තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මැයි 15, අඟහරුවාදා 11:19

උදේට, රාත්‍රියට රස ගුණ පිරි ආහාර විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
උදෑසන ආහාර වේල අපි බොහෝ දෙනෙකුට මඟහැරෙන කෑම වේලක්. දවසේ වැදගත්ම ආහාරවේල බව දනිතත් තිබෙන කාර්යබහුල බව නිසාම බොහෝ විට උදෑසන ආහාරවේල අපට අහිමි වෙනවා.

 

ඒ වගේම තමයි රාත්‍රී ආහාර වේල. රාත්‍රී ආහාර වේල සරල ලෙස ගත යුතු වුවත් එය පෝෂණීය ලෙසින් තිබිය යුතුයි. පවුලේ පෝෂණය ගැන වගකීමෙන් සිතන ඔබට රාත්‍රී ආහාරවේල සඳහා පවුලේ සාමාජිකයන්ට සුදුසු ලෙස සැකසිය හැකි පෝෂණීය මෙන්ම එකිනෙකට වෙනස් ආහාර වට්ටෝරු කිහිපයක් අද අප ඉදිරිපත් කරනවා.

මේ කෑම වට්ටෝරු සකසා ගැනීමෙන් අවන්හල්වලට ගොස් ආහාර ගැනීමට පුරුදු වූ ඔබේ දරුවන්ට නිවෙසේ දී රසවත් ආහාර සඳහා යොමු කරවීමටත් ඔබට පුළුවන්.

 

 

 

 

කොයි කාටත් ගුණ පිපිඤ්ඤා සුප්

මේ කාලේ තියෙන රස්නය සිරුරට දරන්න බැරි තරම්. ඇඟ නිවෙන්න ගන්න කෑම බීම මේ දිනවල ගත යුතුමයි. ඒ අතින් පිපිඤ්ඤාවලට තියෙන්නේ ඉහළම පිළිගැනීමක්.

වෙළෙඳපොළෙත් අනෙක් එළවළුවලට වඩා ලාබෙට පිපිඤ්ඤා ගන්නත් පුළුවන්. මේ වට්ටෝරුව බලාගෙන දැන් පිපිඤ්ඤා සුප් එකක් හදා ගන්න.

සුප් එක සඳහා අවශ්‍ය වෙන්නේ

පිපිඤ්ඤා ගෙඩි 2-3 ක්

සැල්දිරි ග්‍රෑම් 100 ක්

බී ලූනු ගෙඩි 2-3 ක්

චිකන් ඕෆ් කට් ග්‍රෑම් 500 ක්

ලුණු රස අනුව

ගම්මිරිස් ඇට තේ හැන්දක් පමණ (කපාපු තේ හැන්දක්)

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප භාගයක්

වතුර කෝප්ප 7-8 ක්

දැන් අපි සුප් එක හදමු..

පළමුවෙන් ම කළ යුත්තේ පිපිඤ්ඤා ගෙඩිවල පොතු ඉවත්කර මදය ඉවත්කර ගැනීමයි. ඉන්පසුව ලොකු කැබැලිවලට කපා ගන්න.

සුප් එකට ගන්නා සියල්ලම එකට දමා ප්‍රෙෂර් කුකර් එකේ විනාඩි 7-8 ක් තම්බා ගන්න.

ප්‍රෙෂර් කුකර් එකක් නැතිනම් සියල්ල බඳුනකට දමා ළිප තබා විනාඩි 10 ක් පමණ වේලාවක් තම්බාගන්න.

ඉන්පසුව ළිපෙන් ඉවත්කර ගත් මිශ්‍රණය පෙරා ගන්න. එහි ඇති ඇති මස් කටු ඉවත් කරන්න. මස් කැබැලි ඇත්නම් කුඩාවට කපා ගන්න.

නැවත සුප් පෙරා ගත් භාජනය ළිප තබා උතුරන විට ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප භාගයක් පමණ දමන්න. පසුව මෙයට ගම්මිරිස් හා රස අනුව ලුණු ස්වල්පයක් ද එක්කර ගන්න. රස බලා ළිපෙන් ඉවතට ගන්න.

