තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2018 අප්‍රේල් 03, අඟහරුවාදා 15:35

මල් ලොව සුන්දරත්වය මංගල දිනයට ද ෆ්ලවර් වෙඩිං

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
‘මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවේ...’ යැයි කියන්නේ මල් එතරම්ම මෘදු නිසාය. මල්වල ඇති සිනිඳු බව, එකිනෙකට වෙනස් වර්ණ, විවිධාකාර වූ හැඩ අපේ සිත්වලට සතුට ගෙන එයි.

 

ඒ නිසාම ලෝකය ලස්සන කරන්නට මල්වලට හැකියාව ඇත. මල් හා බොහෝ විට සබඳකම් පවත්වන්නේ කාන්තාවන් ය. ඇය ද උපමා කරන්නේ මලකටයි.

එහෙත් මල් හා සබඳකම් පවත්වන තරුණයකු අපට පසුගියදා මුණ ගැසිණි. ඔහුට මල් හා වූ ඥාතිකම් බොහොමයකි. එනිසාම තමාගේ අධ්‍යාපනයෙන් ලැබූ රැකියාව ද හැර දමා මල් අතරම සිටීමට තීරණය කළේය. ඔහු නමින් බුද්ධික ඉඩම්ගෙදරයි. බුද්ධික තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකි. මේ තොරතුරු අසන ඔබට නැගෙන මීළඟ ප්‍රශ්නවලට පිළිතුරු අපි ඔහුගෙන් ම අසා දැනගනිමු.

බුද්ධිකට මල් එක්ක තියෙන ඥාතීත්වය මොකක්ද?

මගේ අම්මා තමයි මානෙල් ඉඩම්ගෙදර කියන්නේ.. අම්මා අත්කම් නිර්මාණ ශිල්පිනියක්. ඇය රජයේ සේවයේ නියුතුව සිටියදී ම තමයි මල් සැකසීමේත් මේ අත්කම් ආදිය කිරීමේත් නියුතු වුණේ.. අම්මා විතරක් නෙමෙයි මගේ තාත්තත් මල් සැකසුම්වලට සම්මාන දිනාගත් අත්කම් ශිල්පියෙක්. තාත්තා මහින්ද ඉඩම්ගෙදර. ඔහු පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කළ අයෙක්. ඒත් මේ දෙන්නාම මල් සැකසීමට තරම් සොඳුරු හදවත් තිබූ, ඉවසීම තිබූ දෙදෙනෙක්. ඉතිං මමත් කුඩා කාලෙ ඉඳලම හැදී වැඩුණේ මල්වලින් පිරුණු වටපිටාවක. මමත් මල් පෙති අතපත ගාන්න. මල් හදන්න ඉගෙන ගත්තේ සෙල්ලම් වයසේදීමයි.

මම පාසල් ගියේ නුවර ධර්මරාජ විද්‍යාලයට. මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඒ රැකියාවේ මට තරමක් එකාකාරී බවක් දැනුණා. ඒත් එක්කම මට හිතුණා මට ඒ දැනුමත් උපයෝගී කරගනිමින් මල් සැකසුම් කලාව ඉදිරියට ගෙනයාමට හැකියාව ඇති බව. ඒ නිසා මම රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව ම මල් සැකසුම් කලාවට සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා. ඉස්සර අම්මා තමයි මේක කළේ. අලුත් පරම්පරාවට ගැළපෙන විදියට වෙනස්කම් කරමින් මම ව්‍යාපාරයට අලුත් මුහුණුවරක් ලබා දුන්නා.

මල් සැකසුම් කලාව මේ වන විට ලංකාවේ ජනපි‍්‍රය ව්‍යාපාරයක්. අනිකුත් මල් සැකසුම්වලට වඩා ඔබේ මල් සැකසුම් වෙනස් වෙන්නේ කොහොමද?

