තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2017 ජනවාරි 23, සඳුදා 14:51

දූ දරු සතුටට පැන්සල් කේක් එකක්

Written by 
අගයන්න
(1 මනාපය)
කේක් එක ආවරණය කිරීමට ෆොන්ඩන්ට් අයිසිං එක සාදා ගනිමු අවශ්‍ය ද්‍රව්‍ය ළා රෝස පාට මාෂ්මෙලෝ ග්‍රෑම් 175 ක් අයිසිං සීනි ග්‍රෑම් 350 ක් - 400 ක් අතර වතුර මේස හැඳි 2 ක්

 

පැන්සල් සාදාගැනීම සඳහා

සුදුපාට මාෂ් මෙලෝ ග්‍රෑම් 150 ක්

අයිසිං සීනි ග්‍රෑම් 300 ක් - 350 ත් අතර

වතුර මේස හැඳි 2 ක්

සාදන ක්‍රමය

මේ පාට දෙක වෙන වෙනම සාදාගන්න. මාෂ්මෙලෝ සමඟ වතුර එකතුකර මයික්‍රොවේව් එකේ විනාඩියක් තියන්න. එය පිටතට ගන්න. දැන් රත්වී දියවුණු මාෂ්මෙලෝ හොඳින් හැන්දකින් තව හොඳට දියකරගන්න. එයට අයිසිං සීනි ටික ටික එකතුකරමින් හොඳින් අනාගන්න. ඉන්පසු හැන්දකින් ඇද පදම හරි ද කියලා බලන්න. පදම හරි නම් අපි සාදාගත් ෆොන්ඩන්ට් එක ඇද්දම ඇදිලා යන්නත් බෑ. කැඩෙන්නත් බෑ. ඇදිලා ටිකක් ගිහින් කැඩෙනවා නම් ඒක තමයි පදම.

සුදු පාට අයිසිං එකත් මේ විදිහට හදාගන්න. ඉන්පසු හුළං නොවදින්නට පොලිතින්වලින් හොඳින් ආවරණයකර තබන්න.

දැන් අපි පැන්සල් හදමු.

සුදුපාට මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් එක ගෙන පොඩි කොටස්වලට කඩා වෙන වෙනම පාට එකතුකරගන්න. මේ සඳහා ටියුබ්වල ඇති කලරිං වඩා

හොඳයි. කලරිංවලට වතුර එකතු කරනවා නම් ෆොන්ඩන්ට් දියවෙන එක වළකා ගැනීමට අයිසිං සීනි ටික ටික එකතුකරමින් පාට හදාගන්න.

පැන්සල් සහ පැන්සල් තුඩ එක් පාටකින් දෙක බැගින් සාදාගන්න.

පැන්සල් තුඩ සහ පැන්සල අතරට එන කොටසට ක්‍රීම් පාටින් ෆොන්ඩන්ට් ටිකක් සාදාගන්න. ඒ සඳහා ඔබට පුළුවන් සුදු ෆොන්ඩන්ට්වලට කහ පාට බිංදු කිහිපයක් එකතුකරන්න. නැත්නම් තැඹිලි පාටින් බිංදුවක් දෙකක් එක්කරන්න.

පැන්සල් හැඩය ගැනීමට පොඩි කොටසක් ගෙන හොඳින් අතින් පොඩිකර බෝලයක් සාදාගන්න. දැන් එම බෝලය සිලින්ඩරයක ආකාරයට එන්න අත්ල දෙකෙන් රෝල් කරගන්න. දිගට සිටින සේ එම පාටින්ම පුංචිම පුංචි කොටසක් ගෙන පුංචි බෝලයක් සාදා එහි එක කොනක් විතරක් උල් හැඩයට මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල මඟින් සාදාගන්න. එය පැන්සලේ තුඩයි.

ඒ විදිහට සියලුම පාටවලින් පැන්සල් සාදාගන්න. පැන්සලේ බඳ කොටස සහ තුඩ එකතුකිරීමට ක්‍රීම් පාටින් සාදාගත් ෆොන්ඩන්ට්වලින් පොඩි කොටස කොටස ගෙන බෝලයක් සාදා එක් පැත්තක් විතරක් මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදාගනිමින් උල් හැඩයට සකස්කරන්න. දැන් එහි උල් පැත්තේ මුල චුට්ටක් කපන්න. අනිත් පැත්ත පැන්සලට අලවන්න පුළුවන් විදිහට සකස්කරන්න. නැත්නම් පිහියකින් කපන්න.

මේ විදිහට සකස්කරගත් පැන්සලේ බඳ කොටස සහ උල් කොටස රඳවන ආකාරයට මේ කොටසට එක්කරන්න. ඔබට මේ කොටස් තුන ඇලවීමට වතුර භාවිත කළ හැකියි.

පින්සලකින් වතුර බොහොම ස්වල්පයක් ගෙන මෙහි දවටා අලවාගන්න.

දැන් පැන්සල් පසෙකින් තබා කේක් එක සාදාගනිමු. කිලෝ දෙකක් ග්‍රෑම් 500 බැගින් තැටි හතරකට බේක්කරගන්න. 

 


බටර් කේක් මෙහෙම හදමු 

කේක් කිලෝ දෙකට අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 500 ක්

සීනි ග්‍රෑම් 500 ක්

පිටි ග්‍රෑම් 500 ක්

බිත්තර 5 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 30 ක්

කිරි මේස හැඳි 3 ක් (නැවුම් එළකිරි හෝ දියකරගත් පිටිකිරි)

වැනිලා තේ හැඳි 1 ක්

ග්‍රෑම් 500 ප්‍රමාණ එකතු කළ හැකි රවුම් තැටි 2 ක්

 සාදන ක්‍රමය

පළමුව කේක් කිලෝ එකක ප්‍රමාණයක් සාදා රවුම් තැටි දෙකේ බේක්කරකර ගන්න.

