තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූලි 02, සඳුදා 10:55

මංගල පෝරුවේ චාරිත්‍ර

ලිව්වේ  මාකෙහෙල්වල කරුණාපාල
අගයන්න
(13 මනාප)
ඉතිහාසය මහා සම්මත රජ දවස දක්වා විහිදේ. ඔබට කාලවකවානු වශයෙන් සිතා ගැනීමට පවා අපහසු මහා සම්මත රජ දවස නොව සිදුහත් යශෝදරා කුමර කුමරියන් ගේ විවාහය ගැන සිතන්න. ඔබේ ගමේ පන්සලේ සිදුහත් යශෝදරා යුවලගේ පෝරුවේ චාරිත්‍ර මංගල්‍යය චිත්‍ර වලින් හෝ මූර්තියෙන් දක්වා ඇත. ඒ අනුව අපට සිතා ගත හැකි වන්නේ මංගල පෝරුවේ චාරිත්‍ර සඳහා වසර 2500 කට වඩා පැහැදිලි ඉතිහාසයක් ඇති වන බවයි.

 

පෙර කල ලංකාවේ මංගල චාරිත්‍ර වල වෛදික ස්වභාවයක් තිබුණත් මහින්දාගමනයෙන් පසු එම චාරිත්‍රයන් බුදු දහමින් ඔපවත් විය. මෙහිදී යුවල පෝරුවට නැගීමට පෙර ත්‍රිවිධ රත්නයෙන්, සතර වරම් දෙවියන්ගෙන් හා මිහිකතගෙන් අවසර ගනී. එබැවින් එයට පූජනීය බවක් ආරූඪ වෙයි. එනිසාම පන්සලේ, පල්ලියේ, කෝවිලේ, දෙව්මැදුරේ ඇති පූජනීය බවක් මංගල පෝරුවේ චාරිත්‍රයන් තුළ ද ඇත.

මංගල පෝරුවේ මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටී.පෙර ගෝත්‍රිකයන් තම මංගල ගමනේදී එසේ පිරිමියා දකුණින් ද ගැහැණිය වම්පසින් ද ගමන් කළහ. අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා කරනුයේ දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිඳ ආරක්ෂා කරමින් සටන් කිරීමයි. ඒ අයුරින්ම අදත් මනාලයා දකුණුපස ද මනාලිය වම්පස ද සිටියි. ගෝත්‍රික විවාහ වලදී මනාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මෙහිදී මනාලයා සමගින් සටන් කර මනාලිය පැහැර ගන්නා අවස්ථා ඇතිවිය.මෙයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමඟ මනාලයා හා සම වයසේ වූත් එම සවිශක්තියෙන් යුත් තරුණයෙකු රැගෙන ගියහ.

මනාලිය පැහැර ගැනීමට කිසිවකු අවොත් සටන් කරන්නේ මනාලයා නොව ඒ අමතර තරුණයායි. අද දවසේ දෙවෙනි මනමාලයා ලෙස හඳුන්වා ඇත්තේ එදා සිටි ඒ ගෝත්‍රික තරුණයායි. සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට එදා විශ්වාසයක් විය. එබැවින් මනාලියගේ වයසේ සම හැඩරුව ඇති තවත් තරුණියක් මනාලියක් ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එවිට භූ®තයින්ට මනාලිය හඳුනා ගැනීමට නොහැකිව දෙදෙනා දෙසම බලපෑම් නොකර බැලීම පමණක් කරයි. භූ®තයන් රැවටීමේ එදා උපක්‍රමය අද දවසේ දෙවෙනි මනාලියන් සැරසීම දක්වා විකාශනය වී ඇත.

පෝරුවේ චාරිත්‍ර ඉතා පැහැදිලිව අසන්නාට හා නරඹන්නාට ආකර්ශනය ඇති වන පරිදි සිදු කරයි. මඟුල් ගෙදර ඇති වටිනාම අංගය පෝරුවේ චාරිත්‍රයි.

