තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මැයි 09, අඟහරුවාදා 13:19

මල් මංගල්ලෙට අලුත්ම කේක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි - චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
ගහකොළ මලින් පලින් පිරි සොඳුරු වසන්තය එළැඹිලා. හොර රහසේ මිමිණූ ආදර සිහින සැබෑවී යුවතිපතින් පතිකුලයට පිවිසෙනවා. මංගල මල් මාසෙ සොඳුරු මනාලියක් වෙන්නට දැකි සිහිනයේ මනරම් කේක් නිර්මාණයකුත් තිබෙනවාමයි. ඒ සිහිනය යථාර්ථයක් කරන්නට තරුණී වෙතින් පිදෙන අනගිතම තිළිණයයි මේ. ඔබේ සිතේ ඇඳි සොඳුරු කේක් නිර්මාණය මේ අතර තිබෙන්නට පුළුවන්. එය ඔබේම දෑතින් සාදා ගත්තොත් වටිනාකමත් දෙගුණ තෙගුණ වෙනවා. හැමෝම ඔබේ හැකියාව ගැනත් ආඩම්බර වේවි. අද දුර ඈත රටක හිඳ කේක් නිර්මාණ කලාවේ සුවිශේෂී දස්කම් පාන ඔබ හොඳින්ම හඳුනන ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක් තමයි නිකිණි සූරියගේ. මෙය ඔබට තිළිණ කරන්නේ ඇයයි.

 

 

කේක් එක හැඩ කළ විස්මිත ජෙලටින් මල්

විස්මය ගෙනදෙන මල් කලාවක් ලෙසින් ජෙලටින් මල් හැඳින්විය හැකියි. ඉතා සියුම්, අලංකාරයෙන් අනූන ජෙලටින් මල් යොදා අලංකාර කරගත් කේක් ආකෘතියකි මේ.

 ළා දම් පාට ලොකු ඕකිඩ්, රන්වන් පැහැති ලිලී, රෝස පාට රෝස වැනි ජෙලටින් මල් ද රෝස පොහොට්ටු, කොළ, අයිවී කොළ, ආදියෙන් ද හැඩ වූ මේ ආකෘතිය ඔබේ මංගල දිනයට නම් කදිම තේරීමක් වේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

සෙන්ටිමීටර් 20 ක උසින් යුතු ප්‍රමාණ තුනක රවුම් ඩමි තුනක්

බේස් බෝඩ් එකක්

රෝයල් අයිසිං ස්වල්පයක්

වර්ණ කිහිපයකින් අලංකාර කරගත් ජෙලටින් මල්, කොළ, පොහොට්ටු

ෆොන්ඩන්ට් අයිසිං

 නිර්මාණය කිරීම

ෆොන්ඩන්ට් අයිසිං තුනීකර ඩමි තුනම ආවරණය කරගන්න. බේස් බෝඩ් එක ද ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසුව ඒ මත විශාලත්වය අනුව ලොකු ඩමිය පළමුවෙන් තබා ඩමි තුන එක මත එක පිළිවෙළින් තබාගන්න.

ෆොන්ඩන්ට් දිග පටියක් කපා එය ඩමි තුනේම යට කොටසේ රවුමට බෝඩර් සේ අලවා ගන්න.

ඩමි වටේ ඉහළ කොටස් හයකට බෙදාගන්න. දැන් කර්ට්න් ඩිසයින් ආකාරයට ෆොන්ඩන්ට් තුනීකර රැලි කොටස් තුනකට නමමින් මඳක් හැඩකර ඩමි මත අලවාගන්න.

අලවා ගැනීමට රෝයල් අයිසිං භාවිත කරන්න.

ඉන්පසුව අලවාගත් කර්ට්න් අතරට අයිසිං මඟින් නමා සාදාගත් මඳක් විශාල බෝ හැඩයේ කොටස් තබා අලවාගන්න.

දැන් ඔබට කේක් ආකෘතියේ පිරිපුන් පෙනුමක් දැකගත හැකියි.

ඩමි මත ඉහළ කොටස් වැඩ දමාගත් පසුව නොම්බර් 01 නොසලය භාවිතකර රෝයල් අයිසිං මඟින් ෆී‍්‍ර හෑන්ඩ් ඩිසයින් එකක් දමාගන්න.

කේක් නිර්මාණය දෙස බැලු විට එය දැකගත හැකියි.

අවසන් වශයෙන් දිය ඇල්ලක හැඩයට සකසාගත් ජෙලටින් මල්, කොළ, පොහොට්ටු, රඳවාගෙන කේක් එකට අලංකාරවත් නිමාවක් ලබාදෙන්න.


