තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 ජනවාරි 02, අඟහරුවාදා 15:35

රස වෑහෙන සුපිරි කෑම අඩුම මිලට ගෙදර හදමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
රස නහර පිනායන කෑම බීමවල රස බලන්න අපි හැමෝම කැමැතියි. ඒ නිසානේ විවිධ රසයන්ට කෑම සකසන්න උනන්දු වෙන්නෙත්. ඒකාකාරී බවක් දැනුණු විගස අවන්හලකට ගිහින් කෑම ගන්නවා. කාලය හැමදේම වෙනස් කරලා.

 

අවන්හල්වල සකසන කෑම දැන් නිවෙසේදීම සාදාගන්න පුළුවන්. ඒ සඳහා අපිත් ඔබට අත්වැලක් වෙමින් සතිපතාම රසයෙන් හා පෝෂණයෙන් අනූන කෑම බීම සකසාගන්නා ආකාරය පහදා දෙනවා. මේ කෑම සුපිරි හොටල්වල සැකසෙන ආහාර වර්ගයි. ලෝකයේ සුපිරි විදිහට සැකසෙන මේවා වැඩි මිලක් වැය නොකරම ඔබට නිවෙසේ දී සකසා ගන්න පුළුවන්.

ඔබේ පුංචි උනන්දුව දහස් ගාණක මුදල් ඔබට ඉතිරි කර දේවි. අවන්හලකට නොගොස් සූපවේදයට තියෙන ඔබේ හැකියාව පෙන්වන්නත් මෙය අවස්ථාවක් කරගන්න පුළුවනි.

අපිට මේ රස ආහාර වට්ටෝරු කිහිපය ලබාදුන්නේ චෙෆ් ජොයෙල් මහතායි. ඔහු තමන් සකසන කෑම වර්ග ලෝකය පුරා විසිරි සිටින අයට නිර්ලෝභීව බෙදා දෙන අයෙක්.

එහෙමනම් අපිත් මේ රසවත් ආහාර ඔබට ලබා දෙනවා. බලන්න, මොනතරම් පහසුවෙන් මේ රස කැම සාදාගන්න පුළුවන් ද කියලා.

 

ෆ්‍රයිඩ් බැටර්ඩ් චිකන් ෆින්ගර්ස්

 

කෙටි කෑමකට, බයිට් එකට ගැළපෙන මේ රසවත් චිකන් ෆින්ගර්ස්වලට වැඩිහිටියෝ වගේම පොඩිත්තෝත් බොහෝ ආසා වේවි. එහෙමනම් ඔබත් සාදා දූදරුවන් සමඟ රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

 

චිකන් පපු කොටස් 2 ක්

පාන් පිටි කෝප්ප 1/2 ක්

කෝන් පිටි කෝප්ප 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳී1ක්

තළාගත් සුදුලූනු තේ හැඳී 1ක් හෝ සුදුලූනු කුඩු තේ හැඳී 1ක්

ඛ්ධතඤ ටඪලලර බියර් කෝප්ප 1/2 ක්

රස අනුව ලුණු

බැදීමට තෙල් (කෝප්ප 4-5ක්)

රස අනුව සුදු ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය

 

බෝල් එකක් ගෙන එයට පිටි, කෝන් පිටි, බේකිං පවුඩර්, රස අනුව ලුණු, සුදු ගම්මිරිස් සහ සුදුලුනු කුඩු දමා විස්ක් එකකින් කලවම් කරන්න. එයට ශීතකළ බියර් දමන්න. පසුව විස්ක් එකක් මගින් හොඳින් කලවම්කර ගත යුතුයි. ලීක්ස් ගස්වල මුල් කපා දමා සෝදා සිහින්ව ලියා ගන්න. එය පිටි මිශ්‍රණයට දමා විස්ක් එකෙන් කලවම් කරගන්න.

චිකන් පපු කොටස් ගෙන ඇඟිලි හැඩයට දිගට තීරු කපා ගන්න. පාන් පිටි ටිකක් වියළි බඳුනකට දමන්න. බඳුනක් ළිප තබා තෙල් දමා රත්කරන්න. චිකන් තිරු වියළි පිටිවල බහා පසුව සාදා ගත් පිටි බැටරයේ දවටා ගැඹුරු තෙලට දමා බැද ගන්න. රන්වන් පැහැයට බැඳුණුු පසු පිටතට ගෙන තෙල් බේරෙන්නට තබන්න. පසුව කෑමට ගන්න. රසයෙන් අනුන කෑමකි. කෙටි කෑමක් ලෙස ආහාරයට ගත හැකියි.