1. ප්‍රථමයෙන්ම මංගල පෝරුවට නැගීමට වරම් ගන්න. බුද්ධාගම අනුව නම් ප්‍රථමයෙන්ම “නමෝතස්ස” පාඨය තෙවරක් කියවන්න. ත්‍රිවිධ රත්නය වඳින කුමන හෝ ගාථා තුනක් කියවන්න. “සංසාර සාරෝඝ විනීතත නීසං.” වැනි ශබ්ද රසයද ඇති ගාථාවන් නම් ඉතා මැනවි. ඉන් පසු භූමිදේවි නමස්කාරය වූ “ චන්ද කුසුම මාලං” යන්න කියවන්න. ඉන් පසු පෝරවට නැගීම සඳහා අවසර ගන්නා කවියක් හෝ කවි කීපයක් කියවන්න. දැනට එවැනි කවි 6 ක් පමණ භාවිතා කරයි. කාලවේලාව අනුව කවි සංඛ්‍යාව ඔබම තීරණය කරන්න.උදාහරණයක් ලෙස එක කවියක් කියමි.

එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා

උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා

මුදාහල ලෙස යුවලගේ පා මඟුල් පෝරුව මතයි බෝවා

මෙදා පින්බර මෙනව යුවලක් මඟුල් පෝරුව මත නගීවා

2. දැන් සුබ නැකත උදාවී ඇත. මගුල්බෙර නාද මධ්‍යයේ යුවල පෝරුවට භාරකරුවන් යටතේ නඟී. එසේ නැගුනු විට කෙටි ආශිර්වාද සිලෝවක් කියන්න.

3. ඉන්පසු ඇත්තේ සඟල බුලත් හුවමාරුවයි.මෙහිදී බුලත් අතවල් 07 ක් දෙදෙනා අතර හුවමාරු වේ.බුලත් අතකට ඇති උපරිම බුලත් සංඛ්‍යාව 40 කි. අවම සංඛ්‍යාව 02 කි. සඟල බුලත් හුවමාරුවේදී බුලත් අතකට ගන්නේ අවම බුලත් සංඛ්‍යාවයි. බුලත් අතකට කාසියක් ද එකතුවේ. බුලත් අතවල් 07 න් කියවෙන්නේ මේ විශේෂ අවස්ථාවේදී අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මී ,මුත්තා යන හත්මුතු පරම්පරාව සමරන බවයි. උතුම් ජාතීන් මෙවැනි වැදගත් අවස්ථා වලදී තම අතීත පරපුර සමරති. බුලත් වලින් සංස්කෘතිය ද කාසි වලින් ආර්ථිකයද කියවේ. සඟල බුලත් හුවමාරුවෙන් සංකේත වන්නේ අද සිට දෙදෙනා අතර සංස්කෘතික ලෙස මෙන්ම ආර්ථික ලෙස ද සහජීවනයක් ඇතිවන බවයි.

4. ඉන්පසු ඇත්තේ තැලිපිලි පැළඳීමයි. වෛදික දහම අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙන්නේ මල් මාලයක් දැමීමෙනි. එදා ඒ මල් මාලය අද වන විට තැල්ලක් සහිත චේන් පොටක් දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් 4 වෙනි යුතුකම බිරිඳට ඉසුරු සම්පත් පැවරීමයි. 5 වෙනි යුතුකම ඇයට ඇඳුම් හා ආහාරපාන සැපයීමයි.

සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන් නමදින අවස්ථාවක් දැක්වේ. මේ සම්බන්ධයෙන් මාතලී දිව්‍ය පුත්‍රයා කරන විමසීමකදී සක්දෙවි පවසන්නේ තම යුතුකම් දන්නා සැමියන් වන්දනා කරන බවයි. මෙයින් පෙනෙන්නේ බිරිඳට යුතුකම් ඉටු කරන සැමියන්ට දෙවියන් පවා ගරු කරන බවයි.

5. ඉන් පසු මුදු මාරු කිරීම සිදුවේ.මුද්ද යනු සදාකාලික භාවයේ සංකේතයි.පෙරදිග වෙද නීතිය අනුව අතේ වෙදගිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධතාවයි. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. සිංහල වෙද මහතා ප්‍රතිකාර වලදී පිරිමියාගේ දකුණතේ නාඩි බලයි. ගැහැණියගේ වමතේ නාඩි බලයි. හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිරිමියාගේ දකුණතේ රේඛා බලයි. ගැහැණියගේ වමතේ රේඛා බලයි.ඒ අනුව සදාකාලික බවේ සංකේතය හදවතට සම්බන්ධ වූ වෙදඟිල්ලේ මුල් පුරුකට පැළඳවීම මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි.