ටෝස්ට් කරන ලද පාන් හෝ සැහැල්ලු ආහාරයක් සමඟ මේ සුප් එක රාත්‍රී ආහාරය සඳහා කදිමයි.

සිරුර සිහින්කර ගැනීමට ආහාර පාලනය කරන ඔබටත් මේ සුප් එක පමණක් වුවත් වඩාත් සුදුසුයි.

 

ගෙදරදීම කොත්තුවක් හදමුද..

 

 

‘මේ ළමයා කොයි වෙලෙත් කන්නේ කඩචෝරුමයි.. ගෙදර හදන බත් ටිකක් කවා ගන්න බෑනේ..’ මේ මැසිවිල්ල ඇතැම් නිවෙස්වල තේමා ගීතය වගේ.

නිතර නිතර කඩවල්වලින් කෑම කෑවාම ඒ පුරුද්ද අත්හැර ගන්න තරමක් අමාරුයි තමයි. ඒත් හොඳින් උයන්න පුළුවන් ගෘහණියකට මේක ඒ තරම් අමාරු දෙයකුත් නෙවෙයි.

නිවෙසේ දී විවිධ රසට විවිධාකාර ආහාර වර්ග සකසා දෙනවා නම් මේ පුරුදු අත්අරවන්න ඔබට පුළුවන්. සූදානම් ද? අපි මේ ඔබව දැනුවත් කරන්නයි යන්නේ..

අවශ්‍ය ද්‍රව්‍ය මේවායි

පාන් පිටි කිලෝ එකක්

ලුණු තේ හැඳි දෙකක් පමණ

සීනි මේස හැඳි 1 1/2 ක්

බිත්තර දෙකක් (මෙය අත්‍යවශ්‍ය නොවේ)

වතුර හා තෙල්

 

දැන් රොටි මිශ්‍රණය හදමු

පාන් පිටි වලට ලුණු, සීනි, බිත්තර දමා වතුර ස්වල්පය බැගින් එකතු කරමින් මෘදු පිටි මෝලියක් අනාගන්න. මේ පිටි මිශ්‍රණය තෙල්වල ගිල්වාගන්න. ඉවතට ගෙන පැයක් දෙකක් පමණ වේලාවක් ලන්ච් ෂීට් එකකින් හෝ තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න.

පසුව එම පිටි මිශ්‍රණයෙන් තරමක බෝල සාදා ගෙන ඒවා හොඳින් තුනීකර සෝස් පෑන් එකක් හෝ රොටි තැටියක් ළිප තබා රත්කර එහි රොටි පුළුස්සා ගන්න.

මස් කරියට අවශ්‍ය දේ

චිකන් බ්‍රෙස්ට් කිලෝ 1 ක් 1 1/2 ක් පමණ

ලූනු - රම්ප, කරපිංචා ඉඟුරු, සුදු ලූනු

තක්කාලි- අමු මිරිස්

තෙල් - කුරුඳු පොත්තක්

ගම්මිරිස් කුඩු මේස හැන්දක්

මිරිස් කුඩු මේස හැන්දක්

බැදපු තුනපහ මේස හැන්දක්

විනාකිරි මේස හැන්දක්

හාල් තේ හැඳි 2 ක්

පොල් මේස හැන්දක්

අබ තේ හැඳි 1/4 ක්

උළුහාල් තේ හැඳි 1/2 ක්

ලුණු රස අනුව

දැන් කරිය හදමු

චිකන් බ්‍රෙස්ට් එක හොඳින් සෝදා කැබැලිවලට කපන්න. මෙයට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් දමා තම්බා ගන්න. එම තම්බා ගත් වතුර කරිය සෑදීම සඳහා පසෙකින් තබන්න.

දැන් මස් ටික ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න.

මේ අතර හාල්, පොල්, අබ, උළුහාල්, රම්ප හා කරපිංචා ස්වල්පයක් කබලේ බැද කුඩුකරගන්න.

