තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 ජූලි 17, අඟහරුවාදා 13:30

රූ සිරිය වඩවන මී පැණි රහස් විශේෂාංග

ලිව්වේ  නාමලී ගමගේ
අගයන්න
(1 මනාපය)
මී පැණි කියන්නෙ ඉතා පහසුවෙන් සොයාගන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරකයක්. සම විතරක් නොව ඔබේ හිසකෙස්වල දීප්තිය වැඩි කරගන්නත් මී පැණිවලින් ලැබෙන්නේ ලොකු සහයක්.

 

නිවෙසේදීම රූසපුව රැකගන්න, දීප්තිමත් සමක හිමිකාරියක් වෙන්න ඉතාම පහසු මී පැණි රහස් ටිකක් තමයි අද ඔයාලට කියන්න යන්නේ.

කුරුලෑ නැති කරගන්න

කුණු දූවිලි රැඳීම මුහුණේ කුරුලෑ ඇතිවෙන්න ලොකුම හේතුවක්. නිතරම මුහුණ සෝදලා පිරිසුදුව තියාගැනීමෙන් කුරුලෑ ඇතිවෙන එක වළක්වගන්න පුළුවන්. ඒ වගේම මුහුණ පිරිසුදු කිරීම සඳහා සුදුසු ෆේෂ් වොෂ් එකක් පාවිච්චි කරන්නත් ඔබට පුළුවන්. හැබැයි මිනරල් ඔයිල් අඩංගු ඒවා නම් සුදුසු නැහැ.

කුරුලෑ ගෙදරදීම හොඳ කරගන්න පුළුවන් ස්වාභාවික ආලේපනයක් පාවිච්චි කරන්න ඔයාලත් කැමැති ඇති. බලන්න පහසුවෙන්ම සාදාගන්න පුළුවන් මේ ආලේපනය මඟින් ඔබේ කුරුලෑ ගැටලුවට ඉක්මන් සහනයක් ලැබෙනවා නේද කියලා.

මී පැණි මේස හැන්දකට දෙහි ගෙඩි 1/2 ක පමණ යුෂ මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි. 20 කින් පමණ සෝදා හරින්න. මෙය සතියකට වරක්වත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

වැදගත්ම කරුණ තමයි මේ මොන දේ කළත් වැඩක් නැහැ ඔබ නිතර මානසික ආතතියකින් ඉන්න කෙනෙක්නම්. මොකද කුරුලෑ ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි මානසික ආතතිය. අපේ රටේ තිබෙන කෑමවලින් කුරුලෑවලට ලොකු බලපෑමක් නොවුණත් චොක්ලට් අඩංගු කෑම නම් එතරම් ගුණදායක නැහැ. කැරට්, නිවිති, ගෝවා, පිපිඤ්ඤා, බිත්තර, හතු, මුහුදු ආහාර ඔබේ කෑම වේලට එක්කර ගැනීමෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම නිතරම සතුටින් ඉන්න පුළුවන් නම් මේ ගැටලුවෙන් මිදෙන්න ඔබට කිසිම අපහසුතාවක් නැහැ.

ඇස් යට කළු වීම

ඇස් යට තිබෙන රුධිර නාළ වසාගන්න තරම් ප්‍රමාණවත් නම් මේද ප්‍රමාණයක් ඇස් යට ඇති සම සතුව නැහැ. මේ නිසා මෙලනීන් වර්ණකය නිසා ඇතිවන කළු පැහැය පිටතට දිස්වෙනවා. මේ සඳහා ජානමය හේතු සාධක බලපාන්නත් පුළුවන්. නිතර මානසික ආතතියකින් පසුවීම මෙන්ම අවශ්‍ය තරම් නින්දක් නොලැබීම ද මේ සඳහා හේතුවිය හැකියි. ඔබට සම්පූර්ණයෙන්ම ඉන් මිදීමට නොහැකි වුවත් මේ සත්කාර හේතුවෙන් යම්තාක් දුරට ඇස් යට කළු පැහැය නැතිකරගන්න ඔබට හැකිවේවි. මී පැණි මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ මේස හැන්දක්, අල යුෂ මේස හැන්දක් ගෙන එකට මිශ්‍රකර ඇස් යට කළු වූ ස්ථානවල ගල්වා වි. 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් පමණ කිරීමෙන් ඉතා කෙටි කාලයකින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

සම වියළි නම්

ඔබේ සම වියළි නම් ගැලවී යන ස්වභාවයක් පවතී නම් සමේ තෙතමනය නිරතුරුවම පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා හොඳින් ජලය පානය කිරීම තමයි අත්‍යවශ්‍ය සාධකය වන්නේ. ඊට අමතරව මී පැණි මේස හැදි 2 කට, කිරි මේස හැදි 2ක් එකතුකර මිශ්‍රණයක් සාදා ගන්න. මෙය පිරිසුදු රෙදි කඩකට ගෙන මුහුණේ බෙල්ලේ, අත්පාවල ආලේප කරන්න. වි. 10 ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙමඟින් සමට අවශ්‍ය විටමින් ලැබීමෙන් ඔබේ සමේ ඇදෙන සුළු බව වැඩි වී, රැලි ස්වභාවය අඩුවී පිරිපුන් බවක් ලබාදේ. සමේ වියළි බව නැති කරන්නට ස්ක්‍රබ් එකක් ලෙස මී පැණි සමඟ ඕස්ට් කැබැලි මිශ්‍රකර පාවිච්චි කරන්නත් පුළුවන්.

සුසිනිඳු නා දලු දෙතොලකට

දෙතොල කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් ඔප්නංවන ශරීරාංගයක්. දෙතොල රළු වුණොත්, වියළි වුණොත් තොල් ආලේපන ගල්වන්නත් අපහසුයි. අධික වියළි බව නිසා තොලේ සම ඉවත්වන්න පටන් ගත්තොත් අවලස්සනක් ගෙනදේවි. ඒ වගේම ඒවා ඉවත් කරද්දී දැඩි වේදනාවක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි දෙතොල් ගැන වැඩි අවධානයක් යොමුකළ යුත්තේත්.

තොල් සුසිනිඳුව තබාගන්නට නම් මී පැණි සමඟ සීනි සහ ඔලිව් තෙල් මිශ්‍රකර තොල්වල ආලේප කර හොඳින් ඇඟිලි තුඩුවලින් මෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට තුන්වරක්වත් කරන්න පුළුවන් නම් සමේ තෙත්ගතිය පවත්වා ගනිමින් වඩාත් සිනිඳු බවක් කෙටි කලකින්ම ලබාගන්න පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි.

658 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 17, අඟහරුවාදා 13:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න