 

 

ස්ට්ම් ෆිෂ් ඒෂියන් ස්ටයිල්

හැමදාමත් කන මාළුවලට වෙනසක් ගෙන දෙමින් ඔබත් මේ රසවත් මාළු කෑම සාදා වෙනස අත්විඳින්න.

අවශ්‍ය ද්‍රව්‍ය

 

සුදු මාළු (තලපත්, තෝර ආදී) වර්ගයකින් ඝනකම් පෙති 2 ක්

පොතු හැර ගත් ඉඟුරු කැබැල්ලක්

සුදුලූනු බික් 2 ක්

රට කජු තෙල් මේස හැඳි 4 ක්

තල තෙල් මේස හැඳී 1 ක්

රතු මිරිස් කරල් 1ක්

ඩ්‍රයි ෂෙරි හෝ රයිස් වයින් කෝප්ප1/2 ක්

ලයිම් සෝයා සෝස් මේස හැඳී 4 ක් ( සීනි තේ හැඳී 1කට එකතු කර)

දෙහි ගෙඩි 1 ක්

ළපටි බොක් චෝයි හෝ චයින්ස් කැබේජ් ගෙඩි භාගයක්

දිගැටි හැඩයට ලියාගත් ලූනු ගස් 2 ක්

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

රස අනුව ලුණු

සාදන ක්‍රමය

 

ඉඟුරු පොතු හැර ලියා ගන්න. ස්ටීමර් එක වතුර දමා රත්වීමට තබන්න. සම ඉවත්කර මාළු පෙති මත බ්‍රෂ් එකක් ආධාරයෙන් රටකජු තෙල් දෙපැත්තෙහිම ආලේප කරන්න. ලුණු ඉසින්න. පසුව ස්ටීමරයට දමන්න. ඒ මතට ඉඟුරු කැබලි ඉසගෙන පියන වසා විනාඩි 7ක් තම්බා ගන්න. රතු මිරිස් කරල සිහින්ව ලියාගන්න. සුදුලූනු ද සිහින්ව ලියා ගන්න‍.

බඳුනක් ගෙන ළිප තබා එයට රට කජු තෙල්, තල තෙල්, සුදුලූනු, ලියාගත් රතු මිරිස් දමා තරමක් බැදගන්න.

එයට රයිස් වයින් හෝ ඩ්‍රයි ෂෙරි එකතු කර ගන්න. එයට සීනි තේ හැන්ද එකතුකර දිය කර ගත් සෝයා සෝස් මේස හැඳී හතර එකතු කරන්න. එයට දෙහි ඉස්ම ද මිරිකා ගන්න. ගින්දර අඩු කර විනාඩි 3-4ක් හැඳීගාමින් පිස ගන්න. පසුව පිටතට ගන්න. බොක් චෝයි කොළ ගළවා හොඳීන් සෝදන්න. එම බෝක් චෝයි කොටස් තැම්බෙන්නට තැබූ මාළු උඩට දමා විනාඩි 2 ක් තම්බා ගන්න. පියන හැර මාළු පිටතටගෙන පිඟානක් මතින් තබා ගන්න. බොක් චෝයි කොළ ද පසෙකින් තබන්න. (බෝක් චෝයි වෙනුවට ඔබට චයිනීස් කැබේජ් භාවිත කළ හැකියි). ඉන් පසු සාදා ගත් සෝස් එක මාළු කැබැලි උඩට වත්කර ගන්න. සිහින්ව ලියා ගත් ලූනු ගස් කපා උඩින් දමා පිළිගන්වන්න.


 

 

මෙයෝනෙස් සෝස්

කටට රසට කෑම කන්න හිතන කාටත් මෙයෝනෙස් සෝස් කියන්නේ අපූරු රසවතෙක්.