ලියා ගත් ලූනු, රම්ප, කරපිංචා, තලාගත් ඉඟුරු, සුදු ලූනු, කපාගත් තක්කාලි හා අමු මිරිස් ද කුරුඳු කැබැල්ල සමඟින් තෙල් මේස හැඳි 2-3 ක් රත්වන්නට ළිප තබා එයට දමන්න.

දැන් මෙයට ම මස් තම්බා ගත් වතුර ටික ගම්මිරිස්, මිරිස් කුඩු, බැදපු තුනපහ, විනාකිරි හා කලින් සකසා ගත් හාල් පොල් මිශ්‍රණය දමා එයට මස් ද එක්කර මඳක් හොදි සිටින සේ සාදාගන්න. මෙයට රස අනුව ලුණු ද එක්කරන්න.

පසුව රොටි කැබැලිවලට කපා මෙම මස් මිශ්‍රණය සමඟ මිශ්‍රකොට කෑම මේසයට යවන්න. කඩෙන් කොත්තු ඉල්ලන පුංචි පුතා හැමදාමත් අම්මගෙන් කොත්තු ඉල්ලාවි.

 

එළවළු රොටි ගෙදර හදමු

 

එළවළු රොටියක් සැරට කාලා උණුවෙන් තේ එකක් බිව්වම බඩත් පිරෙනවා, හිතත් පිරෙනවා.

තේ වෙලාවට වගේම වැඩිය මොකුත් කන්න බෑ කියලා හිතෙන රාත්‍රියකට වුණත් ගෙදරදීම හදන එළවළු රොටි හොඳින් ම ගැලපෙනවා. වෙනසකටත් එක්ක හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

බිත්තරයක්

වතුර

සීනි තේ හැන්දක් පමණ

අල ග්‍රෑම් 500 ක්

බී ලූනු ගෙඩි 2 ක්

ලීක්ස් ග්‍රෑම් 100 ක්

කැරට් ග්‍රෑම් 100 ක්

ඉඟුරු, සුදු ලූනු

තක්කාලි

ලුණු, ගම්මිරිස් රස අනුව

අමු මිරිස්

තෙල් මේස හැඳි 2 ක් පමණ

පළමුවෙන් ම රොටිය හදා ගනිමු.

මේ සඳහා පාන් පිටි, බිත්තරය, සීනි, ලුණු තේ හැන්දක් පමණ එකට එකතුකර වතුර මිශ්‍ර කරමින් මෘදු පිටි මෝලියක් අනා ගන්න. විනාඩි 7-8 ක් පමණ වේලාවක් හොඳින් අත් ගැසීමෙන් පිටි මෝලිය මෘදුකර ගත හැකියි. මෙම පිටි මෝලියෙන් කුඩා බෝල සාදා ඒවායෙහිත් එළවළු තෙල් ආලේප කොට තෙල් ආලේප කරන ලද ට්‍රේ එකක තබා ලන්ච්ෂීට් එකකින් වසා තබන්න. මෙලෙසින් පැය 2 ක් පමණ තැබිය යුතුයි.

මේ අතර අපි පිරවුම සාදා ගනිමු

අල ග්‍රෑම් 500 තම්බා පොතු ඉවත්කර ගන්න. කැරට් සිහින්ව කපා ලුණු, ගම්මිරිස් දමා තම්බන්න. ඉඟුරු, සුදු ලූනු සිහින්ව අඹරා ගන්න. අමු මිරිස් කුඩාවට කපන්න. බී ලූනු, ලීක්ස් හා තක්කාලි ද සිහින්ව කපා ගන්න.

දැන් තෙල් ස්වල්පයක් ළිප තබා එයට ඉඟුරු, සුදු ලූනු එකතු කරන්න. පසුව තම්බා පොඩිකර ගත් අල, කැරට්, ලීක්ස්, තක්කාලි, අමුමිරිස්, ලූනු දමා තෙම්පරාදු කරන්න. එයට රස අනුව ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් ද එකතු කරන්න.

