තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 ජූනි 11, බ්‍රහස්පතින්දා 11:36

මේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයයි විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(3 මනාප)
 ‘රත්තොට පටබැඳිගේ සූරිය කුමාර වන මම දිගම්පහළලාගේ සඳනි සුලෝචනා යන අයව නීතියේ හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව කොට භාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ සහතිකකර ප්‍රකාශ කරමි.’

ආදරයේ මල් හීසැර සමඟින් විවාහ දිවියට පා තබන කවුරුත් නීතිය ඉදිරියේ එලෙස පවසති. සෙනෙහෙ දෙවොල පාමුල සදාතනික බැඳීමක් වෙනුවෙන් හෘද සාක්ෂිය පෙරටුකොට විවාහ වෙති.

එහෙත් “අපි අපට විශ්වාස නම් ආදරේ නම් ඔය නීති කසාද මොකටද” කියා දීග කන ඇත්තෝ ද ඉඳහිට හමුවෙති. එලෙස සිතා දීගකෑව ද වැඩ වරදින්නේ කලක් ගත වූ පසුය. දෙදෙනාගෙන් කෙනෙක් මේ දීගය කෑවා දැන් ඇති යැයි සිතා වෙනතක ගියොත්.... දරුවන් සමඟ තනි වෙන්නට බිරියට සිදුවුවහොත්.... ඉදිරි ජීවිතය ගෙනියන්නට මඟක් නොවේ නම්.... දරුවන්ගේ වගේම ඔබේ ජීවිතය ද අඳුෙර්ය. එවන් විටෙක බොහොමයක් ළඳුන්ගේ තෝරා ගැනීම ගඟය, මුහුදය, නැත්නම් කෝච්චියය. එසේත් නොවේ නම් වස කුප්පියකි.


එහෙත් ඔබට එසේ විය යුතු නැත. එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. ඒ නිසා විවාහ සහතිකය නම් නීත්‍යානුකූල ලියවිල්ල දීග යන කාන්තාවන්ට මිල කළ නොහැකි වස්තුවකි.

එසේ නම් අපි එවැනි වලංගු විවාහ සහතිකයකට හිමිකම් කියන්නට විවාහය ලියාපදිංචිය හා සම්බන්ධ අපේ රටේ නීතිය ගැන දැනුවත් වෙමු.

 විවාහ නීති තුනක්

ලාංකේය අපට බලපාන විවාහ නීති තුනකි. එනම් සාමාන්‍ය විවාහ නීතිය, උඩරට විවාහ නීතිය හා මුස්ලිම් විවාහ නීතියයි.

සාමාන්‍ය විවාහ නීතිය 1907 අංක 19 දරණ පනත අනුව සිදුවන්නකි. මෙම පනත අවස්ථා ගණනාවකදීම සංශෝධනවලට ලක්විණි. ලංකාවේ පදිංචි මුස්ලිම් නොවන අනෙකුත් සියලුම ශ්‍රී ලාංකිකයනට සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ විය හැකියි. සිංහල හා දෙමළ ජාතිකයන්ට ද බෞද්ධ, හින්දු හා කතෝලික ආගම් අදහන අයට ද මේ නීතිය වලංගු වෙති.

උඩරට විවාහ නීතිය යනු 1952 උඩරට විවාහ හා දික්කසාද පනතට අනුකූල වූවකි. එම උඩරට නීතියට අනුව විවාහ විය හැක්කේ එම පනත වලංගු ප්‍රදේශවල මුස්ලිම් නොවන අයට පමණි. මෙම ලිපියේ ඉදිරි කොටසේ දී එම ප්‍රදේශ මොනවාදැයි ඔබට හඳුනාගත හැකියි. එමෙන්ම මෙම නීතියට අනුව බින්න විවාහ හා දීග විවාහ යනුවෙන් ද කොටසක් විස්තර වේ.

කෙසේ වෙතත් උඩරට නීතිය බලපවත්වන ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් නොවන අන් සියලු දෙනාටම කැමැති නම් සාමාන්‍ය විවාහ නීතිය හෙවත් පොදු විවාහ නීතිය යටතේ තම විවාහය සිදුකරගත හැකියි.

මුස්ලිම් විවාහ සඳහා බලපාන්නේ 1951 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වන අතර ඔවුනගේ විවාහය එම ආගමේ නායකයන් සහ එම ආගමේ චාරිත්‍ර වාරිත්‍ර සමඟ බැඳී පවතී.

 සහතිකය

දැන් අපි විවාහවීමට එනම් නීත්‍යානුකූලව විවාහ සහතිකයක් හෙවත් කසාද සහතිකයක් ලබාගැනීමට සැපිරිය යුතු කරුණු කාරණා පිළිබඳ සවිස්තරාත්මකව විමසා බලමු.