බේකිං පවුඩර් පිටිවලට එකතුකර කලවම්කර තුන් සැරයක් හළාගන්න. සීනි බටර් එක්කර සීනි දියවෙනතුරු හොඳින් ගසාගන්න. එයට බිත්තර එක බැගින් එකතුකර හොඳින් ගසාගන්න. එයට වැනිලා ද එක්කර කලවම් කරගන්න. ඉන්පසු හලාගත් පිටි ටික ටික එකතුකරමින් හොඳින් කලවම් කරන්න. කිරි එකතුකර කේක් බැටර් එකක් වනතුරු හොදින් කලවම් කරන්න.

කේක් බැටර් එක කියලා හඳුන්වන්නේ අපි මිශ්‍රණය හැන්දකින් උඩට උස්සා භාජනය වෙත එක් කිරීමේ දී රැලි රැලි වගේ වැටීමයි. මිශ්‍රණය දියාරු නොවිය යුතුයි.

රවුම් තැටිවලට තෙල් කඩදාසියක් එකතුකර කේක් මිශ්‍රණය තැටියේ 3/4 ක් වනතුරු එක්කරන්න. විනාඩි 10 කට කලින් රත්කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 30 ත් 40 ත් අතර බේක්කර ගන්න. අවන් එකකින් එකකට වෙනස් නිසා ඔබේ කේක් එකේ සුවඳත් වේලාවත් අනුව ටූත් පික් එකකින් කේක් එකේ හරි මැදට ඇන බලන්න.

ටූත් පික් එක පිරිසුදු නම් කේක් එක බේක් වී ඇත. එහෙම නොවේ නම් තව විනාඩි කිහිපයක් බේක්වීමට තබන්න.

බේක්කරගත් කේක් දෙක එළියට ගෙන විනාඩි 15 ක් පමණ නිවෙන්නට හැර තෙල් කඩදාසිය මඟින් කේක් එක එළියට ගන්න. ඉන්පසු ඉතුරු මිශ්‍රණය මෙම තැටි දෙකට එක්කර බේක්කර ගන්න. ඔබට හැකි නම් මෙම කේක් හතරෙන් දෙකකට රෝස පාට කලරිං බිංදු කිහිපයක් එක්කර රෝස පාටින් සාදාගන්න. එම කේක් දෙකත් බේක් වුණු පසු හොඳින් නිවෙන්නට හරින්න.


 දැන් අපි කේක් එක නිර්මාණය කරමු

 බටර් අයිසිං සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 බටර් ග්‍රෑම් 250 ක්

අයිසිං සිනි ග්‍රෑම් 500 ක්

වැනිලා තේ හැඳි 1/2 ක්

කිරි මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

මේ සියල්ල හොඳින් කලවම්කර බීට්කරගන්න. ක්‍රීම් එකක් වෙනතුරු බීට්කරගත යුතුයි.

කේක් හතරේම උඩ පොත්ත අයින් කරගන්න. කේක් දෙක වටේ අඟල් 1/2 ක් විතර වට රවුමක් කපා අයින්කර ගන්න. එහෙම කරන්නේ උඩ කොටස ඇතුළට වෙන්න සාදාගන්නයි. එවිට සාදාගත් පැන්සල් වටේට තබා නිර්මාණය කළහැකියි.

රවුම් කපා නොගත් කේක් දෙක යටින් සිටින සේ සුදුසු ට්‍රේ එකක් මත එක මත එක බටර් අයිසිං තවරා සැන්ඩ්විච්කර තබන්න. කේක් වටේට බටර් අයිසිංවලින් කවර් කරගන්න.

දැන් සාදාගත් රෝස පාට ෆොන්ඩන්ට්වලින් භාගයක් ගෙන ලෑල්ලක් මත අයිසිං සීනි ඉස හොඳින් තුනීකර ගන්න. තුනීකරගත් ෆොන්ඩන්ට් එකෙන් කේක් එක කවර්කර ගන්න. ඉන්පසු වටේ රවුම්ව කපාගත් කේක් දෙක ඒ මත බටර් අයිසිංවලින් සැන්ඩ්විච්කර තබන්න. ඉතිරි ෆොන්ඩන්ට් ටික තුනීකර එම කේක් දෙක කවර්කර ගන්න.

දැන් සාදාගත් පැන්සල් පාට ගැළපෙන අයුරින් ගෙන පින්සලයකින් වතුර ගා මෙහි දැක්වෙන ලෙස අලවා රඳවාගන්න.

පුංචි කටර් එකකින් මල් කපා අලවාගන්න. මෙයට කුඩා බ්ලැක් බෝඩ් එකක් අකුරු කිහිපයක්, ඉලක්කම් කිහිපයක් පලතුරු කිහිපයක් ෆොන්ඩන්ට්වලින් කපා අලවාගන්න පුළුවනි.

 කේක් එකේ උඩට ඇපල් ගෙඩියක් සාදා තැබිය හැකියි. මේ දේවල් කල් ඇතුව සාදා තබා ගැනීමෙන් හොඳින් වියළී යයි. එවිට කැඩෙන්නේ නැත.

3022 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 23, සඳුදා 14:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න