තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 14, අඟහරුවාදා 14:04

නිවෙසට සිරිකත කැන්දන බෙලි විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
          ගෙවත්තට සුදුසු පලතුරු වර්ග අතරින් බෙලි ශාකයට සුවිශේෂීත්වයක් හිමි වෙයි. ඒ බෙලි ගසක් ගෙවත්තෙහි වගා කරන්නේ නම් එම නිවෙසට සිරිකත ළඟා වෙනවා යැයි පිළිගැනීමක් සමාජය තුළ තිබෙන නිසයි.

 

හින්දු බැතිමතුන් බෙලි කොළ ශිව දෙවියන් පිදීමට යොදා ගන්නේ ඒ නිසයි. ඒ වගේම බෙලි වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ ද හොඳින් වැඩෙයි. පෝෂණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද ඉහළ බෙලි ගෙවත්තට නැතුවම බැරි පලතුරකි.

ප්‍රභේද

දේශීය බෙලි වර්ග රැසක් දක්නට ලැබෙන අතර ප්‍රධාන වශයෙන් ඇත් බෙලි හා බෙහෙත් බෙලි යනුවෙන් වර්ග දෙකකි. මීට අමතරව ගෙඩිවල ප්‍රමාණය, වර්ණය, හැඩය, බීජ තිබෙන ප්‍රමාණය හා ගසෙහි වර්ධන විලාශය යනාදී වෙනස්කම අනුව බෙලි වර්ග කිහිපයකි.

දේශගුණික අවශ්‍යතා

කටුක පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන අතර රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල, ගම්පහ සහ කළුතර ආදී තෙත් කලාපීය ප්‍රදේශවලද අනුරාධපුරය, මොණරාගල, පොළොන්නරුව වැනි වියළි කලාපීය ප්‍රදේශවල ද බෙලි දක්නට ලැබෙනවා. සෙන්ටිග්‍රේට් අංශක 46 ක් පමණ ඉහළ කටුක උෂ්ණත්වයට ද සෙන්ටිග්‍රේට් අංශක 7 ක් වැනි සීතල තත්ත්වයනට ද බෙලි හොඳින් ඔරොත්තු දෙයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25 - 35 දක්වා වන නිවර්තන, උපනිවර්තන කලාපයේ හොඳින් වැඩේ.

පස

විවිධ දේශගුණික තත්ත්ව යටතේ මෙන්ම ඉතා නිසරු පසක ද ඉතා සරු පසකද හොඳින් වැඩේ. ආම්ලික, භාෂ්මික හෝ ලවණ සහිත වූ ආම්ලික අගය නඩ් 5 - 10 දක්වා වෙනස්වන පසක වුවද බෙලි ඒකාකාරීව වර්ධනය වේ. නඩ් අගය 5 - 10 ක් පමණ වන හොඳින් වාතනය වන සහ ජලය බැස යාම සිදුවන පසක හොදින් වැඩේ.

ප්‍රචාරණය

සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය බීජ මඟින්, අතු කැබලි මඟින්, අතු බැඳීම මඟින්, මුල් කැබලි මඟින් හා බද්ධ පැළ මඟින් ලබාගත හැකියි. ගුණාත්මක ගෙඩි ලබාදෙන, බෙලි ගසකින් ලබාගන්නා ඉදුණු ගෙඩිවලින් බීජ වෙන්කර ජලයෙන් හොඳින් සෝදා පිරිසුදුකර ගැනීමෙන් පසුව ඒවා වැලි තවානක තවාන් කළ යුතුය. දින 8 - 10 ක් පමණ කාලයකදී පැළවීම ආරම්භ වේ.

වැලි තවානෙහි පත්‍ර 2 - 3 ක් පමණ හටගත් පසු පැළ බඳුන් කළ යුතුයි. පැළ බඳුන් කිරීම සඳහා සෙන්ටිමීටර් 15 ක් පමණ, සෙන්ටිමීටර් 25 - 30 ක් පමණ උසැති ඝනකම පොලිතීන් බෑගයක වගා මිශ්‍රණය පුරවා ගත යුතුයි. ඒ සඳහා මතුපිට පස්, වැලි, ගොම පොහොර 1:1:1 ට අනුපාතයට වගා මිශ්‍රණය සකසා ගන්න. බීජ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා මාස 6 - 12 ක් පමණ ගතවේ. බීජ පැළවල මවු ගසෙහි ඇති ගති ලක්ෂණ ඇතිවීමේ හැකියාව අඩුය. මව් ගසෙහි ගති ලක්ෂණ ලබාගැනීමට වර්ධක ප්‍රචාරණය මඟින් පැළ බෝකර ගැනීම කළ යුතුයි. මේ සඳහා රිකිලි බද්ධය වඩාත් සුදුසුයි. පැති බද්ධය ද සාර්ථකය.