පසුව පළමුව සාදා ගත් පිටි මිශ්‍රණයේ කුඩා පිටි බෝල රෝලින් පින් එකක් ආධාරයෙන් තුනීකර සාදා ගත් එළවළු පිරවුම එහි මැදට තබා ත්‍රිකෝණාකාර හැඩයක් එන ලෙස නවා ගන්න. පසුව මෙලෙසින් සකසා ගත් එළවළු රොටි රොටි තැටියක් ළිප තබා ඒකෙහි පැත්තෙන් පැත්ත දමමින් හොඳින් පුළුස්සා ගන්න.

නිවෙසේ දීම සකසා රසම රස එළවළු රොටි රස විඳින්න වගේම නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් සුදුසුයි.

 

චිකන් ඇන්ඩ් මැකරෝනි චීස්

 

මැකරෝනි කන්න බොහෝ පොඩිත්තන් දක්වන්නේ විශේෂ වූ ඇල්මක්. ඒ නිසා දරුවන් කැමැති දෙයක් වඩාත් රසවත්ව හා පෝෂණයෙන් යුතුව සකසා දීමට මවකට හැකි නම්..

මේ කෑම වට්ටෝරුව ඔබේ දරුවාට දවසට අවශ්‍ය කරන පෝෂණය ලබා දීමට සමත්.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

මැකරෝනි ග්‍රෑම් 500 ක්

බටර් ග්‍රෑම් 50 ක් පමණ

බී ලූනු ගෙඩි 2-3 ක්

බේකන් එන්ඩ්ස් හෝ චිකන් හැම් ග්‍රෑම් 100 ක්

චිකන් ග්‍රෑම් 750 ක් පමණ

පිරවූ පාන් පිටි මේස හැඳි 2 ක්

මිරිස් කුඩු තේහැන්දක්

කිරි කෝප්ප 3 ක් පමණ (මිලි ලීටර් 500 ක්)

ගම්මිරිස් කුඩු තේහැඳි 1 - 1 1/2 ක්

ලුණු රස අනුව

සාදික්කා කුඩු ස්වල්පයක් (තේ හැඳි කාලක් පමණ)

චීස් ග්‍රෑම් 100 ක් (පර්මෙසන්)

සුදු ලූනු බික් 4-5 ක්

 

දැන් එය මෙලෙසින් සාදමු

මැකරෝනි නටන වතුරට දමා විනාඩි 10 ක් පමණ තම්බා පෙරා ගන්න. ඉන්පසු එයට ලුණු තේ හැන්දක් හා බටර් මේස හැන්දක් පමණ පමණ දමා රස්නය තිබියදීම හොඳින් මිශ්‍ර කරන්න.

බඳුනකට ඉතිරි බටර් සියල්ල දමා එය ළිප තබන්න. දැන් එයට සෝදා කුඩා කැබැලිවලට කැපූ චිකන්, බේකන් හෝ හැම් එකතුකර ඒවා හොඳින් බැදගන්න.

පසුව පිටි මේස හැඳි දෙකක් එයට දමා මිශ්‍රකර ස්වල්ප වේලාවක් බැද ගන්න.

පසුව පොල්කිරි ස්වල්පය බැගින් සියල්ලම එයට එකතු කරන්න. ගම්මිරිස් හා ලුණු රස අනුව මෙයට එකතු කරන්න.

මිශ්‍රණය උකුවන විට ළිප නිවා චීස්වලින් භාගයක් එයට දමා හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණයට ම කලින් අපි සකසා ගත් මැකරෝනි එකද දමා හොඳින් මිශ්‍ර කරන්න.

දැන්, ෆයිරෙක්ස් බඳුනක හෝ ට්‍රේ එකක බටර් ස්වල්පයක් ආලේප කොට සාදා ගත් මිශ්‍රණය එයට දමන්න. ඉතිරි කරගත් චීස් මිශ්‍රණය උඩින් දමා අංශක 180 ක උණුසුමේ විනාඩි විස්සක් පමණ වේලාවක් බේක් කරගන්න. මිශ්‍රණය ළා රන්වන් පැහැය ගන්නා විට නියම ප්‍රමාණයට බේක් වී ඇත.

