහිපයක්

කෑලි මිරිස් ස්වල්පයක්

කහ, තුනපහ හා ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින්

රස අනුව ලුණු

බැද ගැනීමට තෙල්

ඩෝ එක සඳහා

පිටි කෝප්ප 1 හෝ 1 1/2ක්

බටර් මේස හැඳි 02ක්

රස අනුව ලුණු

ශීතකළ ජලය අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය

මාළු මිරිස් සෝදාගෙන මඳ රස්නය සහිත වතුර භාජනයක විනාඩි 10 ක් පමණ තබා වතුර බේරාගන්න. දැන් එකින් එක මාළු මිරිස් කරල් රැගෙන ඇතුළට පිරවිය හැකි ලෙස දික් අතට පලා ඇට ඉවත් කර ගන්න. (වෙන් කරගන්න එපා) පැත්තකින් තියන්න.

අල සෝදා තම්බාගෙන පොත්ත ඉවත්කර අතින් පොඩිකර ගන්න. සැමන් ටින් එක විවරකර එහි දියර ඉවත් කර සැමන් අතින් පොඩිකර පැත්තකින් තියන්න.

මැටි භාජනයක් ළිප තබා තෙම්පරාදුවට ඇතිවන ලෙස තෙල් දමන්න. තෙල් රත් වූ විට තළාගත් ඉඟුරු, සුදුලූනු කරපිංචා, රම්පෙ, සේර, කුරුඳු, රටලූනු හා ගම්මිරිස් තෙලට එකතු කරන්න. එයටම කහ, තුනපහ, ගම්මිරිස්, කෑලි මිරිස් සහ ලූනු දමා හොඳින් කලවම් කරන්න. දැන් අල සහ සැමන් එකතුකර හැන්දකින් නැවත කලවම් කරන්න. මඳ රස්නයෙන් ටික වේලාවක් පිසගන්න. (කර වෙන්න දෙන්න එපා) ටික වේලාවකින් ළිපෙන් ඉවත්කර ගන්න. මිශ්‍රණය නිවෙන්නට හරින්න. කළින් කපාගත් මාළු මිරිස් ඇතුළට මෙම මිශ්‍රණය පුරවා ගන්න. පුරවනකොට හසුවෙන කුරුඳු , එනසාල්, රම්පෙ කැබැලි ඉවත් කරන්නත් අමතක කරන්න එපා. සේරම මාළු මිරිස් මෙසේ පුරවා පැත්තකින් තබන්න.

දැන් පැටිස් ඩෝ එක සාදා ගනිමු.

පැටිස් ඩෝ එකට පිටි, බටර්, සහ රස අනුව ලුණු ස්වල්පයක් ද දමා ශිතකළ ජලයෙන් අනාගන්න.

වතුර වැඩි කරගන්න එපා. වතුර වැඩි වුණොත් තවත් පිටි ටිකක් එකතුකර ගන්න. මෙසේ හොඳින් අනාගත් පැටිස් ඩෝ එක හරිම සොෆ්ට්. දැන් මෙම ඩෝ එක පිටි ඉස ගත් ලෑල්ලක දමා පුළුවන් තරම් හොඳට තුනී කරගන්න. දැන් මෙයින් තීරු කපාගන්න.

දැන් එකින් එක පුරවාගත් මාළු මිරිස් අරගෙන කපාගත් තීරු මාළු මිරිස්වල අලවන්න. තෙල් තාච්චියක් ළිප තබා ගැඹුරු තෙලේ බැදගන්න. කැමැති සෝස් වර්ගයකුත් කෑම පෙට්ටියට දමලා යවන්න අමතක කරන්න එපා.

 

නම ටිකක් අමුතුයි නේද? නම කෙසේ වෙතත් මේක රසම රස ඉතාලි ආහාරයක්.

නත්තල් සමරන අයට නම් තරමක් හුරු ඇති. ඉතාම පහසුවෙන් සකසා ගත හැකි මෙම කෙටි ආහාරය පොඩිත්තන්ගේ කෑම පෙට්ටියටත් ගැළපෙන නිසා අපි මෙම වට්ටෝරුවත් ඉදිරිපත් කරන්න හිතුවා. ළඟ එන නත්තල සමරන්නත් මෙම ආහාරය කදිමට ගැළපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉතාලි පාන් ගෙඩියක්

අලිගැටපේර ගෙඩි දෙකක්

රට ලූනු ගෙඩියක්

පාස්ලි කොළ කිහිපයක්

සුදුලූනු ගෙඩි 02 ක් හෝ 03 ක්

ඕචතඵචථඪජ විනාකිරි 1/4 ක්

දෙහි යුෂ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

තක්කාලි, රතුලූනු හා සුදුලූනු කුඩාවට කොටු කපාගන්න. පාස්ලි ටික සිහින්ව ලියා ගන්න. භාජනයක් රැගෙන කපාගත් මේ සියල්ලම එයට දමන්න. ගම්මිරිස් සහ දෙහි යුෂ ද මෙයට එක් කරන්න. ඔලිව් ඔයිල් ද එකතු කරන්න. දැන් මේ සියල්ලම හොඳින් කලවම් කරන්න. සාදාගත් මෙම මිශ්‍රණය ශීතකරණයේ ටික වේලාවක් තබන්න.