* විවාහවීමට නියමිත තරුණයා හා තරුණිය යන දෙදෙනාම මුස්ලිම්වරුන් නො වන්නේ නම් සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහය ලියාපදිංචි කළ හැකියි. එනම් සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ විය හැකියි.

 විවාහ දැන්වීම් - පිටපත් දෙකක්

ඒ සඳහා ඔවුන් විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා පදිංචි කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දිය යුතුයි. විවාහයක් සහතික කිරීමට බලය ඇති අය වන්නේ කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්, සාමදාන විනිශ්චයකරුවකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු හෝ දේවගැතිතුමකු වේ.

මෙම විවාහ දැන්වීම් පත්‍රිකා විවාහ රෙජිස්ට්‍රාර්වරයා ළඟ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ද ලබාගත හැකියි.

* විවාහ දැන්වීමක් භාරදීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කිහිපයකි.

* පාර්ශ්වකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිළිබඳ අවශ්‍යතාව සම්පූර්ණකර තිබිය යුතුය. මේ සඳහා ග්‍රාමසේවා නිලධාරීතුමා පදිංචිය සහතික කර ලබාදෙන ලිපිය ඉදිරිපත් කළ යුතුයි.

* විවාහ වන දෙදෙනාම තමන් අවසන්වරට පසුකළ උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණකර තිබිය යුතුයි. ඒ බව සනාථ කිරීමට උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

ඊට අමතරව ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.

* තමන්ගේ විවාහයට විරුද්ධ නෑදෑයන් නොවන බවත්

* ඒ වන විටත් වලංගු විවාහයක් නො පවතින බවත් යන කරුණු සම්පූර්ණකර තිබිය යුතුයි.

සාමාන්‍ය විවාහ නීතිය යටතේ සිදුකරන විවාහකදී විවාහය සිදුකරන දිනට දින දොළහකට (12) පෙර මෙම දැන්වීම භාරදිය යුතුයි. එසේ භාරදුන් විවාහ දැන්වීමක්, තම විවාහය සිදුවූ දින සිට මාස තුනක් ගතවීමට පෙර ලියාපදිංචි කරගත යුතුයි. එසේ මාස තුනක් ඇතුළත ලියාපදිංචි කරගත් විට එය වලංගු විවාහයකි. එහෙත් ඔබ ලක්ෂ ගණන් වියදම්කර මඟුල් කා එක් වහලක් යටට ගිය ද මාස තුනක් ගතවීමට පෙර විවාහය ලියාපදිංචිකර ගැනීමට නො හැකි වුවහොත් එය වලංගු විවාහයක් නොවේ. එනම් ඔබේ විවාහය නීතිය ඉදිරියේ පිළි නො ගන්නා අතර එය බල රහිත විවාහයකි.

මාස තුනකට පෙර

ඒ නිසා විවාහවීමට සිටින සෑම තරුණියක්ම තම විවාහය සිදුවී මාස තුනක් ගතවීමට පෙර තමන්ගේ විවාහයේ නීත්‍යානුකූල බව රැක ගැනීමට එය ලියාපදිංචිකර ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ගෙවිය යුතු මුදල

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 1000.000 (දාහක්) ගෙවිය යුතුයි. රුපියල් දාහ විවාහ දැන්වීමක් ඇතුළු කිරීමට රුපියල් 100 ක්, රෙජිස්ට්‍රාර් තැන සඳහා රුපියල් 750 ක්, රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම සඳහා රුපියල් 100 ක් හා මුද්දර සඳහා රුපියල් 50 ක් ලෙස බෙදේ. ඊට අමතරව කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

 උඩරට නීතිය

උඩරට නීතිය යටතේ එම නීතිය බලපාන ප්‍රදේශවල පදිංචිකරුවනට විවාහවීමට හැකියි. උඩරට නීතිය බලපාන ප්‍රදේශවල පදිංචිව සිටිය ද එම නීතිය යටතේම විවාහ විය යුතු යැයි නියමයක් නොමැත. ඒ නිසා එම ප්‍රදේශවල පදිංචිකරුවනට ද ඔවුන් කැමැති නම් සාමාන්‍ය විවාහ නීතිය යටතේ තම විවාහය සිදුකර එය ලියාපදිංචි කරගත හැකියි.

උඩරට නීතිය බලපවත්වන ප්‍රදේශ ඔබ දන්නවාද?

අප සාමාන්‍යයෙන් උඩරට ලෙස හඳුන්වන්නේ මධ්‍යම පළාත වුවත් උඩරට නීතිය ක්‍රියාත්මක පළාත් හෙවත් ප්‍රදේශ ලෙස මධ්‍යම පළාත, උතුරුමැද පළාත, ඌව පළාත හා සබරගමු පළාත අයත් වේ. ඊට අමතරව උතුරු පළතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර වුනියාවෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේට ද එම නීතිය බල පැවැත්වේ.

* නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව, පානම්පත්තුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව උඩරට නීතියට යටත්ය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය හා පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව ද උඩරට නීතිය වලංගු ප්‍රදේශවලට අයත්ය.

ඒ නිසා ඉහත දැක්වූ පළාත් හා ප්‍රදේශවල පදිංචි අයට තමන් කැමැති නම් උඩරට නීතිය යටතේ විවාහ විය හැකියි.

* මෙම නීතිය යටතේ ද විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව පුරවා සහතිකකර අදාළ කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දිය යුතුයි.

උඩරට නීතිය යටතේ සිදු කෙරෙන විවාහයක් ලියාපදිංචි කිරීමට අදාළ කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට බලයක් තිබේ.

 විවාහ දැන්වීම

මෙම නීතිය යටතේ විවාහ දැන්වීමක් භාරදීම සඳහා ඉහතින් දැක්වූ සාමාන්‍ය විවාහ නීතිය යටතේ සැපිරිය යුතු අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි.

 කතෝලික විවාහය

කතෝලික ආගමට අනුව සිදු කෙරෙන විවාහය

මෙහිදී විවාහය දේවගැතිවරයකු විසින් සිදු කළ ද එය සිදු වන්නේ සාමාන්‍ය විවාහ නීතිය යටතේමය. එනිසා සාමාන්‍ය විවාහ නීතිය යටතේ සඳහන් කළ කරුණු මේ සඳහා ද වලංගු වේ.

මෙහි ඇති වෙනස වන්නේ රෙජිස්ට්‍රාර් හෝ අතිරේක රෙජිස්ට්‍රාර් ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” නම් සහතික පත්‍රය ලබාගත යුතු අතර එම ලේකම්තැනගේ සහතික පත්‍රය ඔබගේ විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ පියතුමා වෙත ඉදිරිපත් කිරීමයි. එම සහතික පත්‍රය සමඟ අවලංගු නො කළ රුපියල් 25 ක මුද්දර ද ලබාදිය යුතුයි.

 විවාහ සහතිකය වැරැදි නම්....

ලබාගත් සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් තිබුණොත් එය නිවැරැදි කරගත හැකියි. ඒ කෙසේදැයි දැනුවත්ව සිටීම ඔබට ද ප්‍රයෝජනවත් වේවි.

මෙහිදී තම විවාහය ලියාපදිංචි කිරීමේ දී සිදු වී ඇති වරදක් නිවැරැදි කරගැනීම සඳහා එකී විවාහයේ පාර්ශවකරුවන් තම ඉල්ලීම අධිකරණයට නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුයි.

ඒ සඳහා දැනට තමන් ළඟ ඇති වරද සිදුවී තිබෙන විවාහ සහතිකය සහ අධිකරණය මඟින් ඉල්ලා සිටින ලියවිලි ඉදිරිපත් කළ යුතුයි. මෙම ඉල්ලීම නීතිඥයා විසින් අදාළ පාර්ශවකරුවන් පදිංචි ස්ථානයට අයත් දිසා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

උඩරට විවාහ නීතියට අනුව ලියාපදිංචි කළ විවාහයක දී එම විවාහ සහතිකයේ වරදක් තිබුණොත්....

එය ද නිවැරැදි කරගත හැකියි. ඒ සඳහා පාර්ශවකරුවන් තම ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුයි.විවාහ සහතිකය, සිදුවී ඇති වරද හා නිවැරැදි තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සහ කරුණු තහවුරු කිරීමට අවශ්‍ය වන වෙනත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුයි.

 විවාහ සහතිකයක පිටපතක් අවශ්‍ය නම්....

විවාහ සහතිකයක පිටපතක් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප්‍රදේශය අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් පුරවා ඉදිරිපත් කළ යුතු අතර එම ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැකියි.

 ගාස්තු

ඒ සඳහා විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය, ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රුපියල් සියයකි. (100)

විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නො දන්නේ නම් හා වර්ෂ දෙකකට නො වැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක් පිටපතකට ගාස්තුව රුපියල් දෙසීයකි.(200)

එම අදාළ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙවිය යුතුයි.

 ඉල්ලුම් පත්‍රය

ඔබ විසින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු අතර එම සහතික තැපෑලෙන් ද ගෙන්වාගත හැකියි. ඒ සඳහා ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුයි.

විවාහය ලියාපදිංචි කිරීම සම්බන්ධව ගැටලුවක් ඇත්නම් 0112889498 දුරකථන අංකයට ඇමතීමෙන් ටී.එම්. පේමසිරි මහතාගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

ලිපිනය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, අංක 234/ඒ 3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල

E-mail  (විද්‍යුත් ලිපිනය)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වෙබ් අඩවිය - www.rgdept.lk

අදහස් දැක්වීම ටී.එම්. පේමසිරි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්

 


 විවාහ දෙකයි - වලංගු කුමක්ද?

