තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 පෙබරවාරි 19, සඳුදා 15:44

දියණියට ජීවිතය කියා දී පණ වගේ රැකගන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
මේ ගෙවී යන්නේ 2018 වර්ෂයේ පෙබරවාරි මාසයයි. තවත් දෙසතියකින් මාර්තු මාසය එහෙමත් නැතිනම් මැදින් මාසය උදාවෙනවා. ඊටත් පස්සෙ බක්, වෙසක්, පොසොන් ආදී වශයෙන් මංගල මාස ටික උදාවෙනවා. ඒ හින්දා අපේ ආදර දියණිවරුන් දැන් දැන් ඉඳන්ම තමන්ගෙ මංගල උත්සව සඳහා ලහිලහියේ ලක ලැහැස්ති වෙනවා ඇති.

 

ඇත්තටම මේ මංගල උත්සවය කියන දේ අතීතයේ ශ්‍රී ලාංකිකයන්ට එතරම් හුරුපුරුදු දෙයක් නෙමෙයි. ඒ කාලේ උත්සවාකාරයෙන් මංගල්ලයක් ගත්තේ රජවරු සහ රදළ පන්තියේ අය පමණයි. සාමාන්‍ය ජනතාව කළේ නිසි වයස සම්පූර්ණ වුණහම ගෙපැලක් තනාගෙන, හේනක් කොටාගෙන, දරුමල්ලෝ හදාවඩා ගත්ත එකයි. ලියවිල්ලක් ගිවිසුමක් නැති මේ විවාහ ජීවිතයේ යුතුකම්, වගකීමක් නිසිලෙස ඉටුකරමින් හරිම ආදරණීයව ගලාගෙන ගියා.

ඉංග්‍රීසි ජාතිකයන්ගේ ආගමනයත් සමඟ තමයි මේවාගේ උත්සව, චාරිත්‍ර වාරිත්‍ර, කුලසිරිත් වැනි දේවල් විවාහයට ඇතුළත් වුණේ.

බෞද්ධාගමික පසුබිම යටතේ විවිධ චාරිත්‍ර නව සම්ප්‍රදායන් ආදිය එකතු වෙමින් විවාහය උත්සවාකාරයෙන් සමරන දෙයක් බවට පත්වුණා.

අපේ තරුණ අවධියේ ශ්‍රී ලංකාවේ තිබුණේ රෙස්ට් හවුස් 13 යි. ඇත්තටම සාමාන්‍ය ජනතාව මේවාගේ ස්ථානවලට ගියෙත් නැහැ. ඉංග්‍රිසි ජාතිකයන් සහ මෙරට විසූ ධනවත් රදළ පුද්ගලයන් පමණයි ඒවායේ ලැගුම් ගත්තෙත්.

1977 වර්ෂයේ විවෘත ආර්ථිකයත් සමඟම මෙරට තරුණ තරුණියන් අත්විඳි ප්‍රේමයත් විවෘත වුණා කියලා මා පැවසුවහොත් එය නිවැරැදියි. කුල සිරිත් වාගේ දේවල් ලිහිල් වෙලා අපේ තරුණ පිරිස ඕනෑවටත් වඩා විවෘත වුණා. යෞවන වයසේදීම ආදරයෙන් මත්වෙලා ලැගුම්හල් සොයාගෙන යන්න... කුමරි බඹසර, විවාහය, දික්කසාදය මේවාගේ දේවල් ගණන් නොගෙන හැසිරෙන්න තරම් අපේ තරුණ පරපුර විනාශ වෙලා.

හැබැයි දියණිවරුනේ.... ඔබ මතක තබාගන්න. මේ හැමදේකම අවසන් ප්‍රතිඵල අත්විඳින්න වෙන්නේ ඔබට පමණක්ම බව. ඔබ ප්‍රේමයේ නාමයෙන් යුවතියක සතු වටිනාම දේ ඔහුට පුද දුන් පසුව ඔහුට ඔබගෙන් ඵලක් නැති බව. බහුතරයකගේ ආදරණීය බැඳීම් සිඳී බිඳී යන්නේ පෙණ බුබුළක් බිඳී යනවාටත් වඩා වේගයකිනි. ඒ නිසාමයි යුවතියක වූ ඔබ ඔබේ වටිනාකම් සඟවා තබා ගතයුතුයි.

ආදරය කරන කාලයේ දහසක් පොරොන්දු ලබා දුන්නත් විවාහයේ දී ඕනෑම පිරිමියකු බලාපොරොත්තු වන්නේ නැවුම් නොඉඳුල් යුවතියක්. ඔහු ඇයගෙන් කුමරි බඹසර පතනවා. නමුත් අපේ දියණියන් විවාහයට පෙර ආදරයේදීම තමන්ගෙ සියලු වටිනාකම් පුදදුන් පසුව වැටෙන අමාරුව කොයිතරම් නම් ද? මේ සත්‍ය කතාව අප කොතෙක් නම් පැවසුවත් දියණියන් තේරුම් නොගැනීමයි අවාසනාව.

