තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මාර්තු 13, අඟහරුවාදා 11:03

නිරෝගී කෙස් කළඹක් සඳහා නිවෙසේදීම කළහැකි සත්කාර විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
නිරෝගී ලස්සන කෙස් කළඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරි වන්නකි.

 

වර්තමානයේ රිබොන්ඩින්, ෆර්මින්, කලර් කිරීම වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන විලාසිතාවන් මෙන්ම දූවිලි, අධික හිරු රශ්මියට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක හේතුවෙන් ද හිසකෙස්වලට හානි සිදු විය හැකියි. තම හිසකෙස්වල නිරෝගිමත් බව පවත්වාගෙන යාමට අවශ්‍ය සත්කාර සිදු කළ යුත්තේ ඒ නිසයි. අපි අද ඔබට කියන්නට යන්නේ නිවසේදීම කළහැකි සත්කාර ගැනයි.

සතියකට තෙවරකට වඩා කොණ්ඩය ෂැම්පු කිරීමෙන් වලකින්න

දිනපතාම ඔබේ හිසකෙස් ෂැම්පු කිරීමෙන් කොණ්ඩය වියැළෙනවා. ඒ නිසා කොණ්ඩය ඉක්මනින් කැඩී යාමට බලනවා. ඒ නිසා සතියකට තෙවරක් ෂැම්පු කිරීම ප්‍රමාණවත්. ඔබේ කෙස් කළඹේ ස්වාභාවික තෙල් ගතිය නම් අනිවාර්යයෙන් රැක ගත යුතුයි. ඒ සඳහා කන්ඩිෂනර් භාවිතය වැදගත්. මෙහිදී කන්ඩිෂනර් හිස් කළඹේ නොගෑවෙන ලෙස ගෙන හිසකෙස්වල පමණක් ගැල්විය යුතුයි.

තෙල් සත්කාරය හරිම වැදගත්

මේ සඳහා පිරිසුදු ඔලිව් තෙල් හිසෙහි ගැල්විය හැකි උණුසුමට රත් කර හිසේ ගල්වා විනාඩි 20 ක් පමණ සම්බාහනය කරන්න. ඉන්පසු ලොකු දැති සහිත පනාවකින් 100 වතාවක් පමණ ඔබේ හිසකෙස් පීරා ගන්න. මෙමගින් ලේ ගමනාගමනය හොඳින් සිදු වී කෙස් වර්ධනය වීම සිදුවේ.

ඔලිව් ඔයිල් මෙන්ම පිරිසුදු පොල්තෙල්, ආමන්ඩ් ඔයිල්, එඬරු තෙල් වැනි පෝෂ්‍යදායී තෙල් වර්ගවලින් ද ඔබට මෙම සත්කාරය කළහැකියි. අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මෙම සත්කාරය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

බිත්තර සත්කාරය

කොණ්ඩය සරුවට වවාගන්න මේ තරම් සත්කාරයක් තවත් නැති තරම්. මොන අප්‍රසන්න වැඩක්ද කියලා හිතුණත් වරක් දෙවරක් කරලම බලන්නකෝ එය ඔබ පුදුම කරාවි.

බිත්තර 2 ක් කඩා ඊට ඔලිව් තෙල් මේස හැඳි 5 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර හිසේ සහ කෙස්වල හොඳින් ගල්වා ෂවර් කැප් එකකින් ආවරණය කර තබන්න. විනාඩි 20 ක් පමණ ගිය පසු සාමාන්‍ය ලෙස ස්නානය කරන්න. මෙය මසකට සැරයක් කිරීම ප්‍රමාණවත්.

දිව ඔසුවක ්වන් අලිගැටපේර

අලිගැටපේර මදය වෙන් කරගන්න. ඊට විටමින් ඡ් කරලක් සහ යෝගට් ස්වල්පයක් එකතු කර තලපයක් වන සේ හොඳින් මිශ්‍ර කර ගන්න. මේ සඳහා තනිකරම අලිගැටපේර පමණක් භාවිත කරන්නත් පුළුවන්. දැන් මෙම තලපය හිසෙහි ගල්වා විනාඩි 30 ක් පමණ ගිය පසු ස්නානය කරන්න.

හිසකෙස් දික්කර ගැනීමට කෝමාරිකා

කෝමාරිකා මදය මේස හැඳි 4 ක් සමඟ මී පැණි මේස හැඳි 2 ක් මිශ්‍ර කර හිසෙහි ගල්වා විනාඩි 20 කින් පසු උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සති දෙකකට වරක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්.

නිවෙසේදීම ඉතා පහසුවෙන් කළ හැකි මෙම සත්කාරයන් ඔබත් අත්හදා බලන්න. ඔබට අදහාගත නොහැකි සුන්දරත්වයක් වරලසට ලැබෙන අතර නොකඩවා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. 

 උපදෙස් - ආයුර්වේද වෛද්‍ය

මහේෂ් අතුරලිය

1309 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 13, අඟහරුවාදා 11:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න