* ඒ යන පුද්ගලයා ඕ සමඟ නිත්‍යානුකූලව විවාහ වී ඇත. එහෙත් දැන් ඒ හා ඕ තම විවාහය පවත්වාගෙන නොයන අතර වෙන්වී හෝ එක් වහලක් යටම ජීවත් වෙති. මේ අතර දෙදෙනා දික්කසාද වීම සඳහා අධිකරණයේ නඩුවක් ද දමා ඇත. එහෙත් තවමත් දෙදෙනාට දික්කසාදය ලැබී නැත. මේ අතර ඒ, ඛ් නමැති අය සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යයි. එමෙන්ම ඒ, ඛ් සමඟ විවාහ වේ. එම විවාහය සිදුවී කලක් ගත වූ පසු ඒ හා ඕ ට දික්කසාදය ලැබේ. දැන් ඔබට පැන නගින ගැටලුවක් ඇත. එනම් ඒ, ඕ දෙදෙනාට නීත්‍යානුකූලව දික්කසාදය ලැබී නොමැතිව ඒ හා ඛ් අතර සිදුවූ විවාහය නීත්‍යානුකූල ද යන්නයි.

පිළිතුර -

ඒ හා ඛ් අතර සිදුවූ විවාහය නීත්‍යානුකූල නැත. එම අවස්ථාවේ ඒ ට දික්කසාදය ලැබී නොමැත. එනිසා ඒ බහු විවාහ සිදු කිරීමේ වරද කර ඇති අතර ඒ වෙනුවෙන් ඒ ට නඩු පැවරිය හැකියි.පසුව දික්කසාදය ලැබුණු නිසා එයට පෙර සිදු කළ විවාහය එම දික්කසාදයෙන් පසු වලංගු දැයි ඔබට සිතේවි.

නැත. එසේ වන්නේ නැත. මන්ද ඒ හා ඛ් අතර විවාහය සිදුවී ඇත්තේ ඒ හා ඕ අතර දික්කසාදය ලැබීමට පෙර නිසා ඒ හා ඛ් ගේ විවාහයෙන් පසුව දික්කසාදය නීත්‍යානුකුලව හිමි වුවද ඒ හා ඛ් ගේ විවාහය නීත්‍යානුකූල නොවූවකි. එය නීත්‍යානුකූල එකක් වීමට නම් ඒ හා ඛ්, ඒ හා ඕ ගේ නීත්‍යානුකූල දික්කසාදය හිමි වූ පසුව විවාහ වී තිබිය යුතුයි.

අප මෙය උදාහරණයකින් විමසා බලමු. රෝහිත් ගීතා සමඟ විවාහ වී සිටියදී දෙදෙනා අතර ඇති වූ ගැටලුවලට විසඳුම ලෙස දික්කසාදය තෝරාගනී. ඒ අතර රෝහිත් නිමාලි වන ඔබ සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යමින් ඔබව විවාහකර ගනී. එය නීත්‍යානුකූල ක්‍රමයට සිදු කරයි. එහෙත් රෝහිත් ගීතාගෙන් තවමත් නීත්‍යානුකූලව දික්කසාද වී නොමැති නිසා රෝහිත් හා නිමාලි අතර විවාහය නීත්‍යානුකූල නැත. එය නීතිය ඉදිරියේ පිළිගන්නේ ද නැත. පසුව රෝහිත්ට ගීතාගෙන් දික්කසාදය හිමි වුවද නිමාලි වන ඔබේ විවාහය වලංගු නැත. එය වලංගු එකක්වීමට නම් රෝහිත් ගීතාගෙන් නීත්‍යානුකූලව වෙන් වූ බවට ලැබෙන දික්කසාද සහතිකය නිකුත් කළ දිනට පසුව රෝහිත් හා නිමාලි වන ඔබේ විවාහය සිදුවිය යුතුයි.

එසේ නොමැතිව අද බොහෝ අය දික්කසාද නඩු පවරා තිබිය දී හොර රහසේ වෙනත් අය සමඟ විවාහ වෙති. එහෙත් ඒ විවාහ වලංගු නොවන අතර බහු විවාහ යටතේ නඩු පැවැරිය හැකියි. එමෙන්ම ඒ අතර එම බහු විවාහය සිදුකර ගන්නා පුද්ගලයා පෙර විවාහයේ දික්කසාදය ලැබීමට පෙර මිය ගියහොත් ඔහුගේ දේහයට වගේම ඔහුගේ දේපොළවලට හා ඔහු සම්බන්ධ සියලු දේට පසුව විවාහවන අයට හිමිකම් ලැබෙන්නේ නැත.

එනිසා අපේ කාන්තාවන් මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි. 

9603 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 11, බ්‍රහස්පතින්දා 12:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න