තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 දෙසැම්බර් 19, සඳුදා 11:10

ඉස්තරම් අමුද්‍රව්‍ය සොයා කේක් බඩු සවාරියේ යමු විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
“මෙදා පාර නම් ඔයා හරිම රසට කේක් හදලා... කොහෙන්ද බඩු ගත්තේ...”“මේ සැරේ මම අලුත්ම කේක් බඩු තියෙන සාප්පුවක් හොයා ගත්තා.”සුවිනිට හරිම සතුටුයි සුරංගගේ වර්ණනාව නිසා.

 

එළැඹෙන උත්සව සමයේ කේක් කෑල්ලක රස මිහිර විඳින්නේ නැති නිවෙසක් හොයා ගන්නත් බැරි තරම්.

කේක් හදද්දී හැමවිටම අලුත් දේ ගැනීම හරිම වැදගත්. ඒ වගේම මිලෙන් අඩු බාල අමුද්‍රව්‍ය ගන්නවාට වඩා හොඳ ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යවලින් සාදන කේක් ගුණයෙන් වගේම රසයෙනුත් ඉස්තරම්.

ඉතින් සාධාරණ මිලට උසස් ප්‍රමිතියෙන් යුතු කේක් ද්‍රව්‍ය ගන්නට පැමිණෙන ඔබට ඒ සඳහා නම් දැරූ සාප්පු කිහිපයක්ම පිටකොටුවේ ගෑස්පහ හන්දිය අසල, වේල්ලවීදියේ ආරම්භයේ දී දැක ගන්න පුළුවන්.

කේක්වල අම්මා එහෙමත් නැත්නම් ජීවය වෙන්නේ බටර් කේක් එක. බටර් එක නියම ප්‍රමිතියට හැදුවොත් ඕනෑම කේක් එකක් රසට හදන්න පුළුවන්. හරියට හොඳින් උයන්න දන්න කෙනෙක් අතින් රසවත් කිරි හොද්දක් හැදෙනවා වගේ... ෆෘට් කේක්, චොකලට් කේක්, රිබන් කේක්, මාබල් කේක්, අයිසිං කේක්, ඔරෙන්ජ් කේක්, කැරට් කේක්, බනානා කේක්, රිච් කේක්, ලව් කේක්, වෙඩිං කේක්, ස්පොන්ජ් කේක්, ස්පන්චි කප් කේක්.... මේ හැම කේක් වර්ගයකටම නියමිත පැහැයක්, නියමිත පෙනුමක්, නියමිත රසයක් තිබෙනවා.

බටර් කේක් එකක් ළා කහ පැහැතියි. ස්පන්චි එකක් ක්‍රීම් පැහැතියි. හැම කේක් වර්ගයකම මතුපිට දිලිසෙන සුළු තෙල් ස්වභාවයක් ගන්නවා. චොකලට් කේක් එකක උඩ කරවෙන්න බැහැ. ඩේට් කේක් එකක මතුපිට තද දුඹුරු පැහැති තෙල් ස්වභාවයක් ගන්නවා. රිච් කේක් එකක් රන්වන් පැහැයට හුරු දුඹුරු පැහැතියි.

මාගරින් දියවෙලා, සීනි ලොකු කැට ගුණාත්මකව කේක් හදන අමුද්‍රව්‍ය මෙහෙම වෙන්න බැහැ. බටර් කේක් එකක ඇතුළත තිබිය යුත්තේ කුඩා සිදුරු. එය මෘදු විය යුතුයි. කටට ගත් විට හයියට වගේ දැනෙනවා නම් ඒ පරණ කේක්.

කේක් එකකට නියමිත උසක් තිබෙනවා. බේක් වෙද්දි එය මිටි වෙන්න බැහැ. කේක් එකක් නිවැරැදිව බේක් නොවුණොත් ඉක්මනින්ම පුස්කාවි.

පලතුරු වර්ග

කේක් සෑදීමේදී වියළි, අලුත් පලතුරු ගත යුතුයි. පලතුරු නිවැරැදිව සෝදා, වේළා නොගත්තොත් කේක් එක පුස් කෑම ඉක්මන් කරාවි. නියමිත ප්‍රමිතියට සැදූ කේක් එකක පලතුරු හොඳින් විසිරිලා තිබෙනවා.

කජු

සුදු පැහැති, වියළි ගතියෙන් යුතු කජු කේක් සෑදීම සඳහා විශේෂයි. පවුඩර් වැනි කජු සහ කෑලි කැපූ කජු ප්‍රමිතියෙන් අවමයි.

රසකාරක

කේක් සෑදීමේදී යොදන රසකාරක වර්ග වෙන්නේ එසන්ස් වර්ග සහ කලරිං වර්ග. හැමවිටම නමක් දිනූ වෙළෙඳනාමයකින් යුතු එසන්ස් සහ කලරිං ගන්න. මිලෙහි පොඩි වෙනසක් තිබුණත් රස ඉහිරුණු ගුණාත්මක කේක් එක්ක සඳහා මේ දේවල් සිතට ගත යුතුයි. කලරිං යෙදීම හැකිතාක් අවම කිරීමත් වැදගත්. මොකද ගල් අඟුරුවල අඟුරු නිෂ්පාදනයේ එක්තරා පියවරකදී කලරිං නිපදවෙන්නේ.

සුවඳ කුඩු

කේක්වල ඉමිහිරි රසය වඩා හිඳුවා ගැනීමට සාදික්කා, එනසාල්, කරාබු නැටි, කුරුඳු කුඩු ඉවහල් වෙනවා. අලුත් රසක්, සුවඳක් හමන්නේ මේ දේවල් අලුත් වුණොත් පමණි.

සීනි

ඉතාම කුඩා කැට සහිත සීනි කේක් සෑදීම සඳහා ගත යුත්තේ.

