තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

ශිහාන් - ජෙෂ්නි

අගයන්න
(19 මනාප)

ඒ නෙතු කිසිදින මා සතු නොවෙතැයි දැන් ඔහුට ගැයිය නොහැකියි. මන්ද මෙතරම් කලක් දස දහසක් නෙතු යුග පීර පීරා සෙවූ ඒ නිල්මිණි දෑස් දැන් ඔහු නෙතු මතටම වැටී තිබෙන නිසයි.

හැඳල – නායකකන්ද පල්ලිය සාක්‍ෂ්‍ය කොටගෙන සීත දුරුත්තේ චාම් සිරියාවෙන් බැබලුනු ශිහාන් - ජෙෂ්නි විවාහය බොහොම කෙටි කලකින් සිදු වූ දෙයක්.

සුවහසක් යෞවනියන්ගේ හිත ගිය හුරතල් සිහින කුමාරයා හිටි හැටියේම දීග ගිහින් . . .? ඔහුගේ කුලගෙයි වතගොත දැනගන්නට ඔබට තිබෙන නොඉවසිල්ල දන්න නිසාම මේ අලුත් සිහින මනාලයාගෙන් ඒ ගැන විමසීමක් කළා.

මගේ විවාහය හදිසියේ පවත්වන්නට නෙමෙයි මමත් ආසා වුණේ. නමුත් මගේ අම්මා හදිසියේම රට යන්න තීරණය කරලා. ඇය යන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නා මගේ අක්කා ළඟට. ඉතින් ඇය හිතනවා ඇගේ මේ ගමනට පෙර මාව විවාහ කරවන්න ඕනෑ කියා.

ඒ නිසා මගේ ආදර අම්මගේ කැමැත්ත, ආශාව මත මගේ සුන්දර විවාහය සිදු වුණා. අපට ඒ සඳහා ලැබුණේ කෙටි කාලයක්. ඒ නිසා දෙපාර්ශවයේ සමීපතයින් පමණක් සහභාගී කරවාගෙන බොහොම චාම්, නමුත් හරිම සුන්දර ලෙස මමත්, ජෙෂ්නිත් අපේම කුඩුවක එකට කූඩු වුණා.

සුන්දර බිරියත් හදිසි තෝරා ගැනීමක් නොවෙයි නේ?

අයියෝ නෑ . . . ඇය වසර නවයකටත් පෙර කළ තෝරා ගැනීමක්. ඇගේ මතකය මාගේ සුන්දර පාසල් කාලය දක්වා දිව යනවා. ඒ නිසා අපේ ප්‍රේ්මණීය මතකයන් පාසල් කාලය තරමටම සොඳුරුයි. මිහිරියි. ඇය ඉතා චාම්, සරල කෙනෙක්. ඒ නිසා දුටු මතින්ම ඇය මා දුටු හොඳම, ලස්සනම තරුණිය වුණා. ඉතින් ඒ සුන්දර තරුණිය තමයි අද මගේ අලුත් මනමාලි වන්නේ. වෙනත් තරුණ තරුණියන් වගේම අපි දෙන්නත් තරහ වෙමින්, හාද වෙමින් මේ දක්වා අපේ ගමන ආවා. ඒක හරිම සොඳුරු ගමනක්.

ඔබට ආදරය කළ දහසකුත් නෙතු යුග මතින් ඔබේ තෝරා ගැනීම ඇයම වුණා . . .?

ඔව්, දැන් මට ආදරය කරන දහස් ගණන් තරුණියන් මා වටා රොක් වන්නේ මගේ ගීතවල මිහිර විඳින්න. මාගේ ජනප්‍රියත්වයට. නමුත් ඇය මට හමු වන්නේ, මට ආදරය පුදන්නේ මම මේ කිසිම දෙයක් නැති සාමාන්‍ය කොල්ලෙක්ව ඉන්නා කාලෙක.

මමත් බොහොම සාමාන්‍ය, සරලව ජීවත්වන්න කැමැති කෙනෙක්. ඉතින් මට ගැළපෙන්නෙත් එවැනි කෙනෙක්ම තමයි. ඇය මාව හොඳීන් තේරුම් ගෙන අවබෝධයෙන් ජීවත් වුණා. වෙනස් නොවී අවංකව ජීවත් වුණා. මේ දේවල් නිසා එයා මගේම කරගන්න මා තීරණය කළා.

ඒ කියන්නේ, ජනප්‍රිය වන තරමට බැඳීම් ගලවා දමන බහුතරයක් අතරෙ ඔබ නෑ . . . ඒ තරමටම ඇයට හිත යන්න ඔබ දකින ඇගේ විශේෂිත ගුණාංග මොනවද?

