තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 ජනවාරි 02, අඟහරුවාදා 14:05

බියුටි ක්වීන් සම්මානයට වඩා ජනාධිපති සම්මානය වටිනවා.... විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
ඇය අපට ආදර්ශයකි. ඒ මක්නිසාදැයි ඔබ සිතාවි. වයසට පෙර වයසට යන අපේ ඇතැම් කාන්තාවන්ට රූපය ලස්සනට තබා ගත යුතු බව ඇය ආදර්ශයෙන් පෙන්වන්නී ය.

 

බොරු සෝබන නැති, සරල ගති පැවතුම් ඇති නිසාම ඇගේ රුව වඩාත් වර්ධනය වනබව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ඉංගී‍්‍රසි පන්නයේ අය ඇසුරු කළත් ඉංගී‍්‍රසි භාෂාව මනාව හැසිරවිය හැකි වුවත් ඇයට මනා ලෙස සිංහල භාෂාවද හැසිරවිය හැකිය. ආගම ධර්මය ද දන්නී ය. මේ සියල්ල නිසා ඇය අපට ආදර්ශවත් කාන්තාවකි.

බර්නි... කිව්වම අපිට සිහියට එන්නේ ලස්සන රූපයක්.. කොහොමද ඔයා මේ ලස්සන රූපය රැක ගන්නේ...

මම මේ රූපය රැක ගන්න මහන්සි වෙනවා.. එහෙම නෑ කිව්වොත් බොරුවක් වෙනවනේ.. පිටින් අපි මොන දේ ගෑවත්, කෑවත් වැඩක් නෑ, අපේ හිතේ නරක සිතුවිලි තියෙනවා නම්. මොකද ඒවා පිටට පේන්නේ නැති වුණත් ඊර්ෂ්‍යාව, කුහකකම, අහංකාරකම වගේ දේවල්වලින් අපිට නොදැනිම අපේ සිතුවිලි මඟින් සිරුරට බලපෑම් කරනවා. ඒ වගේම තමයි ලස්සන වෙන්න කියලා මොන මොන දේ කළත් වැඩක් නෑ පිරිසුදුව ඉන්න බැරි නම්. පිරිසුදුකම ලස්සන වීමට බලපාන වැදගත් ම සාධකයක්. මම මගේ ඇඟේ පෙනුම ගැන සැලකිලිමත්. මහත්වේගන එනවා වගේ දැනෙනවා නම් ඒකට ව්‍යායාම, ක්‍රීඩා එහෙම කරනවා. නිතරම කාර්යක්ෂමව වැඩ කරනවා. ඒකත් ඇඟට හොඳ ව්‍යායාමයක් තමයි. අපි අලස විදියට ඉන්නවා නම් කොහොමත් ගොම ගොඩවල් වගේ.

අපේ ගොඩක් අයට තියෙන්නේ තමා විසින්ම හදා ගත්ත රාමුවක කොටු වීමයි. අනේ දැන් මං වයසයි කියලා හිතනවා. එහෙම හිතලා මානසිකව වැටෙනවා. ලස්සනට ඉන්න එක අතහරිනවා. එහෙම වෙන්න ඕන නෑ. මේවා අපි විසින්ම හදා ගන්න දේවල්. අපිට අපි ගැන හිතන්න පුළුවන්.

මගේ චරිතය ගත්තොත්, මම ලස්සනට ඉන්න කැමැතියි. ඒ නිසා අනිත් අය ලස්සන කරන්නත් කැමැතියි.

කොහොමද රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණේ...

මම රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න කලින් බිරියක් මවක්.. නුවර ඉඳලා කොළඹ ඇවිල්ලා කසාද බැඳලා දරුවො දෙන්නෙකුත් ලැබුණා. පුතාලා දෙන්නා ටිකක් ලොකු වෙලා පාසල් ගියාම මට ගෙදර නිකන් ඉන්න කම්මැලි හිතුණා. ඒ නිසා ගෙවල් ළඟ තිබුණු සැලෝන් එකක අත් උදවුවට ගියා.. ඒ ගිය ගමන මේ දක්වාම ආවා.. මම පොඩි කාලෙ ඉඳලම මේ දේවල්වලට ආසයි. නිළියක් වෙන්නත් ආසාවෙන් හිටියේ.. රූපලාවණ්‍ය ඉගෙන ගන්න කාලේ මේ තරම් දුරක් එයි කියලා හිතුණේ නෑ. ඒ දවස්වල ගෙදර නිකන් ඉන්න බැරිකමටයි මේ දේවල් කළේ.

මේ දේවල් කරනවට සැමියාගෙන් විරුද්ධත්වයක් ආවෙ නැද්ද?

අනේ නෑ. එයා කැමැති වුණා මට දක්ෂතාවක් තියෙනවා නම් ඇයි ඒ දේ නොකර ඉන්නේ කියන සිතිවිල්ලේ තමයි ඔහු හිටියේ. ඇත්තටම මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තට ම කම්මැලි අයට මේ ජොබ් එක කරන්න බෑ.. රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සැමියකුටත් යම් යම් කැප කිරීම් කරන්න සිද්ධවෙනවා. තේ එකක්වත් තනියම හදාගන්න බැරි, එහෙම කරන්න අකැමැති සැමියෙක් එක්ක මේ වගේ ගමනක් යන්න අමාරුයි.