සලාදය රසවත් කරන මේ රස වෑහෙන සෝස් එක විවිධ කෑම රසවත් කරන්න අත්‍යවශ්‍ය රසකාරකයක්. අපි හැමෝම පුරුදුවෙලා ඉන්නේ මේ රසවතා වෙළෙඳපොළෙන් මිලදී ගන්නනේ. ඒත් අද ඉඳලා ඔබට ගෙදරදීම මෙයෝනෙස් හදාගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර කහ මද 3 ක්

ස්වාභාවික එළවළු තෙල් කෝප්ප 1 1/2ක්

අබ කී‍්‍රම් පුරවාගත් තේ හැඳී 1ක්

ලොකු ලෙමන් ගෙඩි 1 ක්

ලුණු

ගම්මිරිස්

 

ටාටර් සෝස් එක සඳහා

සිහින්වකපා ගත් බෝතල් කළ ගර්කින් ගෙඩි 4 ක්

සිහින්ව කපා ගත් ලූනු ගෙඩි 2 ක්

සිහින්ව කපාගත් පාස්ලි කොළ මිටක්

 

සාදන ක්‍රමය

බිත්තර කඩා පරෙස්සමට කහමද වෙන්කර ගන්න. වෙන්කරගත් කහමද බඳුනකට දමන්න. එයට අබ කී‍්‍රම් තේ හැන්ද එකතුකරන්න. ලුණු, ගම්මිරිස් රස අනුව එකතුකරන්න. ලෙමන් ගෙඩිය මිරිකා යුෂ එයට දමන්න. එයට එළවළු තෙල් එකතු කර හෑන්ඩ් බීටර් එකෙන් බීට් කරන්න. නැතිනම් වික්ස් එකෙන් හොඳීන් ගසා ගන්න. එයට එළවළු තෙල් ටික ටික එකතුකරමින් විනාඩි 3ක් පමණ ගසා ගැනීම සෑහේ. පසුව වීදුරු බඳුනකට දමා වසා ශීතකරණයේ තබන්න.

මීට පස්සෙ කවදාවත් මෙයොනෙස් සෝස් කඩෙන් ගන්න එපා.

 

දැන් අපි ටාටර් සෝස් එක හදන විදිය බලමු.

මෙයෝනෙස් සෝස් ටිකක් බඳුනට දමන්න. එයට සිහින්ව කපා ගත් ගර්කින්, පාර්ස්ලි, ලුණු එකතුකර කවලම් කරන්න. දැන් සොස් එක සාදා අවසන්.


ටොමැටෝස් ප්‍රොවෙන්කල්ස්

 

 

 

තක්කාලි කියන්නේ එළවළුවක් ද පලතුරක් ද කියලා බොහෝදෙනකුට ගැටලුවක්. ඒ ගැටලුව කොහොම වෙතත් තක්කාලිවලින් රස වෑහෙන කෑම බීම නම් හදන්න පුළුවන්.

මේ තියෙක්නෙත් ඒ වගේ රසම රස කෑමක්. ඔයාලත් හදලා බලන්නකෝ්.

අවශ්‍ය ද්‍රව්‍ය

 

මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 6 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

(මදි වගේ හැඟේ නම් තව ගන්න)

සුදු ලූනු බික් 2 ක්

නැවුම් තයිම් ඉති 6 ක්

කපාගත් නැවුම් පාස්ලි මිටක්

පාන් කුඩු කෝප්ප 1/2 ක්

ඔලිව් තෙල් කෝප්ප 1/2 ක්

ග්‍රේට් කරගත් පර්මේසන් චීස්

කෝප්ප 1/2 ක්

රස අනුව ගම්මිරිස් හා ලුණු

 

සාදන ක්‍රමය

අවන් එක සෙල්සියස් අංශක 180 කට සකසා රත්වීමට තබන්න. තක්කාලි ගෙඩිවල උඩ කොටස යන්තම් කපා දමන්න. පසුව ගෙඩි දෙකට පළාගන්න. මදය ඉතිරි වෙන්නට පරෙස්සමට ඇට විතරක් ඉවත් කරන්න. බේකිං තැටිය ගෙන එය මතට බේකිං ෂීට් එකක් එළා තක්කාලි පළු අතුරා ගන්න‍

ලූනු සහ සුදුලූනු සිහින්ව කපා ගන්න. තයිම් හා පාස්ලි සිහින්ව ලියා ගන්න. මේ සියල්ල බඳුනකට දමා එයට පාන් කුඩු ද දමන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරන්න. එයටම ග්‍රේට් කර ගත් චීස් එකතු කරන්න. එම මිශ්‍රණයට ඔලිව් තෙල් ද එකතු කරන්න.