ඒ අතරතුර දී පාන් ටික සුදානම් කර ගත යුතුයි. මේ සඳහා පාන් ටික සිහින් පෙතිවලට කපාගෙන ඒවා අවන් එකේ දමා ටෝස්ට් කරගන්න. දැන් පාන් ටික එළියට අරගෙන බ්‍රෂ් එකකින් පාන් මත ඔලිව් ඔයිල් ගා ගන්න. දැන් සුදුලූනු ගෙඩියක් සෝදා හොඳින් ශුද්ධකර දෙකට කපා ඔලිව් ඔයිල් තවරාගත් පාන් මත සුදු ලුනු ගෙඩිය අතුල්ලා ගන්න.

අලිගැටපේර ගෙඩිය ගෙන සිහින්ව කපාගන්න. සකසා ගත් පාන් පෙති ට්‍රේ එකක් මතින් තියන්න. එයට උඩින් සිහින්ව කපාගත් අලිගැටපේර තීරු දෙකක් තියන්න. දැන් ශීතකරණයෙන් එළියට ගත් තක්කාලි සැලඩ් එක මේ අලිගැට පේර මතින් තියන්න. අන්තිමට ඕචතඵචථඪජ විනාකිරි සෑම පාන් පෙත්තක් උඩින්ම වත්කර කෑම පෙට්ටියට දමන්න.

**************************

වොෆල්ස්

ඔබ ටෝස්ට් කරගත් ටෝස්ටඩ් කේක් කාලා ඇතිනේ... ඒ වගේමයි වොෆල්. වොෆලුත් ඉතාම ඉක්මනින් සකසා ගන්න පුළුවන්. කෙටි ආහාරයක්.

වොෆල්ස් හදන්න නම් වොෆල් මේකරයක් තියෙන්න ඕනේ. වොෆල් මේකර් තියෙන අයට මේ විදියට වොෆල්ස් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් මේස හැඳි 03 ක්

පාන්පිටි කෝප්ප 1 1 /2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක්

ලුණු ස්වල්පයක්

සීනි මේස හැඳි 02 ක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2 ක්

බිත්තර 02 ක්

සාදාගන්නා ආකාරය

බටර් ටික මයික්‍රොවේව් එකක දමා හෝ භාජනයක් ළිප තබා හෝ දියකර ගන්න. අලුත් භාජනයක් රැගෙන එයට පිටි, බේකිං පවුඩර්, ලුණු, සහ සීනි දමා කලවම් කරගන්න. තවත් භාජනයක් ගෙන එයට බිත්තර සහ කිරි දමා හොඳින් ගසා ගන්න. මෙම මිශ්‍රණයටම පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න. දියකරගත් බටර් ද මෙයට දමන්න.

දැන් වොෆල් මේකරය රත් වෙන්නට තබන්න. රත් වූ මේකරය මත බ්‍රෂ් එකක් ආධාරයෙන් බටර් තවරාගන්න. දැන් හැන්දකින් මිශ්‍රණය ටිකෙන් ටික වොෆල් මේකරය මතට වත් කරන්න. මේකරය වසා අවශ්‍ය වේලාව තෙක් රත්කර ගන්න. මේ සඳහා විනාඩි පහක් විතර ගත වේවි. කැමැති නම් කෙසෙල් හෝ ස්ට්‍රෝබෙරි හෝ ගෝල්ඩන් සිරප් ටිකකුත් වොෆල් එක්ක කෑම පෙට්ටියට දාන්න අමතක කරන්න එපා.

**************************

මෆින්

 

මෆින් කියන්නේ නම් ඉතින් ගෙදර තියෙන උදේ යුද්ධත් එක්ක අම්මලාට ඉක්මනින්ම සකසා ගන්න බැරි ආහාරයක්. නමුත් සති අන්තයේ දී හෝ මෆින් ටිකක් හදලා තියාගත්තොත් නම් එය වඩාත් පහසුවක් වේවි.