මේ ලැබුණු ජනාධිපති සම්මානය ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?

අපි වැඩ කරන්නේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒක ඇත්ත. ඒත් සම්මානයක් කියන්නේ ඇගයීමක්. අවුරුදු 25කට වඩා මේ ක්ෂේත්‍රයේ වැඩ කළාටයි අපිට මේක ලැබුණේ.. මේ සම්මානයෙන් අපි මේතරම් කාලයක් මහන්සිවෙලා වැඩ කළා කියලා තෘප්තියක් ලැබුණා. මේක අපිට ලැබුණේ ප්‍රේමසිරි හේවාවසම් නිසා.. එයා තමයි මෙහෙම දෙයක් ගැන හිතුවේ.. ඇත්තටම හැම වෙලාවෙම ප්‍රේම් ක්ෂේත්‍රයේ අය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන, යමක් කරපු කෙනෙක්. ඒ හැඟීම ඔහු තුළ තියෙනවා. මේ වෙනුවෙන් අපි ප්‍රේම්ට ස්තුති කළ යුතුයි. රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ජනාධිපති සම්මාන උළෙලේ නිර්මාතෘ ප්‍රේමසිරි.

මේ වෘත්තිය ගැන කතා කළොත්...

අපි නිදිවරණවා, වගකීම් උසුලනවා, කටු අත්වල ඇනිලා වේදනා දෙනවා.. ඒ සියල්ල දරාගෙන අපි ගැන විශ්වාසය තියලා තමන්ගේ ලස්සනම දවස අපට භාර කළ අය ලස්සන කරනවා. රූපලාවණ්‍ය ශිල්පියකුට වැරදීම් සිද්ධ වෙන්න බෑ. මොකද අපි ළඟට එන සේවාදායකයා කඩෙන් බඩුවක් ගන්න එන අය නෙමෙයි. එහෙම වුණා නම් එයාට ඒ බඩුව හොඳ නැති නම් අයින් කරලා දාන්න, මාරුකර ගන්න හරි පුළුවන්. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. ලොකු වගකීමක්. දැන් ඉන්න සමහර අලුත් ළමයි නිසි පුහුණුවක් නැතිව රූපලාවණ්‍ය පාඨමාලාවක් කරලා ඉවර වුණ දවසේ ඉඳන් සැලෝන් ආරම්භ කරනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. වෙනත් ප්‍රවීණ අයකුගේ සැලෝන් එකක කාලයක් වැඩ කරලා ඒකට අදාළ පුහුණුව ලබා ගත්තොත් එවැනි අය වඩාත් සාර්ථකයි.

ඒත් දැන් ඉන්න සමහර ළමයින්ට අධි මාන්නයක් තියෙන නිසා තවත් අයෙක් ළඟ පුහුණුවක් ගන්න හරි වැඩ කරන එක මදිකමක් වෙලා.. නිහතමානීකමත් රූපලාවණ්‍ය ශිල්පියකුගේ වටිනාකම වැඩි කරන බව අමතක කරන්න හොඳ නෑ. දැන් ගොඩක් අය මනාලියන් හැඩ ගන්වන්නේ නිරූපිකාවන් වගේ. වේෂනිරූපණයයි මනාලියක් හැඩ ගැන්වීමයි දෙකක්. ඒත් සමහර අය ඒ දෙකේ වෙනස දන්නේ නැති බවක් තමයි පේන්නේ.. තමන් කරන දේ හරියට කරන්න. බොරු කරලා අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එපා කියලා මම අලුත් පරම්පරාවෙන් ඉල්ලන්න කැමැතියි. එහෙම වුණාමයි මේ ක්ෂේත්‍රය රැකෙන්නේ..

ඔබ බියුටි ක්වීන් කෙනෙක්...

ඔයා අහන දේ මම දන්නවා.. ඇත්තට ම දැන් ඒකට අවුරුදු 3 ක් විතර වෙනවා.

මේ තරගය තිබුණේ මැලේසියාවේ. වයස 50 න් ඉහළ අය සඳහා තිබුණු තරගයක්. ඒ තරගයේ වර්ල්ඩ් ග්‍රෑන්ඩ් ෆයිනල් එකේදි ස්පෙෂල් කැටගරි එකක මම මිසිස් ඒෂියා ක්ලැසික් විදියට සම්මානයට පාත්‍ර වුණා. දන්නවද මට ඒ සම්මානයට වඩා රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට ලැබුණු ජනාධිපති සම්මානය වටිනවා..

අපේ පවුලේ හයදෙනෙක් ඉන්නවා. මම හතරවෙනියා. මගේ අම්මගේ 90 වෙනි උපන්දිනය සමරන්න මම ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ..

ඇය තවත් වැඩි යමක් අපට පැවසුවා ය.

 

 

අයන්ති උඩුගම්පල

 

ඡායා - හිරන්ත ගුණතිලක

2671 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 14:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න