 රන්වන් පැහැ රෝස මල් කේක් එකට ගෙනා එළිය

රන්වන් පැහැති රෝස මලින් හැඩකළ සොඳුරු ආකෘතියකි.බොහෝ සරල නිර්මාණයක් ලෙසින් පෙනෙන මෙය මංගල කේක් ආකෘතියක් ලෙසින් සේම විවාහ ගිවිසගන්නා අවස්ථාවකටත් කදිමයි. අලංකාරයෙන් අඩුවක් නැති මේ නිර්මාණය අඩු වියදමකින් සකසා ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ලීවලින් සෑදු බේස් බෝඩ් එකක්

ඊට මඳක් කුඩා Styro Foam  රවුම් බෝඩ් එකක්

විශ්කම්භය සෙන්ටිමීටර් 40ක් පමණ වු රවුම් ඩමි එකක්

විශ්කම්භය සෙන්ටිමීටර් 20ක් පමණ වූ රවුම් ඩමි එකක්

(මෙම ඩමි දෙක උඩ කොටසින් මඳක් හැඩයට කපා ඇත.)

රන්වන් පැහැය ස්පේ‍්‍ර කරගත් ලොකු රෝසමල් දෙකක්

රන්වන් පැහැය ස්ප්‍රේ කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ රෝසමල් 10ක් පමණ

තඹ (බ්‍රෝන්ස්) වර්ණය ස්පේ‍්‍රකළ රෝස කොළ කිනිති 20ක්

බ්‍රොන්ස් වර්ණය ස්පේ‍්‍රකළ කුඩා රෝස මල් සවි කරගත් මල් බෝලයක්

ෆොන්ඩන්ට් අයිසිං සුදු සහ අළු වර්ණයෙන්

සාදන ක්‍රමය

 බේස් බෝඩ් සහ ඩමි සුදු පාට ෆොන්ඩන්ට් අයිසිං වලින් ආවරණය කරගන්න. ඉන්පසු බේස් බෝඩ් එක මත එක තබා ඒ මත ෆොන්ඩන්ට් අයිසිං ආවරණය කරගත් ඩමි දෙක තබන්න. එම ඩමි රෝයල් අයිසිං මඟින් අලවාගත හැකියි.

අළු පාට දමාගත් ෆොන්ඩන්ට් අයිසිං තුනීකර සිනිඳු සේලයක් මෙන් රැලිවන ලෙස උඩ ඩමියේ සිට පහළට වැටෙන්නට අලවාගන්න.

ඉන්පසුව මල් සැකසුම් රඳවාගන්න. පළමුව බ්‍රෝන්ස් වර්ණය ස්පේ‍්‍රකරගත් මල් බෝලය ලී කූරක ආධාරයෙන් උඩ ඩමියේ මුදුනින් සවි කරගන්න. ලොකු රෝස මලක් ගෙන ආකෘතියේ ඉහළ කෙළවරේ රඳවාගන්න. ඒ අතර රෝස කොළ කිහිපයක් ද රඳවා ගත යුතුයි.

ඉතිරි ලොකු රෝස මල ගෙන ලොකු ඩමි මත කෙළවරේ ගසාගන්න. අනෙකුත් කුඩා මල් හා කොළ සියල්ල කේක් නිර්මාණයේ පෙනෙන පරිදි ආකෘතියේ පහත කොටසේ මල් පොකුරක් මෙන් පෙනෙන ආකාරයට රඳවා ගන්න.


 

කේක් එකට හැඩගෙනෙන තැඹිලි පාට මල්

සුදෝ සුදු වර්ණයට වඩාත් ප්‍රිය, සුදු සාරියෙන් හැඩවෙන මනාලියකට කදිමට ගැළපෙන කේක් ආකෘතියකි.

තද තැඹිලි පැහැති තරමක් විශාල මල් සහ පොහොට්ටු, කොළ ආදිය මේ කේක් එකෙහි තැනින් තැන රඳවා වඩාත් සිත්ගන්නා සුළු පෙනුමක් එකතුකර ඇති අතර මේ තැඹිලි වර්ණයෙන් මනාලියගේ යෙහෙළියන්ගේ සහ මල් කුමාරියන්ගේ ඇඳුම් තෝරාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

පිළිවෙළින් විශ්කම්භය කුඩා ප්‍රමාණවන

රවුම් රිජිෆෝම් ඩමි 03 ක්

කේක් ආකෘතිය තැබීමට රවුම් හැඩයේ ලෑල්ලක්

තද තැඹිලි වර්ණයේ සිහින් දිග පෙති සහිත

මඳක් විශාල ප්‍රමාණයේ මල් 05 ක්

තරමක් කුඩා ප්‍රමාණයේ සුදු පැහැ ඒරම්

ලිලී මල් 50 ක් පමණ.