ගි‍්‍රල් එක පමණක් දමා මතුපිට රන්වන් පැහැ වනවිට ගැනීමටත් හැකියි.

එය දැන් කෑම මේසයට යවන්න. ලේසියෙන්ම රසයෙන් ගුණයෙන් පිරි කෑම වේලක රස බලන්න.

 

 

චිකන් කුරුමා

 

නාන් රොටියක රස බලන්න චිකන් කුරුමා එකක් තිබුණොත් තමයි හොඳ. ඉන්දියානු රසය එන විදියට චිකන් කුරුමා හදන්න අද අපි ඔබට කියා දෙනවා.

ඉන්දියන් හට් එකකින් ඔබ රස විඳි ඒ අපූරු රසය දැන් ගෙදර දීම විඳින්නත් පවුලේ අයට ඔබේ අතින්ම ඒ රසය ගෙන දීමටත් දැන් ඔබට පුළුවන්.

ඒ සඳහා අවශ්‍ය වෙන්නේ

කුකුළු මස් කිලෝ 1 ක් 1 1/2 ක්

ගී ග්‍රෑම් 100 ක් හෝ

හයිලන්ඩ් බටර් ග්‍රෑම් 100 ක්

බී ලූනු ග්‍රෑම් 100 ක්

ඉඟුරු, සුදු ලූනු මේස හැඳි 1 බැගින්

තක්කාලි ග්‍රෑම් 100 ක්

වසා වාසි කෑලි 3 ක්

අඹරා ගත් කජු මේසහැඳි 3 ක්

මීකිරි පීරිසි කෝප්පයක්

සූදුරු ඇට තේ හැඳි 2 ක්

මාදුරු ඇට තේ හැන්දක්

කොත්තමල්ලි ඇට මේස හැන්දක්

ගම්මිරිස් ඇට තේ හැඳි 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 3 ක්

කහ තේ හැන්දක්

මින්චි කොළ සහ කොත්තමල්ලි කොළ අහුරක් බැගින්

රම්පෙ කැබැලි 2 ක්

කරපිංචා ඉති 2 ක්

කුරුඳු පොත්තක්

ලුණු රස අනුව

සීනි තේ හැන්දක්

කුරුමා එක හදන්නේ මෙහෙමයි..

පළමුවෙන් ම සූදුරු, මාදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් යන සියල්ල කබලේ මඳක් බැද කුඩු කරගන්න.

චිකන්වලට ලුණු, සාදා ගත් පහේ කුඩු සහ මිරිස් කුඩු ද කහ සහ මීකිරි ද එක්කර අත ගා පදම්වීමට තබන්න. බී ලූනු සිහින්ව කපන්න. පසුව ගී ටික රත්වන්නට ළිප තබා එයට ලියා ගත් ලූනු, රම්ප, කරපිංචා, ඉඟුරු, සුදු ලූනු, සාදික්කා, සිහින්ව කපා ගත් තක්කාලි, කපා ගත් මිිංචි හා කොත්තමල්ලි කොළ ද එකතු කරන්න. අවසානයේ දී කපාගත් මස් ද එකතුකර දුඹුරු පැහැ වනතෙක් බැදගන්න.

හොඳින් බැදුණු පසු වතුර කෝප්ප 1 1/2 ක් පමණ එයට එකතුකර සීනි තේහැන්ද දමා ලුණු ද රස අනුව එකතුකර ළිපෙන් බාන්න.

 

 

පවුලේ හැමටම ගාලික් නාන්

 

සුදු ලූනු කියන්නේ හැම ලෙඩකටම ගුණ දෙන අත් බෙහෙතක්. සුදු ලූනු රසට කැමැති ඔබේ පවුලේ අයට මේ ගාලික් නාන් හොඳින් ම ගැලපේවි.

