තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මැයි 02, අඟහරුවාදා 12:56

රසයෙන් පිරි වෙඩිං කේක් විශේෂාංග

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි
අගයන්න
(0 මනාප)
මැයි, ජූනි කියන්නේ ආදරයෙන් බැඳුණු පෙම්වතුන් එක්ව කැදලි තනන මංගල මාසයි.

 

 

දහසකුත් පැතුම් පතමින් එක්ව දිවි ගෙවන්නට සපථ කරන ඒ සුන්දර දිනයේ පැමිණෙන නෑ හිත මිතුරන්ට රසවත් වෙඩිං කේක් එකක් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන්නයි කාගේත් කැමැත්ත.

ඉතින් ඔබේ මංගල දිනයේ වඩා රසවත් හා ආකර්ෂණිය වෙඩිං කේක් එකක් ඔබේ අතින්ම සාදා ගන්නට ලැබුණොත් හොඳයි නේද? අපි ඉදිරිපත් කරන මෙම කේක් වට්ටෝරුව අඟල් 2 ක් දිග අඟලක් පළල අඟල් 1/2 ක් උසැති කේක් කැබලි 400 ක් සෑදීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණයයි. මේ ප්‍රමාණය ඔබට රිසි පරිදි නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්න සෑහේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

රේසින්ස් කිලෝ ග්‍රෑම් 1 ක්

ප්ලම්ස් කිලෝ ග්‍රෑම් 1 1/2 ක්

කජු කිලෝ ග්‍රෑම් 2 ක්

චෙරි කිලෝ ග්‍රෑම් 2 ක්

පුහුල් දෝසි කිලෝ ග්‍රෑම් 1 1/2 ක්

චව් චව් කිිලෝ ග්‍රෑම් 2 ක්

ඉඟුරු දෝසි කිලෝ ග්‍රෑම් 1 ක්

කැන්ඩිඩ් ෆීල් කිලෝ ග්‍රෑම් 1 ක්

රුලං කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 250 ක්

බටර් කිලෝ ග්‍රෑම් 1 ක්

බිත්තර 45 ක්

වැනිලා මේස හැඳි 8 ක්

රෝස් එසන්ස් මේස හැඳි 6 ක්

ආමන්ඩ් එසන්ස් මේස හැ ඳි 4 ක්

ස්ට්‍රෝබෙරි ජෑම් කිලෝ ග්‍රෑම් 1 ක්

ගෝල්ඩන් සිරප් හෝ මී පැණි ජෑම් බෝතල් 1/2 ක්

බ්‍රැන්ඩි කෝප්ප 3/4 ක්

සුවඳ කුඩු මේස හැඳි 3 ක්

සාදන්නේ මෙහෙමයි

පලතුරු සියල්ල කුඩාවට කපාගන්න (ප්ලම්ස් හැර) ඉඟුරු දෝසි ඉතාමත් පුංචියට කපාගන්න. රුලං ටික කබලේ බැදගන්න. සීනි, බටර් හා බිත්තර එකම බඳුනකට දමා හොඳින් බීට් කරන්න. කපාගත් පලතුරු රුලංවල දවටා ගන්න. දැන් රුලංවල දැවටූ පලතුරු ටික බටර් හා බිත්තර මිශ්‍රණයට එකතු කරන්න.

ඉන්පසු ගෝල්ඩන් සිරප්, ආමන්ඩ් එසන්ස්, සුවඳ කුඩු, ජෑම්, වැනිලා, රෝස් එසන්ස් හා බ්‍රැන්ඩි එක්කර අතින් හොඳින් මිශ්‍ර කරමින් අනාගන්න. දැන් කිලෝ 2 ක මිශ්‍රණයක් දැමිය හැකි ආකාරයේ ට්‍රේ 2 ක් ගෙන එයට බටර් තැවරූ තෙල් කඩදාසියක් දමා සාදාගත් මිශ්‍රණය කොටස් 2 කට වෙන්කර තැටි දෙකෙහි තුනීකර ගන්න.

දැන් මෙම තැටි දෙක සෙල්සියස් අංශක 180 ට රත් කරගත් උදුනක තබා විනාඩි 35 ක කාලයක් බේක් කරගන්න.