ෂේඩිං ක්‍රමයට වර්ණ ගන්වාගත් අයිවී

කොළ කිනිති 40 ක් පමණ.

සුදු පැහැ කුඩා ප්‍රමාණයේ කොළවලින්

සමන්විත දිග කිනිති 30 ක් පමණ.

කුඩා පොහොට්ටු සහ ගෙඩි වර්ග කිහිපයක්

මඳක් දිගැටි හැඩයේ රන්වන් වර්ණ ගැන්වූ

කොළ කිහිපයක්.

මුතු සහ රන් වර්ණයේ අලංකාර පබළු සහිත පටියක්

ගෝල්ඩ් රිබන් එකක්

 සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන්ම රිජිෆෝම් ඩමි තුන ෆොන්ඩන්ට් අයිසින්වලින් ආවරණය කරගන්න. කේක් එක තබනා රවුම් ලෑල්ල ද ෆොන්ඩන්ට්වලින් වසාගන්න.

අනතුරුව එම ලෑල්ල මත රූපයේ පෙනෙන පරිදි ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගත් ඩමි ටික එක මත එක තබාගන්න. සෑම ඩමියකටම යට කොටසේ රන් සහ මුතු වර්ණයේ පබළු ඇල්ලූ පටිය සවි කරගන්න.

කුඩා මෝල්ඩ් එකකින් නිමකර ගත් මල් සහිත කොටස් මෙම ඩමි වටේ අලවා ලේස් කොටසකින් ආවරණය කරගත් ආකාරයට වැඩ දමාගන්න. මේ සියල්ලම සුදු පැහැ අයිසිංවලින් පමණක් කිරීම වඩාත් සුන්දරයි. චාම් පෙනුමක් ද ගෙනේවි.

අවසානයට රූපයේ පෙනෙන ආකාරයට ඩමි මත මල්, කොළ, පොහොට්ටු ආදිය රඳවා හැඩවැඩ කරගන්න.


 ඩේසි මලින් පිරි කේක් එකක සිරි

ඔසරියකින් හැඩවී හෙළ කුල සිරිතට මල් මනාලියක වන්නට සිහින මවන ඔබටයිමේ. ඩේසි මලින් පිරුණු බෙහෙවින්මසරල නිර්මාණයකි. ඩමිවලින් මෙන්ම කේක්වලින් ද මෙවැන්නක් සකසා ගන්නටපුළුවනි.

 අවශ්‍ය ද්‍රව්‍ය

විශ්කම්භය සෙන්ටිමීටර් 50 සහ

සෙන්ටිමීටර් 30 ප්‍රමාණයේ රවුම් ඩමි දෙකක් හෝ කේක් දෙකක්

එක් ඩමියක් උසින් සෙන්ටිමීටර් 20ක් පමණ විය යුතු වේ

කම්බි රහිතව සාදාගත් ඩේසිමල් 70ක් පමණ

කම්බි දමා සාදාගත් ඩේසි මල් 50ක් පමණ

බේස් බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

 සාදන ක්‍රමය

පළමුව බේස් බෝඩ් එක ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඩමි දෙක ද එලෙස තුනීකරගත් ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගත යුතුයි.

ඉන්පසුව ෆොන්ඩන්ට් අත් දෙකෙන් රෝල්කර එක සමාන ප්‍රමාණවලට කපාගන්න. ඒවා ඩමිවල උස මට්ටමට කපා ගැනීමට සැලකිලිමත් වෙන්න. දැන් එම අයිසිං රෝල් එකින් එක ගෙන හිඩැස් නොමැති වනසේ අලවා කේක් දෙක ආවරණය කරගන්න. ඉන්පසු ඩමි දෙක බේස් බෝඩ් එක මත තබන්න. ඉන්පසු ඩමි යට කොටසේ වටේට කොළ වර්ණය මඳක් ස්පේ‍්‍ර කරගන්න. ඉහළ කොටස්වලට ළා දුඹුරු වර්ණය ස්පේ‍්‍ර කරගන්න. වටේට සහ උඩට කම්බි රහිත ඩේසි මල් අලවාගන්න. කම්බි සහිත ඩේසි මල්ගෙන මඳක් උස්ව පෙනෙන්නට ගසාගන්න. කේක් නිර්මාණය දෙස බැලීමේදී මෙය පැහැදිලි වේව්.