ඇත්තට ම මල් සැකසුම් ශිල්පියෝ බොහෝ වෙලාවට නිර්මාණ කරන්නේ ස්වභාවික මල් හෝ ආනයනික මල් උපයෝගී කරගෙන. ඒත් මම කරන නිර්මාණවලට හැමවෙලාවෙම වගේ යොදාගන්නේ රෙදි මල්. මේ රෙදි මල් සියල්ල ම අපේම අත්වලින් නිර්මාණය කළ ඒවා වීමත් විශේෂත්වයක්. ඒ වගේම මේ මල් සැකසුම් සඳහා ස්වභාවික මල්වලට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ..

අපිම හදන මල් නිසා අවශ්‍ය ඕනෑම වර්ණයකින් මල් නිර්මාණය කරන්න අපිට හැකියාව තියෙනවා. සමහර වර්ණවලින් ස්වභාවික මල් ඇත්තේ නැහැ. ඒත් අපිට උත්සවයේ තේමාවට ගැලපෙන විදියට අවශ්‍ය වර්ණවලින් ඕනෑම මලක් සැකසීමට පුළුවන්. පහුගිය දවසක මට කළු වර්ණයේ රෝසමල් උපයෝගී කරගනිමින් නිර්මාණයක් කරන්න අවශ්‍ය බව කියපු සේවාදායකයකුට මම කළු වර්ණයේ රෝස මල් යොදාගෙන නිර්මාණය සිදුකර දුන්නා. ඒක උත්සවයට පැමිණි හැමදෙනාට ම පුදුමයක් වගේම හිත්ගත් නිර්මාණයක් වුණා. එහෙම දෙයක් කරන්න පුළුවන් වුණේ අපිම රෙදි මල්වලින් නිර්මාණය කරන නිසයි. අනිත් කාරණාව තමයි මල් විතරක් ම නෙමෙයි මෙහිදී අපි වෙනත් අලුත් අලුත් දේවල් යොදාගෙන නිර්මාණ කරනවා.

මේ නිර්මාණ සඳහා අවශ්‍ය මල් සැකසීම තරමක් භාර දූර වැඩක් නේද?

ඔව්, ඒත් ඒ භාරදූර වැඩේ අපේ පවුලේ දායාදයක් වගේ. අම්මා, තාත්තා, මම විතරක් නෙමෙයි අපේ පුංචි මල්හලේ සේවක සේවිකාවන් 18 ක් පමණ සේවය කරනවා. ඒ නිසා අපිට මේ කාර්යය කරන්න බැරි දෙයක් නෙමෙයි.

ඕනෑම ස්වභාවික මලක් පෙන්නලා ඒ විදිය මල්වලින් නිර්මාණයක් කරලා දෙන්න කියලා යමෙක් මගෙන් ඉල්ලුවොත් ඒ ඕනෑම ආකාරයක මල් සැකසීමේ හැකියාව මට තියෙනවා. ඇතැම් මල් අපේ රටේ වැවෙන ඒවා නෙමෙයි, ඒත් සේවාදායකයන් එවැනි මල්වලින් නිර්මාණ කරන්න කියලා කිව්වාම මම ඒවා භාරගන්නවා. අනිත් කාරණාව තමයි අපි හදන මල් රෙදි මල් කියලා කාටවත් හිතා ගන්න බැහැ. ඒවා ස්වභාවික මල් වගේමයි. ඒනිසා එහෙම වෙනසක් කාටවත් පේන්නේ නැහැ.

ප්ලාස්ටික් මල්වලට වඩා රෙදිමල්වල ස්වභාවිකත්වයක් තියෙනවා.

ඔබ මොනවගේ උත්සව අවස්ථාවන් සඳහා ද මල් සැකසුම් නිර්මාණය කරන්නේ..

මම මල් සැකසුම් නිර්මාණයන් ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා සිදු කරනවා. ඒත් වැඩිපුරම මම කරන්නේ මංගල උත්සව සඳහා තමයි. ඒ වගේම එළිමහන් උත්සව, මුහුදු වෙරළේ පැවැත්වෙන උත්සව සඳහා නිර්මාණ කරන්නත් වැඩි කැමැත්තක් දක්වනවා. මංගල උත්සවයක දී අපි ඇතුළුවන ස්ථානය සැරසීම, පෝරුව, පොල්තෙල් පහන, කිරිබත් හෝ කේක් එක තබන ස්ථානය, කිරිකල, සෙටි බැක්, හෙඩ් ටේබල්, මේස සැරසීම, මංගල රථය සැරසීම, කපල් නේම් බෝඩ් ආදී සෑම දෙයක් ම සිදු කරනවා.