ආමන්ඩ් පේස්ට් එක සඳහා

අයිසිං සීනි කිලෝ ග්‍රෑම් 4 ක්

කජු පවුඩර් ග්‍රෑම් 750 ක් (කජු කුඩුකර ගන්න)

ආමන්ඩ් එසන්ස් මේස හැඳි 1 1/2 ක්

බිත්තර සුදුමද 10 - 20 අතර

මේ සියල්ල එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු කොටස් 2 කට වෙන්කර ගන්න.

ලන්ච් ෂීට් එකක් මතට එක් කොටසක් දමා තවත් ලන්ච් ෂීට් එකකින් වසා රෝලිං පින් එකකින් තුනී කරන්න.

මේ ආකාරයට කොටස් දෙකම තුනී කරන්න.

දැන් මුලින් බේක් කරගත් කේක් දෙක ගෙන නිවෙන්නට හැර කුඩාවට කඩාගන්න. නැවත මෙයට ස්ට්‍රෝබෙරි ජෑම් ටිකක් දමා හොඳින් අනාගන්න. අනාගත් මිශ්‍රණය නැවත අඟල් 1/2 ක් ඝනකම සිටින සේ තුනීකර ඒ මත මුලින් සාදාගත් ආමන්ඩ් පේස්ට් එක එලා හොඳින් තදකර ගන්න.

ඉන්පසු වෙඩිං කේක් අච්චුවක් මේ මත තබා තදකර කැබලි ලකුණු කරගෙන සියුම් පිහියකින් කපා කැබලි වෙන් කරන්න.

හතරැස් හැඩයට කපාගත් තෙල් කඩදාසි ගෙන කපාගත් කේක් කැබලි ඒවායින් ඔතන්න.

ඉන්පසු තමාට කැමැති ලෙස අලංකාර රැපිං පේපර්ස්වලින් ඔතන්නට හෝ විසිතුරු පෙට්ටිවල අසුරා ගන්නට පුළුවනි. මේ ආකාරයට සකසා ගන්නේ ගෝල්ඩන් වෙඩිං කේක්ය.

ඔබට බ්ලැක් වෙඩිං කේක් සාදන්නට අවශ්‍ය නම් ඉහත ලෙසම බේක් කරගත් වෙඩිං කේක් මිශ්‍රණයට නැවත ස්ට්‍රෝබෙරි ජෑම් දමා අනා සති 2 - 3 ක් වසා තබන්න.

ඉන්පසු පිටතට ගෙන තුනීකර ඉහත ආකාරයටම ආමන්ඩ් පේස්ට් එක සාදා තුනී කරගත් වෙඩිං කේක් මිශ්‍රණය මත එළා කැමැති ආකාරයට කපා ගැනීමට පුළුවන්.

බ්ලැක් වෙඩිං කේක් සෑදීමේදී මුලින් පලතුරු සිහින්ව කපා බඳුනකට දමා එයට කබලේ බැදගත් රුලං එක්කර පලතුරු එහි දවටා ගෙන ගෝල්ඩන් සිරප්, ආමන්ඩ් එසන්ස්, සුවඳ කුඩු, වැනිලා, රෝස් එසන්ස්, බ්‍රැන්ඩි ආදී ද්‍රව්‍ය ප්‍රමාණයෙන් භාගය බැගින් එක්කර අනා සතියක් පමණ වසා තබා ඉන්පසු බටර්, බිත්තර හා ඉතිරි ද්‍රව්‍ය එක්කර බේක් කරගෙන වෙඩිං කේක් සාදන්නටත් පුළුවනි.

බේක් කරගත් පසුව මෙම වෙඩිං කේක් මිශ්‍රණය සෑහෙන කාලයක් තබා ගැනීමට හැකියි. ඔබේ මංගල උත්සවය වෙනුවෙන් මේ ආකාරයට කල් තබා වෙඩිං කේක් සාදා ගැනීමට ද අවස්ථාව ඇත. නමුත් ආමන්ඩ් පේස්ට් එක දැමීම උත්සව දිනය ආසන්නයේ සිදුකිරීමයි සුදුසු වන්නේ.

මේ ආකාරයට සාදා ගන්නා වෙඩිං කේක් මඟින් ඔබේ මංගල දිනයේ නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නට පමණක් නොව ඔබේ අතමිට සරු කරන ස්වයං රුකියාවක් ලෙස ආදායමක් උපයා ගන්නටත් පුළුවනි.

 

 

උපදෙස් - කොට්ටාව කේක් ඩ්‍රීම්ස් හි ප්‍රවිණ

කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

2021 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 02, අඟහරුවාදා 12:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න