ඒ වගේම පොඩ්ඩට ඇතිවන පොඩි බඩගිනි නිවන්නත් මෆින් සෑහෙන ලොකු උපකාරයක් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 2 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 3 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

කුරුඳු පවුඩර් තේ හැඳි 1/2 ක්

පොඩිකරගත් ලොකු කෙසෙල්

ගෙඩි 04 ක්

(පොඩි ගෙඩි නම් 5 ක් හෝ 6 ක් පමණ)

සීනි කෝප්ප 1 1/2 ක්

බටර් කෝප්ප 3/4 ක්

බිත්තර 02 ක්

වැනිලා තේ හැන්දක්

කුඩාවට කපාගත්

කජු කෝප්ප 1/2 ක්

 

සාදන අයුරු

ලොකු භාජනයක් ගෙන එයට පිටි, බේකිං පවුඩර්, කුරුඳු පවුඩර් හා ලුණු දමා හොඳින් කලවම් කරන්න. වෙනත් භාජනයක් ගෙන එයට පොඩිකරගත් කෙසෙල් හා සීනි දමා බීටරයකින් බීට් කරගන්න.

දැන් එයට බටර්, බිත්තර සහ වැනිලා එකතුකර නැවතත් බීට් කරන්න. මෙයට පිටි ටික ටික දමමින් හැන්දකින් කලවම් කරන්න. කුඩා කජු කැබලි එකතුකර නැවත කලවම් කරන්න. මෆින් ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න. දැන් මිශ්‍රණයෙන් ටික ටික ට්‍රේ එකට දමන්න. ෆැරන්හයිට් අංශක 350 උෂ්ණත්වයේ කලින් රත්කරගත් අවන් එකක විනාඩි 15 - 20 ක් පමණ වේලා බේක් කරගන්න. ටූත් පික් එකක් ගැහුවම මිශ්‍රණය එයට ඇලෙන්නේ නැත්නම් හරියටම බේක් වෙලා. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය අඩු වැඩිවන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.

**************************

පාට පාට සැන්ඩ්විච්

පොඩ්ඩගෙ කෑම පෙට්ටිය පාට පාටින් තියෙන කොට තමයි ලස්සන. පොඩි පැටවුන්ට කෑම කන්න ආස හිතෙන්නෙත් එතකොට.

ඉතින් අපේ අම්මලාට පුළුවන් පොඩ්ඩගෙ කෑම පෙට්ටිය පාට පාට පිරුණු සැන්ඩ්විච් වලින් පුරවලා අරින්න. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 08 ක් පමණ

තම්බාගත් කැරට් ගෙඩියක්

තම්බාගත් බීට්රූට් ගෙඩියක්

ඉදුණු අලිගැටපේර ගෙඩියක්

සිහින්ව ලියාගත් රටලූණු ගෙඩියක්

සිහින්ව ලියාගත් අමුමිරිස් කරලක්, දෙකක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු රස පදමට

බටර් අවශ්‍ය ප්‍රමාණයට

දෙහි ඉස්ම ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

කුඩා භාජන තුනක් ගන්න. එයට වෙන වෙනම පොඩි කරගත් කැරට්, බීට්රූට් සහ අලිගැට පේර දමන්න.

කැරට් භාජනයටම සිහින්ව කපාගත් රටලුණු, අමුමිරිස්, ගම්මිරිස් සහ ලුණු දමා හැන්දකින් කලවම්කර පසෙකින් තියන්න. දැන් පාන් පෙති දෙකක් ගෙන එක පැත්තක බටර් ගාන්න. අනෙක් පැත්තේ කැරට් මිශ්‍රණය තියා පාන් දෙක වසා ගන්න. තවත් පෙත්තක් ගෙන එහි බීට්රූට් මිශ්‍රණය තවරා එය සකසා ගත් පාන් පෙති මතින් තබන්න. බීට්රූට් තැවරූ පාන් පෙත්ත උඩ නැවත බටර් ගාන්න. තවත් පාන් පෙත්තක් ගෙන අලිගැටපේර මිශ්‍රණය ගා වසා ගන්න.

දැන් එක උඩ එක සිටින සේ පාන් පෙති හතරක් හදලා ඉවරයි. දැන් ඒ පෙති වටේ ඇති වාට් කපාගන්න. දැන් කැමැති හැඩයකට පාන් පෙති කපා කෑම පෙට්ටියේ අසුරා ගන්න.

දැන් ගොඩාක් අය හිතයි, අලිගැටපේර එක්ක පාන් කන්න පුළුවන් ද කියලා. ඔව් පුළුවන්. මේ විදිහට සැන්ඩ්විච් හැදුවාම චූටි පැටව් විතරක් නෙමෙයි වැඩිහිටියෝ වුණත් කන්න කැමැති වේවි.

උපදෙස්

Shikifood  හී තසරි ශිඛා රණසිංහ

912 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 14:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න