දැන් මිශ්‍රණය හොඳීන් කලවම් කර බේකිං තැටිය මත ඇති තක්කාලි පළුවලට හැන්දකින් පුරවා ගන්න. පසුව ඒ මතටත් ග්‍රේට් කර ගත් චීස් එකතු කරන්න. සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 25 ක් බේක් කරගන්න. හරිම අපුරු කෑමකි.


 

 

ෆ්‍රෙන්ච් ස්ටයිල් චීස් ඔම්ලට්

 

ඔම්ලට් කියන්නේ අපි නිතරම රස බලන කෑමක්. ඒත් ෆ්‍රෙන්ච් ඔම්ලට් නම් ඔබ කවදාවත් රස බලලා නැති කෑමක් බව නම් ස්ථීරයි.

චීස් රසයට ඔම්ලට් කන්න කැමැති කාටත් මෙය කදිම තෝරාගැනීමකි. පුංච් දරුවන්ටත් අපූරු රසවතෙක් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

නැවුම් බිත්තර 3 ක්

ග්‍රේට්කර ගත් චෙඩ්චාර් චීස්

කෝප්ප 1/2 ක්

සිහින්ව කපා ගත් පාස්ලි කොළ

මේස හැඳී 1ක්

බටර් මේස හැඳී 1ක්

රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු

 

සාදන ක්‍රමය

 

බිත්තර කඩා බඳුනකට දමන්න. එයට ලුණු, ගම්මිරිස් එක්කර හොඳීන් ගසා ගන්න.

පසුව සිහින්ව ලියා ගත් පාස්ලි එකතු කර ගසා ගන්න. බඳුනක් ළිප තබා බටර් දමා එය බඳුනේ තවරා ගන්න. පසුව සාදා ගත් බිත්තර මිශ්‍රණය දමන්න. එය සෙට් වෙනකම් හොඳට සකසා ගන්න. රවුමට විසිරී සැකසුණු පසු ඒ මතට ග්‍රේට් කර ගත් චීස් ඉසින්න. ඊට පසුව ප්ලැට් හැන්දකින් පරෙස්සමට ඔම්ලට් එක නමා පිඟානකට දමා පිළිගන්වන්න.


 

 

ක්ලැසික් ෆ්‍රෙන්ච් ක්‍රීම් කැරමල්

 

 

අතුරුපස ගැන හිතන කාටත් ක්ලැසික් ෆ්‍රෙන්ච් ක්‍රීම් කැරමල් නම් අපූරු රසවතෙකි. ප්‍රංශ කෑම කන්න හිතන අයට වගේම රසයෙන් පිරි කෑමවල රස බලන්න කැමැති නම් මේ රසවත් අතුරුපස සාදාගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 400 ක්

බිත්තර කහ මද තුනක්

සම්පූර්ණ බිත්තර 4 ක්

සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1ක්

වැනිලා තේ හැඳී 1ක්

 

සාදන ක්‍රමය

 

සීනිවලින් ග්‍රෑම් 200 ක් බඳුනකට දමන්න. එයට සම්පූර්ණ බිත්තර හතර කඩා දමන්න. කහ මද තුනත් දමන්න. වැනිලා දමා හොඳීන් කවලම් කරන්න.

බඳුනක් ළිප තබා සම්පූර්ණ යොදය සහිත කිරි දමා රත්කර ගන්න. එයට ද වැනිලා ස්වල්පයක් එක් කරන්න. බේකිං දීසියක් ගෙන කුඩා පුඩිං කප්ස් තබන්න. බඳුනක් ළිප තබා ඉතිරි සීනි දමා උණුකරන්න. වතුර ද එයට එකතු කළ යුතුයි. හැඳීගාමින් සීනි කැරමල් එක සාදාගන්න. පෙනදමමින් කැරමල් එක සෑදෙන අයුරු දැකගත හැකියි.