 දාදු කැටයක හැඩය ගෙන එන ආකර්ෂණය

 

දාදු කැටයක පෙනුම ගෙන දෙන අලංකාර නිර්මාණයකි. මෙයවනස්ම රටාවකට මංගල කේක් ආකෘතිය තෝරාගන්නට හිතන ඔබ වෙනුවෙන්මයි.

 

ළා කොළ, ළා රෝස, ක්‍රීම් පැහැයන් මෙහි එක්ව තිබුණත් ඔබගේ තේමා වර්ණය, යෙහෙළියන්ගේ ඇඳුමේ පැහැයන් මේ වෙනුවෙන් ඔබට එක්කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

ප්‍රමාණයන් දෙකකින් යුත් සමචතුරස්‍ර ඩමි දෙකක්

කේක් ආකෘතිය රැඳවීමට බේස් බෝඩ් එකක් සරලව සාදාගත් රෝස පාට හා කොළ පාට රෝස මල්, පොහොට්ටු සහ කොළ

රෝයල් අයිසිං ස්වල්පයක්

ෆොන්ඩන්ට් අයිසිං

 සාදන ක්‍රමය

 පළමුව ඩමි දෙකම ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. මෙවැනි ඩමි ආවරණය කිරිමේදී පළමුව වටේ හතර පැත්ත ආවරණය කරගන්න. ඉන්පසුව එය මඳක් වියළීමට තබා පසුව මතුපිට සහ යට පැත්ත ආවරණය කරගන්න. දැන් ඩමි දෙකම මඳක් වියළීමට තබන්න.

බේස් බෝඩ් එක ගෙන එය ද ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගත යුතුයි.

ඉන්පසුව බේස්බෝඩ් එක මත මෙහි දැක්වෙන හැඩයට ලොකු ඩමිය රෝයල් අයිසිං ආලේපකර අලවාගන්න. ඒ මත කුඩා ඩමිය තබා ලී කූරක් ඩමි මැදින් ගසා සවි කරගන්න. එම ඩමිවල මුළු හා නැමුම් දාර හරහා ළා කොළ පාට ස්ප්‍රේ කරගන්න. මඳක් වියළුණු පසු සුදුපාට රෝයල් අයිසිං නොම්බර 02 නොසලයට දමා එමඟින් ඩමි වටේට මෙහි දැක්වෙන ලෙස සෙල් බෝඩරය දමාගන්න. ඩමි මතුපිටට ද දැලක් මෙන් රෝයල් අයිසිං දමාගන්න.

දැන් අපි කේක් එක මලින් සරසමු. ඒ සඳහා බේස් බෝඩ් එක සහ විශාල ඩමි එක සම්බන්ධවන ස්ථානයේ ත්‍රිකෝණයක ආකාරයට රෝසමල්, පොහොට්ටු සහ කොළ තබා අලවාගන්න. ඒ ආකාරයට ඩමි දෙක සම්බන්ධවන ස්ථානයේ වටේටම රෝස මල්, පොහොට්ටු සහ කොළ තබා අලවා ගන්න. පොහොට්ටු පහතට වැටෙන සේ රඳවා ගන්න. අවසානයේ දී කුඩාම ඩමිය මුදුනෙත් මෙහි දැක්වෙන ලෙස මල් සැකසුමක් රඳවාගන්න.


 මනරම් පෙනුමකට කදිම සුන්දරත්වයක් දම් පැහැති ඕකිඩ් කුසුම්.

ෂඩාස්‍ර හැඩැති ඩම්. හරිම අපූරු තෝරා ගැනීමක්. ඒවායින් කේක් නිර්මාණයක සොඳුරු පෙනුම තීව්‍රකර ඇති අයුරු බලන්න.

 අවශ්‍ය ද්‍රව්‍ය

ෂඩාස්‍ර හැඩැති ප්‍රමාණ හයක ඩමි හයක්

හදවත හැඩැති කොටස් 2ක්

දම් පැහැයෙන් වර්ණ ගන්වනලද ඕකිඩ් මල් 150ක් පමණ

පීච් වර්ණයෙන් යුතු කුඩා ඕකිඩ් මල් 200ක් පමණ

කුඩා මල් පොහොට්ටු සහ කිනිති

මල්වලට ගැළපෙන ආකාරයෙන් වර්ණ ගැන්වූ කොළ කිනිති 100ක් පමණ

අයිවී කොළ, ඕකිඩ් කොළ සහ කුඩා දිගැටි කොළ

 සාදන ක්‍රමය

මෙහි එක් ඩමියක උස සෙන්ටිමීටර් 20ක් වේ. විශාලතම ඩමියේ විශ්කම්භය සෙන්ටිමීටර් 80කි. මේ කේක් ආකෘතිය මඳක් විශාල එකක් වන අතර ප්‍රමාණ හයකින් යුත් ඩමි හයක් තෝරාගන්න.