පැළ සිටුවීම

බීජ පැළ සඳහා පරතරය මීටර් 6ය6 වන ලෙසත් බද්ධ පැළ සඳහා මීටර් 3ය3 පරතරයත් සුදුසුය. පැළ සිටුවීම සඳහා සෙන්ටිමීටර් 60ය60ය60 ප්‍රමාණයේ වළවල් කපා මතුපිට පස් හා කොම්පෝස්ට් හෝ දිරූ ගොම පොහොර මිශ්‍ර කර වළවල් එම මිශ්‍රණයෙන් පිරවිය යුතුයි. එම පුරවා ගත් වළෙහි මධ්‍යයෙහි පැළ සිටුවීම කළයුතුයි. වර්ෂා කාලයන්හිදි පැළ සිටුවන්නේ නම් වඩාත් සුදුසුය. වියළි කාලයකදී නම් ජලය සැපයීම කළ යුතුය. සිටුවන ලද පැළය සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණය කළ යුතුයි.

අස්වනු නෙළීම

බීජ පැළයක් සිටුවා වසර 7 - 9 ක් පමණ කාලයකදී මල්පිපීම ඇරඹේ. බද්ධ පැළයක නම් වසර 3 - 4 කදී මල්පිපීම සිදුවේ. වසරක් පමණ වයස් ගත වු අතුවල මල් හටගනී. මුළු මල් ප්‍රමාණයෙන් 70% ක පමණ කුඩා ළපටි ගෙඩි හටගන්නා අතර ඉන් වැඩි ප්‍රමාණයක් හැලී යයි. බෙලි ගෙඩි මේරීමට මාස 7 - 10 ක් පමණ කාලයක් ගතවේ. පළමු මාසය තුළ ගෙඩි ඉතා සෙමින් වර්ධනය වේ. පසුව සීඝ්‍ර වර්ධනයක් සිදුවේ. බෙලි ගෙඩි ගසෙන් නෙළා ගත් පසුව ඉදීමක් සිදු නොවේ. ඒ නිසා හොඳින් ඉදුණු පසු අස්වැන්න නෙළිය යුතුය. ගසෙහි වයස අනුව අස්වැන්න ද සාමාන්‍යයෙන් වැඩි වේ. අවුරුදු 15 ක් පමණ වයස ඇති බීජ පැළයකින් ගෙඩි 200 - 400 ක් පමණ අස්වැන්නක් ලබාගත හැකියි. බෙලි ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100 - 725 ක් පමණ වේ. බෙලි කටුවෙහි ඝනකම මිලිමීටර් 2 - 3 ක් පමණ වන අතර ගෙඩියක බීජ 3 - 64 ක් පමණ ප්‍රමාණයක් ඇත.

රෝග හා පළිබෝධ

පිටිපුස් රෝගය

පැළ කුඩා කාලයේදී බෙලි පත්‍ර හා ළපටි අංකුර මත මෙම ආසාදනය බහුලව දක්නට ලැබේ. මේ සඳහා සල්ෆර් අඩංගු කෘෂි රසායන ඉසින්න.

ගම් වෑස්සීමට

කොපර් අඩංගු දිලීර නාශක යෙදීම

හම්බෙල්ලන්

කුඩා බීජ පැළවලට හානි කරනු ලබයි. මොවුන් අතින් ඇහිඳ විනාශ කිරීම කරන්න.

පත්‍ර කනින්නාගේ හානිය

දරුණු ලෙස පවති නම් කොහොඹ නිස්සාරකය යොදන්න.

කොළ කන දළඹු හානිය

අතින් ඇහිඳ විනාශ කිරීම හෝ කොහොඹ දියර ඉසීම.

පෝෂණ ගුණය

බෙලි ගසෙහි මුලෙහි සිට අවසාන පත්‍රය දක්වාම ඖෂධීය ගුණයෙන් යුක්තයි. ඒ නිසා මෙය පලතුරක් මෙන්ම ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.බෙලි යුෂ දිනපතා පානය කරන්නේ නම් හෘදයාබාධ සහ අඝාත තත්ත්ව අවම කර ගත හැකියි. මිනිස් සිරුරේ සීනි ප්‍රමාණය 54% ක් පමණ පාලනය කිරීමටත්, එම පලතුර පානය කිරීම මඟින් අවස්ථාව උදාවේ. බෙලි යුෂ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය හාස්කමක් බඳු යැයි විදෙස් වෛද්‍යවරුන් පවා පවසනවා. බෙලි මිනිසාට බලපෑම් කරන ගැස්ට්‍රයිටීස් රෝගයට වඩාත් ගුණදායකයි. එහි ඇති ඇලෙන ස්වභාවය මඟින් බඩ පිපුණු ස්වභාවය අවම කරගැනීමට පුළුවන්.

බෙලි යුෂ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පාලනය කරන අතර මලබද්ධයට ද ගුණදායකයි. බෙලි සිසිල් ගුණය සහිත පානයක් නිසා උෂ්ණාධික සිරුරක් හිමි අයට බෙලි පානය කිරීම ඉතාම ගුණදායකයි.

ශරීරයේ ඇති වන රතු බිබිලි හා විවිධ ආසාදන නිසා ඇතිවන බිබිලි වර්ග සඳහා ද බෙලි ඉතාමත්ම සුදුසුයි. බෙලි පානය මඟින් පියයුරු පිළිකා වළක්වා ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

 

 

උපදෙස්

කෘෂිකර්ම උපදේශක

එච්. ඒ. ඉන්දික ගුණසේන

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝමාගම

 

1203 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 14:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න