ඔව්, මා ඇය තුළ දකින හොඳම හා ලස්සනම දේ තමයි ඇය ළඟ තිබෙන සරල බව. ඒ වගේම මට විශ්වාසය තැබිය හැකි ලෙස ඇය ජීවත් වුණා. එමෙන්ම ඇය මාව ද දැඩිව විශ්වාස කළා.

ඇය මා කෙරේ තබා ඇති විශ්වාසය කෙතරම් ද කියනවා නම් මේ අප ආදරය කළ කාලය තුළ කිසිම දවසක හදිසි අවශ්‍යතාවයකට හැර ඇය මට කරදර කළේ නෑ. මගේ අධික කාර්යබහුලත්වයත් සමඟ සමහර විට ඇයට මගෙන් යම් යම් දේ මඟ හැරෙන්නට ඇති.

නමුත් ජෙෂ්නි හොඳින් මාව අවබෝධ කර ගත්තා. ඇය කවදාවත් ‘ඔයා කොහෙද ඉන්නේ . . ., මොනවද කරන්නේ . . ., කා එක්ක ද ඉන්නේ’ ඇහුවෙ නෑ. ‘ඔයා කීයට ද එන්නේ . . .’ ඇහුවෙත් නෑ. මම එයාට කතා කරනකම්ම එයා බලා හිටියා.

එයා ඒ තරමටම මාව අවබෝධ කරගෙන බොහොම ඉවසීමෙන් මට ආදරය කළ කෙනෙක්. ඇත්තටම මම එයාට ගොඩාක් ආදරේ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

ඉස්සර නම් ශිහාන් දඟකාර කොලු ගැටයෙක්. ඒත් දැන් වගකීම් සහගත තරුණයෙක් . . . කොහොමද ‘විවාහය’ දැනෙන්නේ?

‘විවාහය’ බොහොම සොඳුරු ගමනක ආරම්භයක්. එය නිසි කාලයේ දී සිදු වන්නට ඕන. පෙර හෝ පසුව විවාහ වී ඵලක් නෑ. මම හිතන විදියට එහි නියම රසය විඳින්නට හැකි වන්නේ කල්යල් බලා සුදුසුම කාලයේ විවාහ වුවොත් තමයි. මගේ විවාහය අහඹුවක් වුවත් හිතනවා එය නියම කාලෙට සිදු වුණා කියා. ඉතින් මම මගේ ලස්සන බිරිඳත් සමඟ මගේ සුන්දර කැදැල්ලේ මිහිර විඳිනවා.

විවාහයෙන් පස්සේ ශිහාන් වෙනස් වේවි ද කියලත් සමහරු අපෙන් අහනවා . . .?

අනේ නෑ. මම හිටපු ශිහාන් මිහිරංගම තමයි. මම හිතන්නෙ නෑ විවාහය සමඟ කෙනකුª වෙනස් විය යුතුයි කියා.

එය වගකීමක් තමයි. නමුත් මා ඒ වගකීම බොහොම සරලව සිතා සරලව ජීවත් වෙනවා. වෙනසකට තියෙන්නේ මා තනියම ගිය තැන්වලට දැන් අපි දෙන්නම යනවා.

ඉතින් අපි ආදරය කරන කාලේ වගේ හැමදාමත් සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරනවා.

දැන් ඉතින් හෙට දවසේ ඔයාල දෙන්නගේ ජීවිතය . . .?

ජෙෂ්නි නම් කලින් බැංකු ක්ෂේත්‍රයේ නියැළිලා හිටියා. නමුත් දැන් ඇය මගේ කැමැත්ත මත මා ළඟම ඉන්නවා. මම මගේ සංගීත කටයුතු සුපුරුදු පරිදි කරගෙන යනවා.

ඒ එක්කම මම වවන්න ගොඩක් කැමැති කෙනෙක්. මගේ සතුට වෙනුවෙන් මා කරනා ඒ වගාව තියෙන්නේ මාදම්පේ. එහි විවිධ එළවළු, පලතුරු වර්ග වගේම පොල්, බෙහෙත් පැළෑටි එහෙමත් ඕන තරම් තිබෙනවා. මා ඒ කටයුතු කරන්නේ බොහොම ආසාවෙන්. කැමැත්තෙන්.

132/25, හේනගම පාර, වැලිවේරිය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ශිහාන්ගේ ලිපි ගොමුවයි.

අනූෂා පතිරණගේ

Additional Info

  • බැන්ඳේ: 2017 අගෝස්තු 23, බදාදා
  • අතිනත ගත්තේ: ජෙෂ්නි ක්‍ලමෙන්ටා සිල්වා
  • උත්සවය: ශාන්ත මේරි දේවස්ථානය
මේ යටතේ එන අනෙකුත් ලිපි: « උරේෂා රවිහාරී නදිනි ප්‍රේමදාස »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න