කේක් එක ඉහළ කොටසේ රඳවා ගැනීමට මඳක් පිරුණු හැඩයකින් යුතු කුඩා හදවත් හැඩැති කොටස් දෙකක් කපාගන්න. සියලු ඩමි ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු ඩමි දෙක බැගින් එක මත තබා අලවාගන්න. ඩමි දෙක අතරට රවුම් හැඩයේ කුඩා ඩමියක් තබන්න. මේ ආකාරයට කේක් ආකෘතිය සවි කරගත යුතුයි.

බේස් බෝඩ් එක වටේට රන්වන් පැහැති රිබන් පටි දෙකක් බැගින් දමා ඒ මත විනිවිද පෙනෙන අඟලක පළල ඕගන්දි රිබන් පටියක් සවිකර ගන්න. දැන් කේක් ආකෘතියේ පෙනෙන ආකාරයට මල්, කොළ, පොහොට්ටු සවි කරගන්න. ඩමි අතර රැඳවූ රවුම් ඩමිය වටේට ලොකු කොළ ඇති අයිවී වැල් සමඟ කුඩා මල් දමාගන්න.


Modern theme එකට පබළු සහ ඕකිඩ්වලින් හැඩ

 නස්ම ස්වරූපයක් දිස්වෙන අලංකාර කේක් නිර්මාණයකි. ඒ අතරට එක්වුණු ඕකිඩ් මල් සහ පබළු මේ නිර්මාණයේ අලංකාරය දෙගුණ තෙගුණ කරයි.

 මොඩර්න් ක්‍රමයට නිමවා ඇති මේ කේක් නිර්මාණය අලුත් විදිහට හිතන පතන මොඩර්න් තේමාවක් ඇති ඔබටමයි. රන්වන් පැහැය මූලික කරගෙන ඔබටත් මේ Golden Wedding Cake එක නිමවාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් විශාල ප්‍රමාණ තුනක ඩමි තුනක්

විශාලතම ඩමි එකට වඩා වැඩි විශ්කම්භයක් සහිත බේස් බෝඩ් එකක්

සුදු සහ රන් පැහැය මිශ්‍ර ඕකිඩ් මල් 20ක් පමණ

කලින් සාදා වේළාගත් ළා රන්වන් පැහැති මෙහි දැක්වෙන හැඩවල අයිසිං කොටස්

රන්වන් පැහැති විශාල පබළු 100ක් පමණ

රෝසල් අයිසිං ස්වල්පයක්

තද , මධ්‍යම හා ළා රන් පැහැයේ ෆොන්ඩන්ට් අයිසිං

 සාදන ක්‍රමය

වෙවිශාලතම ඩමිය තද පැහැයෙනුත් ඊළඟ ඩමිය මධ්‍යම පැහැයෙනුත්, කුඩාම ඩමිය ළා පැහැයෙනුත් ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. බේස් බෝඩ් එක ද තද පැහැ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු බේස් බෝඩ් එක මත සියලු ඩමි පිළිවෙළින් අලවාගන්න.

සුදු පාට රෝයල් අයිසිං මඟින් ඩමි වටේට ෂෙල් බෝඩර් දමාගන්න.

කලින් සාදා වේළාගත් අයිසිං කොටස් කේක් එකේ එක් පැත්තක අලංකාර රටාවකට අලවා ගන්න. කේක් එක මුදුනෙන් ද අලවා ගන්න.

ඒ අතරින් පතර තැනින් තැනට ඕකිඩ් මල් රඳවාගන්න. රන් පැහැති පබළු ද එලෙස රඳවාගන්න.

 

විශේෂ ස්තූතිය - කුවේට් හී ෂෙරටන් හෝටලයේ විධායක සූපවේදී

ෆ්‍රෑන්ක් නොක් (Frank Noak)  මහතාට

  ඉදිරිපත් කිරීම

කුවේට්, ෂෙරටන් හෝටලයේ

ප්‍රධාන කේක් නිර්මාණ ශිල්පිනී

 නිකිණි සූරියගේ

2917 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 09, අඟහරුවාදා 13:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න