පවුලේ ඉන්න වැඩිහිටියන් නම් මේ කෑම වට්ටෝරුවට ඉහළින් ම කැමැති වෙනවා සිකුරුයි. නැන්දම්මාගේ ආදරය දිනා ගන්නත් මේ කෑම වට්ටෝරුව ඔබට යොදා ගන්න පුළුවන් වේවි.

මේ සඳහා ද යොදා ගන්නේ කලින් සකසා ගත් සාමාන්‍ය නාන් පිටි මිශ්‍රණයමයි. සුදු ලූනු ගෙඩි කිහිපයක් සිහින්ව ලියා ගන්න. කොත්තමල්ලි කොළ ටිකක් ද සිහින්ව ලියා ගන්න.

පසුව තුනී කරගත් නාන් එක මත ගසාගත් බිත්තරයක සාරු ආලේප කළ යුතුයි. පසුව එය මතට සිහින්ව ලියා ගත් සුදු ලූනු අතුරා කොත්තමල්ලි කොළ ද ස්වල්පයක් ඉසින්න. දැන් රොටි තැටියේ මෙය දැමිය යුත්තේ සුදු ලූනු ඇති පැත්ත උඩට සිටින ආකාරයටයි. පසුව අනෙක් පැත්ත ගි‍්‍රල් එක රත්කර එයට ළංකර විනාඩි දෙකක් පමණ වේලාවක් රන්වන් පැහැ වනතෙක් ගි‍්‍රල් කරගන්න. ඉවතට ගත් විගස උණුකරගත් බටර් ස්වල්පයක් නාන් රොටියේ ආලේප කරන්න.

මෙය රස මෙන්ම ගුණයෙන් ද ඉහළ කෑම වට්ටෝරුවක් නිසා නිතර වුවත් සකසා රස විඳින්න පුළුවන්.

නාන් සෑදීම සඳහා අනා ගන්නා එකම පිටි මෝලියට වෙනස් ආකාරයේ රසයන් ඇතුළු කරමින් පවුලේ අයගේ කැමැත්ත ඇති වනසේ විවිධාකාර රසයට එකම දිනක වුවත් මේ ආකාරයේ නාන් වර්ග සකසා කෑම මේසයට යවන්නත් ඔබට පුළුවන්.

අමුත්තන් පැමිණි විටෙක දී මෙවැනි ආහාර වේලක් සැකසුවොත් ඔබේ නිවෙසත් පුංචි ඉන්දියානු හෝටලයක අසිරිය ගන්නවාට සැක නැහැ.

 

නාන් රොටී

 

නාන් රොටී ඉන්දියානු කෑමක්. නාන් රොටී කන්න කැමැති බොහෝ දෙනා ඒවා හදන්න නම් දන්නේ නැති තරම්.

ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් නාන් රොටි සඳහා ඒ තරම් වියදම් යන්නේත් නෑ. කුරුමා එකක්. ගී‍්‍රන්පීස්, ලිවර්, කැෂූ කරියක් එක්ක වුණත් රස විඳින්න පුළුවන්. නිවෙසට එන අමුත්තන්ට මෙවැන්නකින් සංග්‍රහ කළ හැකියි. වෙනස්ම සංග්‍රහයකින් ඔවුන් වැඩියෙන් සතුටු වේවි.

ඒ සඳහා අවශ්‍ය

පිටි ග්‍රෑම් 500 ක්

යීස්ට් තේ හැඳි 2 ක්

බිත්තර 2 ක්

සීනි තේ හැඳි 2 ක්

යෝගට් හෝ කිරි

මේස හැඳි 6 ක් පමණ

තල මේස හැන්දක්

හෝ බටර් මේස හැඳි 4 ක්

ලුණු ස්වල්පයක්

දැන් නාන් රොටී හදමු

පළමුවෙන් ම ගී හෝ බටර් ටික උණුකර ගන්න. පසුව පිටි, බිත්තර, යෝගට්, තල, සීනි, යීස්ට් හා ලුණු ස්වල්පයක් ද බටර්වලට ම දමා අනාගන්න. වතුර ස්වල්පය බැගින් එක් කරමින් මෙය මෘදු පිටි මෝලියක් වනතෙක් අනාගත යුතුයි. මෙම පිටි මෝලිය ලන්ච් ෂීට් එකකින් වසා පැය භාගයක පමණ වේලාවක් පිපෙන්නට තබන්න.

