තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජනවාරි 31, අඟහරුවාදා 12:29

හරි විදිහට කේක් හදන්න මේ ගැටලු විසඳගන්න

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
කේක් කියන්නේ හරියටම හැදුවොත් බොහොම රසවත් කෑමක්. ඒත් කේක් රස නැතිබව කියන අයත් ඉන්නවා. ඒකට හේතුව තමයි නිවැරැදි ක්‍රමයට කේක් එක සාදා නැතිවීම.

 

කේක් හදන්න නොදන්නා අයට වගේම දන්නා අයටත් වරදින තැන් එමටයි. ඒ වැරැදි හින්දාම නියමිත රසයක් සහිත කේක් එකක් සාදාගැනීම ගැටලුවක් වූ අයත් ඇති.

ඒ නිසාම කේක් සැකසීමේ දී ඇතිවිය හැකි ගැටලු පිළිබඳ අප ප්‍රවීණ සූපවේදියකුගෙන් අදහස් විමසීමක් කළා.

ඔබේ කේක් වට්ටෝරුවේ බටර් සහ බිත්තර අඩංගුද? එසේ අඩංගු නම් කේක් එක සෑදීමට විනාඩි 15 කට පමණ පෙර ශීතකරණයේ තබා ඇති බිත්තර හා බටර් පිටතට ගෙන සාමාන්‍ය කාමර උෂ්ණත්වයට එනතුරු තබන්න. මෙසේ තැබීමෙන් ඒවා මිශ්‍රකර ගැනීම පහසුයි. අනවශ්‍ය ලෙස ජලය එක්වීමක් සිදු වෙන්නෙත් නැහැ. අයිස් පිටින් මිශ්‍රකිරීමේ දී එහි ජලයත් අඩංගු වෙනවා.

කේක් මිශ්‍රණය සාදා ගැනීමට පෙර ඔබගේ අවන් එක අදාළ උෂ්ණත්වයට සකසා රත්වීමට තබන්න.

බොහොමයක් දෙනා කේක් මිශ්‍රණය සාදා තැටියටත් දැමූ පසුවයි අවන් එක විදුලියට සම්බන්ධ කරන්නේ. එය වැරැදි ක්‍රමයක්. එමඟින් බේක්වීමේ නිවැරැදි කාලයට බේක් වී අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා රත් වූ අවන් එකට සාදාගත් මිශ්‍රණය සහිත තැටිය දැමීමට හැමවිටම සැලකිලිමත් වෙන්න.

කේක් මිශ්‍රණය බේක් කිරීම සඳහා උෂ්ණත්වයට ඔරොත්තු දෙන සුදුසු තැටියක් තෝරාගන්න. මෙහිදී තැටියේ උස පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මිශ්‍රණය අතුරාගත් පසු පිපීම සඳහා ද ඒ හා සමාන උසක් ඇති කේක් තැටියක් තෝරාගැනීම යෝග්‍යම දෙයකි.

කේක් තැටිය සකස්කර ගැනීමේදී තැටියේ පතුලෙහි මෙන්ම අනෙකුත් ඇතුළු පැතිවල ද බටර් හෝ එළවළු තෙල් ආලේපකරගත යුතුයි. එමෙන්ම ඉන්පසුව තැටියේ ප්‍රමාණයට කපාගත් තෙල් කඩදාසි අතුරාගත යුතුයි. මෙසේ සිදුකරන්නේ කේක් එක තැටියෙහි ඇලීම වළක්වා ගැනීමටයි.

ඔබට තෙල් කඩදාසි සොයා ගැනීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට සුදුසු කඩදාසි (හාෆ්ෂීට්) යොදාගත හැකියි. එහෙත් මුද්‍රිත පත්තර පිටු භාවිත කිරීම සුදුසු නැත. උෂ්ණත්වය අධික අවස්ථාවේ දී පත්තර පිටුවල අඩංගු මුද්‍රිත තීන්ත සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය කේක් එකට කලවම් විය හැකියි.

එය අවදානම් තත්ත්වයකි. කඩදාසි නොමැති විට බටර් හෝ තෙල් ආලේප කිරීමෙන් පසු පාන් පිටි ස්වල්පයක් තැටියට ඉස ගැනීමෙන් ද තැටිය සකස් කරගත හැකියි.

කේක් මිශ්‍රණය සකසා ගැනීමට අවශ්‍ය උපදෙස්.

කේක් වට්ටෝරුවට අදාළ සියලු ද්‍රව්‍ය (ingrediants) නිසි ආකාරයෙන් මැන ගෙන කේක් එක සකසන ස්ථානයේ ළඟින් තබාගන්න.

පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා, කොකෝ පවුඩර් වැනි වියළි ද්‍රව්‍ය එකට එකතුකර හොඳින් හළාගන්න. මෙසේ කරන්නේ එහි ඇති කැට සහ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත්කර ගැනීමටයි. මෙසේ කිරීමෙන් සියලුම ද්‍රව්‍ය සමාන ලෙස එකට කලවම්වීම සහ කේක් එකේ මෘදුබව රැකගැනීම පහසු වේ.

ඔබගේ වට්ටෝරුවේ බටර්, සීනි, බිත්තර අඩංගු වේ නම් ඒවා කලවම් කිරීමේ අනුපිළිවෙළ වැදගත් වේ. පළමුව බටර් හා සීනි එකට කලවම් කළ යුතුයි.

ඉන්පසු බිත්තර එකින් එක එයට එකතු කළ යුතුවේ. එසේ එකින් එක එක්කරන්නේ බටර් හා සීනි මිශ්‍රණය කැඩීයාම වළක්වා ගැනීමටයි. ඒ නිසා සැම විටම බිත්තර එකින් එක එකතුකර ගැනීමට සැලකිලිමත් වෙන්න.

අත්වැරදීමකින් හෝ බටර් හා සීනි වෙනුවට බිත්තර හා සීනි පළමුව කලවම් කළේ නම් එවැනි අවස්ථාවක දී බටර් උණුකර අවසානයේ දී එයට එකතු කරගත හැකියි.

සමහර වට්ටෝරුවලට අනුව බිත්තර වැඩි අවස්ථාවන්හිදී මිශ්‍රණය කැඩීයාමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් එහිදී බිය විය යුතු නැත. අනෙකුත් වියළි ද්‍රව්‍ය එයට එකතුකරන විට එය සාමාන්‍ය තත්ත්වයට පැමිණේ.

වියළි ද්‍රව්‍ය එකතුකිරීමේදී (පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය) එය අතින් හෝ හැන්දකින් කලවම් කරන්නේ නම් වඩා සුදුසුය. මික්සර් එකක් භාවිතකර කලවම් කරන්නේ නම් වැඩි වේලාවක් වැද්දීම නුසුදුසුය.

කේක් මිශ්‍රණය සාදා අවසන් වූ පසු සකසාගත් කේක් තැටියට දමන්න. හැකි ඉක්මනින් රත්වූ අවන් එකට දමා අවශ්‍ය කාලයට බේක්කර ගන්න. එසේ කරන්නේ කේක් මිශ්‍රණයේ අඩංගු පිපීමට භාවිත කරන ද්‍රව්‍ය කේක් මිශ්‍රණය සමඟ වාතයට නිරාවරණය වී තිබිය දී ක්‍රියාකාරීවීම ආරම්භවීම වැළැක්වීමටය.

අවන් එකට තැටිය ඇතුළත් කිරීමේ දී එය අවන් එකේ මැද තට්ටුවට ඇතුළත් කිරීම වඩාත් සුදුසුය. ඒ මඟින් අවන් එක තුළ උෂ්ණත්වය මනාව කළමනාකරණය කරගත හැකියි.

කේක් එක බේක්වන අවස්ථාවේ දී කිසිවිටෙකත් අවන් එකේ දොර ඇර සැරින් සැරේ පරීක්ෂා කරන්න එපා. ඔබ එසේ කළහොත් කේක් එක නියමිත උසට නොපැමිණෙන අතර කේක් එක තද ගතියක් ගැනීමට එය හේතුවක් වේ.කේක් එක නියමිත කාලය තුළ බේක් වූ පසු එය පරීක්ෂා කිරීමට පිරිසුදු ඉරටු කැබැල්ලක් හෝ ටූත් පික් එකක් භාවිත කරන්න. ඊට අමතරව කේක් එක මත ඔබේ ඇඟිලි තුඩු තබා ගත් විට එය නැවත පෙර තත්ත්වයට පැමිණේ නම් ඔබේ කේක් එක සාර්ථකව බේක් වී ඇත.

බේක් වූ කේක් එක අවන් එකෙන් පිටතට ගත් පසු එය උපරිම විනාඩි දහයක් පමණ තැටිය සමඟම තබන්න. ඉන්පසු තැටියෙන් ඉවත්කර දැල් ට්‍රේ එකක් මතට දමා සම්පූර්ණයෙන් නිවෙනතුරු තබන්න. නැත්නම් කේක් එක පෙඟීමට ලක්වේ.

මේ කරුණු කාරණා නිසි අයුරින් පිළිපැද කේක් එක සාදාගත්තොත් නම් කිසිම ගැටලුවක් නැති රසම රස කේක් එකක් සාදාගැනීමට හැකි වේවි.

එහෙත් ඔබට මේවාටත් වඩා ගැටලු වේ නම් 0766598030 අංකයෙන් විමසන්න.

   උපදෙස් ලබාදීම - මීගමුව වින්ඩ්මිල් බීච් හෝටලයේ ප්‍රධාන සූපවේදී

නේමින්ද රණතුංග

3156 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 31, අඟහරුවාදා 12:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න