මාගරින්

ඉතාම මෙළෙක් නොවූ, ඉතා තද නොවූ මේ දෙක අතරේ පවතින මාගරින් කේක් සෑදීම සඳහා සුදුසුයි. එහෙත් විවිධ කේක් වර්ග සඳහා මාගරින් විවිධාකාරව භාවිත කරයි.

බිත්තර

කේක් සෑදීම සඳහා හැමවිටම ගතයුත්තේ අලුත් බිත්තර. නැතිනම් සුදුමදය හා කහමදය වෙන් කරගැනීමත් අපහසුයි. සුදුමදය හොඳින් ගැහෙන්නෙත් නැහැ.

බේකිං පවුඩර්

කේක් එක මනාව පිසීමට බේකිං පවුඩර්වල ගුණාත්මක බව වැදගත්. කල් ඉක්තුවීමේ දිනය ළං වූ ඒවා නොව අලුත්ම නිෂ්පාදන මිලදී ගන්න.

ආප්ප සෝඩා

බනානා කේක්, කැරට් කේක් වැනි ඇතැම් කේක් වර්ග සෑදීම සඳහා ගනියි.

කුකිං චොකලට්

මෙය තිත්ත හා පැණි රසැති වශයෙන් වර්ග දෙකක් පවතී. කල් ඉකුත්වීමේ දින ළං වූ චොකලට් පුස් කෑමට ඇති ඉඩකඩ වැඩියි.

ගැටෝ ක්‍රීම්

මේ පැකට් කඩලා නැවත පාවිච්චියට ගැනීමට වඩා අවශ්‍ය ප්‍රමාණය ගෙන එක් වරකින්ම අවසන් කිරීමයි සුදුසු.

ෆ්‍රෙෂ් ක්‍රීම් / ෆ්‍රෙෂ් මිල්ක්

මේ දේවල් නැවුම් විය යුතුයි. නැතිනම් බීට් කිරීම අපහසුයි.

චොකලට් පවුඩර්

හොඳ කොකෝවා සුවඳක්, වර්ණයක් ඇති ඒවා විය යුතුයි.

පාන් පිටි

කල් ඉකුත්වීමේ දිනය ළං නොවූ පැකට් කළ අලුත්ම පාන්පිටි ගන්න.

රුලං

මේවා ද අලුත්ම ඒවා විය යුතුයි. ගුල්ලෝ විදපු ඒවා හොඳ නැත.

මීපැණි

කලවම් නොවූ හොඳම මීපැණි ගන්න. ළා පැහැයෙන් යුතුව වැක්කෙරෙන්නේ ඒවාය. කැළෑමල්වල මී පැණි තද පාටයි. ජනපදවල මීපැණි ළා පැහැතියි.

සුල්තානා

එකම පැහැයකින් යුතු සුල්තානා විය යුතුය. තද කළු, දුඹුරු, කහ ඒවා එපා. ළා කහ පැහැ සුල්තානා හොඳයි. වියළි විය යුතුයි.

කරන්ට් -

කළු පැහැතියි. වියළි විය යුතුයි.

රේසිංස් -

රන්වන් පැහැතියි. වියළි විය යුතුයි.

චෙරිස් -

රතු සහ කොළ පැහැයෙන් තිබේ. මේ සඳහා විකල්ප නැත.

චව්චව් -

පරණ වූ චව්චව්වලින් සීනි පරණ වූ විට හමන ගන්ධය එයි.

ඉඟුරු දෝසි -

මෙය ද අලුත් නොවූවිට සීනි පරණ වූ ගන්ධය හමයි.

පුහුල් දෝසි -

තෙත ගතියෙන් යුතු ඒවා නොව වියළි ඒවා ගන්න. මාස පහ, හය පරණ වූ විට සීනි පරණ වූ ගන්ධය හමයි.

කැන්ඩීඩ් ෆීල්

මේවාටම ආවේණික සුවඳක් ඇත.

රට ඉඳි -

එකිනෙකට ඇළුණු තෙත බරිත වූ, කළු පැහැ ඒවා එපා. මෙරුන් පැහැති රටඉඳි වඩාත් සුදුසුයි.

කේක් වර්ග කල්තියාම සාදා ගැනීම මින්පෙර සිදු කළත් දැන් කේක් වර්ග හදන්නේ නැවුම්වමය. ඉතාම කුඩා කැබලිවලට කපන්නෙත් නැහැ. හැපෙන ප්‍රමාණයටයි කපන්නේ.

හොඳම අමුද්‍රව්‍ය දාලා ඔබේම අතින් හදන කේක් කෑල්ලක රසය පවුලේ අයටත්, අමුත්තන්ටත් විඳින්නට සලස්වන්න. ඒ අයගේ යහපත් ප්‍රතිචාර ඔබව තවතවත් දිරි ගන්වාවි.

 

 කේක් සෑදීමට අවශ්‍ය කේක් තැටි, පිලර්ස්, ක්‍රිස්ටල්, ස්ට්‍රෝන්, බීඩ්ස්, ලේස් වර්ග සහ බෝඩර් කටර්ස් මිල දී ගත හැකි ස්ථාන

  

1. පිටකොටුව ගෑස්පහ හංදිය

2. පිටකොටුව පැරණි නගර ශාලාව

3. පීපල්ස් පාක් - පිටකොටුව

4. හෑන්ස්ට් ආයතනයේ සියලුම ශාඛා මඟින්

5. ආර්පිකෝ ප්‍රදර්ශනාගාරවලින්

6. අමීර් බ්‍රදර්ස් වෙළෙඳසල පිටකොටුව

7. මුනාස්කෝ ගෑස්පහ හංදිය

 

 

4004 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 19, සඳුදා 11:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න