බොහෝ මල් සැකසුම් ශිල්පීන් සිදු කරන්නේ මල්වලින් සිදු කරන සැරසිලි විතරයි. ඒ නිසා අපි ඒ අයට වඩා වෙනස්. ඒ වෙනසට කැමැති අය තමයි අපිව හොයාගෙන එන්නේ.. තවත් කාරණයක් තමයි මම මල් සැකසුම් කරන විදිය ගැන, එම ස්ථානයේ සිදු කරන සැකසුම චිත්‍රයට නගලා සේවාදායකයාට පෙන්වනවා. එතකොට එයාට ඒ ගැන තරමක අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

ඔබේ ආයතනයෙන් වැඩක් කරගන්න නම් නුවරට ම එන්න වෙනවද?

අපෝ නෑ. නුවරට අමතරම අපේ ශාකාවන් මීගමුවේ හා කොළඹ බත්තරමුල්ලේ තියෙනවා. ඒ නිසා අපෙන් වැඩක් කරගන්න නුවර ඒමේ අවශ්‍යතාවක් නෑ.

කොයිතරම් කාලයකට පෙර උත්සවයක් බාර දෙන්න ඕනද?

අපි අතින් මල් හදන නිසා මේකට නම් තරමක කාලයක් අවශ්‍යයි. මොකද ගන්න තීම් එකට ගැළපෙන විදියට මල් දහස් ගාණක් හදන්න වෙනවනේ. ඒනිසා අඩුම තරමේ මාස 6-7 ක්වත් තියලා වැඩේ බාරදෙන්න ඕනේ..

මේ සඳහා ඔබට විදෙස් රටවලින් පවා ඇණවුම් බාර දී ඇති බව

ඔව්, මට ආරාධනා තියෙනවා විදෙස් රටවලත් උත්සවවලට. ඉන්දියාවේ මංගල උත්සව සඳහා මේ වන විට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ සේවාවේ විශේෂත්වයක් වෙන්නේ මම එක දිනයකට ගොඩක් වැඩ බාරගන්න කෙනෙක් නෙවෙයි. උපරිම එක දිනකට වැඩ දෙකක් විතරයි බාරගන්නේ.. ඒ උත්සවය ආරම්භ වී මඳ වේලාවක් යන තෙක් මම එහි රැඳී සිටිමින් හැම දෙයක්ම හොඳින් තියෙන බවට පෞද්ගලිකවම සොයා බලනවා.

ඔබේ ජීවිතය ලස්සන කරන විශේෂ මලක් ළඟින් ම ඉන්නවා නේද?

ඇත්තට ම මගේ වයිෆ්, විෂ්ණා මගේ වැඩවලට ලොකු ශක්තියක්. එයා ගුරුවරියක් ලෙසින් සේවය කළා. දැන් එයින් ඉවත් වෙලා මගේ වැඩවලට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. ඒ වගේම එයා මගේ මවුපියන්ටත් හරි ළෙංගතුයි. ඒක මට ලොකු සැනසීමක්. අපි බොහොම සතුටින් ඉන්න පවුලක්. මල් එක්ක වැඩ කරන නිසා වෙන්න ඇති අපේ හිත් නිතරම සැහැල්ලුවෙන් තියෙන්නේ..

ඇත්තට ම බුද්ධික මෙන්ම ඔහුගේ පවුලේ සියල්ලෝම බොහොම සැහැල්ලුවෙන් සිටින පිරිසක් බව අපේ ද නෙත ගැටුණා. අපි මල් වවන්නේ, බඳුනක මල් දමන්නේ එම සතුට සැනසුම බලාපොරොත්තුවෙන් නම් නිරන්තරයෙන් ම මල් හා ගැවසෙන ඔවුනගේ සිත් ගැන අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත. බුද්ධික ඔබට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි තරුණී අපි ද සුබපතන්නෙමු.

 

 

 

 

 

ඡායා ශාන් රූපස්සර

1334 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 03, අඟහරුවාදා 15:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න