දැන් කැරමල් කරගත් සීනි, දීසියේ ඇති බඳුන්වලට ටික ටික දමන්න. ළිප නිවා කිරි සවල්පයක් ගෙන බිත්තර මිශ්‍රණයට දමා හොඳීන් කවලම්කර ගන්න. ඉන් පසුව ඉතිරි කිරි සියල්ල එයට දමා හොඳීන් කවලම් කර ගන්න.

පසුව කිරි පෙරනයකින් කිරි පෙරාගන්න‍. එම කිරි සීනි සිරප් දැමූ බඳුන්වලට දමාගන්න. කට ළගටම දමන්න එපා.

පසුව උණුවතුර ගෙන බේකිං දීසියට දමන්න. සෙල්සියස් අංශක 160 ට සකසා පෙර රත්කරගත් අවන් එකක විනාඩි 40 ක් බේක්කර ගන්න. පසුව පිටතට ගෙන නිවෙන්නට හරින්න. පිළිගන්වන බඳුන ගෙන පුඩිම අනෙක් පස හරවා පිළිගන්වන්න.


 

 

වෙජිටේරියන් ෆ්‍රෙන්ච් අනියන් සුප්

ලූනු රසයට කැමැති කාටත් ෆ්‍රෙන්ච් අනියන් සුප්වල රස බලන්න පුළුවනි. මස් මාංස නොකන අය මෙයට වැඩියෙන් කැමැති වේවි.

කෑම කන්න රුචියක් නැතිව අසනීපයෙන් පසුවන අයටත් මෙය ආහාර රුචිය වඩවන කෑමක් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ලූනු කිලෝ ග්‍රෑම්1ක්

සැල්දරි දඬු දෙකක්

පිටි කෝප්ප 1/2 ක්

බටර් මේස හැඳී 3 ක්

ඔලිව් තෙල් මේස හැඳී 1ක්

සුදුලූනු බික් 3ක්

ඇපල් සිඩර් හෝ ඩ්‍රයි වයිට් වයින් කෝප්ප 2 ක්

තයිම් ඉති 2-3 ක්

බේකොළ 2 ක්

වතුර ලීටර් 1ක්

චීස් ග්‍රෑම් 200 ක්

ෆ්‍රෙන්ච් පාන් පෙති 8 ක්

රස අනුව ලුණු, ගම්මිරිස්

 

සාදන ක්‍රමය

ලොකු ලූනු පොතු හැර හොඳීන් සෝදා සිහින්ව ලියාගන්න. වියළි බඳුනක් ගෙන එයට ඔලිව් තෙල් හා බටර් දමා ළිප දල්වන්න. එය රත්වෙන විට ලියාගත් ලූනු එකතුකරන්න. එයට තයිම් කොළ සහිත දඬුදෙක දමා මෘදුව හැඳීගාන්න. සුදුලූනූ පොතුහැර සිහින්ව ලියා හෝ තළාගෙන ලූනු බඳුනට දමා හැඳීගාන්න. සැල්දිරි දඬු ද ලියාගෙන එයට දමන්න. එය හොඳීන් රන්වන් පැහැ වනතෙක් හැඳීගාමින් පිස ගන්න. එයට පිටි එකතුකර හැඳී ගා කලවම්කරන්න. පසුව ඇපල් සීඩර් හෝ ඩ්‍රයි වයිට් වයින් එකතු කර හොඳීන් කලවම්කරන්න. එයට රස අනුව ලුණු කුඩු වතුර සහ බේ කොළ දමා ගම්මිරිස් කුඩු ද රස අනුව එකතුකර මඳ ගින්නේ විනාඩි 3ක් පිසගන්න. පසුව බේකොළ සහ තයිම් කොළ ඉවත්කරන්න.

 

ෆ්‍රෙන්ච් පාන් ගෙන පෙති කපා තැටියකට තබන්න. එය අවන්එකට දමා තරමක් කර කරගන්න. චීස් ග්‍රේට් කර ගන්න. අවන් එකේ දැමිය හැකි සුප් බඳුනකට සුප් දමා ඒ උඩින් පාන් පෙති දෙකක් තබා ඒ මතට චීස් දමා ගන්න. එම බඳුන ට්‍රේ එකක් මත තබා චීස් ග්‍රිල් වෙනකම් ග්‍රිල් කරගෙන බඳුන පිටතට ගන්න. දැන් තරමක් නිවුණු පසු පිළිගන්වන්න.

4534 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 15:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න