පසුව පිටි මෝලියෙන් කුඩා බෝල සාදා ගන්න. එම පිටි බෝල රෝලින් පින් එකක් ආධාරයෙන් හෝ අතින් තුනීකර, රත්කර ගත් තැටියක දමා දෙපැත්ත පුළුස්සා ගන්න.

 

 

වෙනස් ම රසකට චීස් නාන්

 

 

නාන් රොටී වුවත් එක් එක් රසයට හදන්න පුළුවන්. ඒ නිසා නාන් රොටී වෙනස් රස කිහිපයකින් සතියකට කිහිපවරක් වුවත් හදා ගන්න පුළුවන් නිසා ඔබට පහසුවෙන්ම ආහාර සැකසීම කළ හැකියි.

මේ සඳහා සාමාන්‍ය නාන් රොටිය සාදා ගන්නා ආකාරයට ම මෘදු පිටි මෝලියක් පළමුවෙන් ම සකසා ගත යුතුයි. එහිදී චීස් නාන් සෑදීම සඳහා ගවුඩා චීස් ස්වල්පයක් පිටි මිශ්‍රණයට එකතු කරන්න. (මෝලිය මැදට චීස් දමා නැවත පිටි මෝලිය අනන්න.)

පිපුණායින් පසුව කුඩා බෝල සාදා ඒවා තුනීකර නාන් රොටී සකසන විට බිත්තර සාරු ආලේප කරන්න. එම සාරු උඩට ග්‍රේට් කරගත් චීස් ස්වල්පයක් දමන්න. දැන් චීස් නැති පැත්ත රොටි තැටියට දමා පුළුස්සා ගත යුතු අතර චීස් දැමූ උඩ පැත්ත ගි‍්‍රල් කරගන්න.

 

මඳක් සැරට කන්න කැමැති අයට චිලී නාන්

 

මඳක් සැරට කන්න කැමැති අයට චිලී නාන් රොටී සාමාන්‍ය නාන් රොටීවලට වඩා ගැළපෙනවා. චිලී නාන් හදන්න අමාරුවක් නෑ. ඒ වෙනුවෙන්ම හැදූ කරියක් නැති වුණත් චිලී නාන් කන්න අමාරුවකුත් නෑ. හැබැයි පොඩ්ඩො ඉන්න ගෙවල්වල නම් චිලී නාන් හදන්නේ බලාගෙනයි.

ඒ වෙනුවෙන්ම හැදූ කරියක් නැති වුණත් චිලී නාන් කන්න අමාරුවකුත් නෑ. හැබැයි පොඩ්ඩො ඉන්න ගෙවල්වල නම් චිලී නාන් හදන්නේ බලාගෙනයි. චිලී නාන් සෑදීම සඳහා ද පළමුවෙන් අපි සඳහන් කළ නාන් රොටී මිශ්‍රණය ම සකසා ගත යුතුයි. එය සකසා පිපෙන්නට පැත්තකින් තබා චිලී නාන් එකට අවශ්‍ය කලමනා සකසා ගන්න.

ඉදුණු අමුමිරිස් ඇට ඉවත්කර සිහින්ව ලියා ගන්න.

පසුව කුඩා පිටි බෝලයක් ගෙන එය අතින් මඳක් තලා එහි මැදට ලියා ගත් අමුමිරිස් ස්වල්පයක් තබා නැවත ගුලිකර තුනී කරන්න. පසුව බිත්තර සාරු ගා සිහින්ව ලියා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් ඉසින්න.

දැන් රොටි තැටියේ දමා දෙපැත්ත පුළුස්සා උණුවෙන්ම මේසයට යවන්න.