මෙවැනි දියණියන් බොහොමයකගේ විවාහයන් කෙළවර වන්නේ දික්කසාදයෙන්. සැමියාගෙන්, නෑ හිතමිතුරන්ගෙන් පිහිටක් නොලබන මේ දියණියන්ට අනතුරුව උරුම වන්නේ මහමඟයි. විශේෂයෙන්ම සම්බාහන ආයතන, ගණිකා වෘත්තීය මධ්‍යස්ථාන ආදියේ සේවය කරන දියණියකට කතා කළහොත් ඇගේ අතීතය පෙළගැසී ඇත්තේ මෙවැනි සිදුවීම් මාලාවකින් විය හැකියි. ජීවිතයේ අතරමං වන බොහෝ යුවතියන් ගණිකා වෘත්තියට පිවිසෙන්නේ ඇයටත් නොදැනීමයි.

මේ නිසා අපේ අම්මලාට, තාත්තලාට තමන්ගේ දියණිය කුඩා කාලයේ පටන් ගුණගරුකව, චරිතවත්ව හදා ගැනීමේ වගකීම පැවරෙනවා. විශේෂයෙන්ම අම්මාට වාගේම තාත්තාටත් මේ වගකීම මහ ඉහළින් පැවරෙනවා. මොකද බහුතරයක් පියවරුන් පුරුදු වී සිටින්නේ දියණියන් වරදක් කළ විට ඒ ගැන මවට ඇඟිල්ල දිගු කිරීමටයි. නමුත් මවට එක් ඇඟිල්ලක් දිගුකරන පියා දැනසිටි යුතුයි තවත් ඇඟිලි හතරක් ඔබ වෙතටත් එල්ල වී ඇති බව.

රැකියාවක්කර මුදල් උපයා දරුවන්ට භෞතික සම්පත් ලබාදෙන්නට වාගේම දරුවා යහමඟ යැවීමේ යුතුකම, වගකීම මවට සේම පියාට ද උරුමයි. මොකද පියකු වූ ඔබට කිසිකලෙකත් දරුවන් අතහැරිය නොහැකියි. දුවෙක් මොනතරම් හිත් වේදනාවන් ලබාදුන්න ද හිතුවක්කාරකම් කළ ද පියකුට කිසිදා දුවක අත්හැරිය නොහැකියි.

ඔබට බිරිය අත්හැරිය හැකියි. මන්ද ඔබත් ඇයත් ඉපදුනේ වෙනත් මවුකුසවලිනි. ඔබ දෙදෙනා තුළ පවතින්නේ බෙදාහදාගන්නා ශාරීරික සහ මානසික බැඳීම්ය. නමුත් දරුවන් ඔබ දෙදෙනාගේම සංකලනයකින් බිහිවූවෝ වෙති. ලේ, මස්, ඇට, නහර ඔබට අයිති දේවල්ය. එබැවින් ඔබට කිසිදාක ඔවුන් අත්හැරිය නොහැකියි.

ඉතින්... ආදරණීය පියකු ලෙසින් ඔබේ දියණිය ළඟට ගෙන ඇයට ජීවිතය කියාදෙන්න. ලස්සන මනමාලියක්, සොඳුරු මංගල උත්සවයක්, නිසි ලෙස ඉටුකරනා චාරිත්‍ර වාරිත්‍ර, සාම්ප්‍රදායික කුලසිරිත්, නෑදෑ වැඩිහිටි පරපුර පිරිවරාගත් චමත්කාර මංගල ගමනකින් පසුවයි ඇය තරුණයකු හා කාමරයක තනිවිය යුත්තේ. ඒ සුන්දර මංගල දිනය තෙක් ඇය සතු වටිනාකම් සඟවා තබාගන්නට ඔබ ඇයට කියාදෙන්න.

“දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑවෙන පෙම් හීනයයි

සෙනෙහසින් කුලගෙට පියමනින්නේ

සනුහරේ අභිමානයයි...”

 මේ තමයි පියකුගේ අභිමානය. ආඩම්බරය. තාත්තකුගේ පෞරුෂත්වය තමයි දුව කුලසිරිත් රැකීම. දියණියක් වෙනුවෙන් කොතරම් දේපොළ, මිලමුදල්, යාන වාහන එකතු කළත් මංගල දවසට තිළිණ දෙන්න පාරිශුද්ධත්වය නොතිබුණොත් එතැන අභිමානයක් නැහැ. ඒ හින්දා දුවෙක් බලාගන්න ඕනේ ඇහැක් වාගේ පරිස්සමටයි.

දියණිගේ නෙත් දෙක තමා මව සහ පියා. දුවට ලෝකය ලස්සනට දකින්න නම් මේ දෙනෙත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා පතිකුලයට යන තෙක් දියණිය රැකබලා ගැනීමේ සමාන අයිතියක්, යුතුකමක් මව සහ පියා ඔබ දෙදෙනාටම ඇතිබව අමතක කරන්න එපා.

 

අදහස් දැක්වීම

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත්

2177 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 19, සඳුදා 15:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න