6. ඊළඟට ඇත්තේ අත පැන් වැඩීමයි. බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මවමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපොළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. ඔබ කරන පින් ඔබේ මළගිය ඥාතියාට පවරන්නේ කෙසේද? පැන් වැඩීමෙනි.මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රයයි.තම දියණිය සැමියාට පවරා දීම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් නීතිය අනුවයි.

7. ඊළඟට ඇත්තේ මංගල පෝරුව මත දී පැන් වීදුරුව හා රස කැවිලි පිරිනැමීමේ චාරිත්‍රයයි. මෙය උම්මග්ග ජාතකයෙහි අමරාදේවි හා මෙහෞෂධ පඬිවරයා මුනගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ.

ඉන් පසු දෙදෙනා සහජීවනයෙන් ආහාර ගැනේ. ඉන් පසු නැවත පැන් පානය කරයි.මේ ජීවත් වීමේ කලාවයි.

8. බුදුරදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා! යන පැතුම ජය මංගල ගාථා කියවීමෙන් ලැබේ.

9. ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා , සෝමසීලි යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මජාලි කුමරිය දීගෙට යන විට මවගේ කිරි වල ණය ගෙවීමේ කථා වස්තුවක උපයෝගි කරගෙන කිරිකඩ සේලය පිරිනැමීමේ චාරිත්‍රය සාදා තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කිසිදා පිරවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියන පණිවිඩයයි.

10. ඊළඟට ඇත්තේ වැඩිහිටියන්ට බුලත් දීමේ චාරිත්‍රයයි.මහා මංගල සූත්‍රයේ 3,11,12 යන මංගල කරුණුද සප්ත අපරිහානි ධර්මයේ 4 වෙනි අපරිහානි ධර්මය ද දස පුන්‍ය ක්‍රියා වල 4 වෙනි පුන්‍ය ක්‍රියාව ද සිඟාලෝවද සුත්‍රයේ සදිසා නමස්කාරයෙන් නැගෙනහිර නමස්කාරය ද කිතුණු දස පනතේ 4 වෙනි පනත ද මෙම චාරිත්‍රයෙන් ඔපවත් කරයි.

11. ඊළඟට ඇත්තේ පෝරුවෙන් බැසීමේ චාරිත්‍රයයි.අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවල විවාහකයන් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිසාවට මුහුණ ලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. කාලවේලාව කළමණාකරණය කරමින් මින් කීපයක් ගායනා කිරීමට පුළුවන.

12. පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය පෝරුවෙන් බැස පහන දැල්වීමයි. පහනක් දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මඟ හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි.ජීවන මාර්ගයයි. පහන දල්වන විට මඟුල් බෙර වාදනය කෙරේ.

මේ චාරිත්‍රය කරන විට අවස්ථානුකූ®ලව දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය,අෂ්ඨදේව, මංගල අෂ්ඨකය පත්මාවතී අෂ්ඨකය, වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් ගායනා කර චාරිත්‍රය ඔපවත් කිරීමට චාරිත්‍රවේදියා සමත් වෙයි.

වත්මන් කාලයේ මගුල් ගෙවල් වල දැකීමට ලැබෙන මත්පැන් පානය කරමින් හිස් බස් දොඩවනවාට වඩා, කනට ඇසීමට අපහසු වේග රිද්මයේ සංගීතය මත කිමිදෙනවාට වඩා, දඟර නැටුමක් නටනවාට වඩා මංගල පෝරුවේ චාරිත්‍රයන් තුළ වැදගත්කමක් ඇත. සංහිඳියාවක් ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී දේශක හා ලේඛක හේළි සරත් රාජකරුණා මහතා විසින් 2012.02.26 වෙනි දින සමස්ත ලංකා ඡ්‍යොතිර්වේදී සුබ සාධක සංගමයේදී පැවැත්වූ දේශනය අලලා සකස් කරන ලදී

 

13834 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 02, සඳුදා 12:05
මේ යටතේ එන අනෙකුත් ලිපි: මංගල පෝරුවේ වත ගොත »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න