 

රෑට කමුද බිත්තර රොටි

 

බිත්තර රොටියක රස බලන්නේ වැඩියෙන් බඩගිනි දැනුණු මොහොතකයි. ඒ වුණත් ගෙදරදි රෑට වගේම උදේටත් කන්න හොඳ සරල කෑමක් තමයි බිත්තර රොටි. ගුණයකුත් තිබෙන නිසා සිරුරට අවශ්‍ය පෝෂණයත් ලැබෙන අතර සරල කෑමකින් සිරුරට අනවශ්‍ය කැලරි එකතුවෙන්නේත් නැති තරම්.

නාන් රොටි සැකසීම සඳහා යොදා ගන්නා මෘදු පිටි මිශ්‍රණය ම මේ සඳහා ද යොදා ගනී. එම පිටි මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා එම බෝල තුනී රොටි ලෙස සකසා ගත යුතුයි.

බිත්තරයක් කඩා එයට ලූනු කොළ හෝ ලීක්ස් සිහින්ව ලියා තේ හැන්දක් දෙකක් පමණ ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් දමා මඳක් ගසා ගන්න. දැන් සෝස් පෑන් එකට හෝ රොටි තැටියට දැමූ තුනී රොටිය මතට බිත්තර සාරු මිශ්‍රණය දමන්න.

දැන් මෙම රොටිය හතර පැත්තෙන් නවා හතරැස් ආකාරයට ගෙන දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

හොදි, මාළු පිණි ඉතුරු වූ විටෙක රාත්‍රියට මෙවැනි රොටි සමඟ ආහාරයට ගැනීමෙන් ඒවා අහක දමන්න වෙන්නේත් නෑ. රොටියටත් වැඩි රසයක් ලැබේවි. ඒ නැතත් මේ රොටි සුප් කෝප්පයක් සමඟින් රාත්‍රියට වැඩි පෝෂණයක් ගෙන දේවි.

 

පපඩම් වෙනුවට බතුරා

පපඩම් කන්න පුංචි එවුන් කොයිතරම් කැමැතිද? සමහර වෙලාවට බත් කටක් කවා ගන්න පපඩමක් බැදලා දෙන්නත් වෙනවා.

පපඩම් නිවෙසේ නැති වෙලාවක වුණත් ඒ වෙනුවට ඔබේ අතින් ම හැදූ මේ බතුරා ටිකක් හදා දෙන්න. පොඩි අය විතරක් නෙමෙයි, වැඩිහිටි අයත් කැමැත්තෙන් රස විඳින හැටි බලන්න පුළුවන්.

ඒ සඳහා මේ දේවල් අවශ්‍යයි

පාන් පිටි ග්‍රෑම් 500 ක්

බේකින් පවුඩර් තේ හැන්දක්

යෝගට් දෙකක්

ලුණු ස්වල්පයක් (තේ හැන්දක් පමණ)

වතුර

දැන් බතුරා හදමු

පාන් පිටි, බේකින් පවුඩර්, යෝගට්, ලුණු යන සියල්ල දමා වතුර ස්වල්පය බැගින් දමමින් මෘදු පිටි මෝලියක් අනා ගන්න. මෙම පිටි මිශ්‍රණය විනාඩි 15-20 ක් පමණ වේලාවක් පිපෙන්නට තබන්න.

දැන් මෙම පිටි මෝලියෙන් කුඩා ප්‍රමාණයේ බෝල සාදා පපඩමක් ආකාරයට තුනීකර ගැඹුරු තෙලේ බදින්න.

මේවා බැදීමේ දී එළවළු තෙල්වලට ගී ස්වල්පයක් (මේස හැඳි 2 ක් පමණ ) දමා බදින්න. මෙය බැදිය යුත්තේ මඳ ගින්නේ ය.

කෑම මේසයට හොඳ පෙනුමක් දෙන්නත් බතුරා දීසියක් මඟින් හැකියාව තියෙනවා.

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී
ලක්ෂ්මී නාරාහේන්පිට
ලක්ෂ්මී කුකරි ස්කූල් - නුගේගොඩ

  

468 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 15, අඟහරුවාදා 11:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න