තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:08

කැපී පෙනෙන්න ලස්සනට අඳින්න.. ඒත් විච්චූරණ එපා විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ඇඳුමක් ඇඳීමේ අරමුණ ගැන ඇහුවොත් ගොඩක් අය කියන්නේ ‘විලි වසා ගන්න’ එහෙමත් නැත්නම් ‘ආරක්ෂාවට’ කියලයි. ඒක ඇත්ත වුණත් අද නම් බොහොමයක් දෙනා ඇඳුම් අඳින්නේ සමාජයේ කැපී පේන්න කිව්වොත් ඒකට ඔබත් එකඟ වේවි. ඒ නිසා තමයි විලාසිතා මේ තරමට ම අපේ ජීවිතවලට එකතු වෙලා තියෙන්නේ.

 

ඒ වුණත් අද සමහර අය කරන විලාසිතා දැක්කම ඒවා කැපී පෙනෙන විලාසිතා වුණත් ඒ කැපී පෙනීම සුන්දර එකක් වෙන්නේ නම් නෑ. ඇතැම් විට අපේ සිතට නැගෙන්නේ ජුගුප්සාජනක බවක්. අප්‍රසන්න බවක්. එහෙම වෙන්නේ ගැළපෙන විදියට විලාසිතා නොකර නොගැළපෙන දේවල්වලින් කැපී පේන්න උත්සාහ කරන නිසයි.

ඇතැම් අය විලාසිතා කළ යුත්තේ කුමනාකාරයකට දැයි නොදැන ඔහේ කරන්නන්වාලේ විලාසිතා කරනවා. මෙහෙම වුණාම සමාජයේ උසුළු විසුළුවලට ලක්වෙන්න සිදු වීම ස්වභාවිකයි. ඒ නිසාමයි ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පියකුගේ උපදෙස් ඔබට ලබා දෙන්න අපි අදහස් කළේ.

අපේ අය ෆැෂන් කරද්දි බලන්නේ ඒක දැන් තියෙන අලුත් ම ෆැෂන් එක ද කියන එක විතරයි. එහෙම නැතිව තමන් අඳින ඇඳුම තමාගේ සිරුරේ ස්වභාවට ගැළපෙනවද?, තමන් යන ස්ථානයට ගැළපෙනව ද?, තමන් යන ගමන උදේ, දවල්, හවස යන ගමනක් ද? නැතිනම් කවර වේලාවක පැවැත්වෙන උත්සවයක් ද? කියන එක සහමුලින් ම අමතක කරනවා. මූලිකව ම ඒක නිසා තමයි ගොඩක් අය ෆැෂන් කරන්න ගිහින් විහින් කැත වෙන්නේ.

උදාහරණයක් විදියට පන්සලකට, ආගමික උත්සවයකට, අවමඟුලකට සහභාගී වෙනකොට අඳින පලඳින විදියක් තියෙනවා. එහෙම එකකට තද වර්ණයක ඇඳුම් ඇන්දොත්, සිරුර අනවශ්‍ය විදියට නිරාවරණය වෙන ඇඳුම් ඇන්දොත් එහෙමත් නැතිනම් අනවශ්‍ය විදියට ආභරණ පැලඳගෙන ගියොත් ඔබ කැපී පෙනෙන එක වළක්වන්න කාටවත් බෑ. ඒ කැපී පෙනීම නිසාම සමාජයේ දෝෂ දර්ශනයට, විහිළුවට ලක්වීමත් වළක්වන්න කාටවත්ම බැරි වේවි. ඒ නිසා මූලිකව ම තමා සහභාගීවන දේ අනුව ඇඳුම තෝරා ගැනීමයි කළ යුත්තේ. ඉහත කියූ ආකාරයේ තැනකට යනවා නම් සිරුර වැහෙන සුදු හෝ ළා වර්ණයක ඇඳුමකින් සැරසී එයට ගැළපෙන චාම් ආභරණ පැලඳි විට ඔබෙන් වැඩි සුන්දරත්වයක් දිස් වේවි.

ඒ වගේම තමන්ගේ සිරුරට ගැළපෙන ඇඳුමක් අඳින්න හිතනවා නම් ඔබේ සුන්දරත්වය වඩාත් වැඩි වේවි. අලුත් ම විලාසිතාව ගොඩක් හිරට කලිසම් අඳින එක යැයි අපි හිතමු. ඒත් ගොඩක් සිහින් පාද ඇති යුවතියක් හෝ මහත යුවතියක් මෙවැනි කලිසමක් අඳිනවා නම් පාදවලට වැඩි අවධානයක් නොලැබෙන විදියට තරමක් දිගැති බ්ලවුසයක් අඳිනවා නම් එය ලස්සනක් වේවි. එහෙම නැතිව කෙටි බ්ලවුසයක් ඇන්දොත් සිහින් කෙනා තවත් සිහින්ව පෙනීමට මෙන්ම අප්‍රසන්න දසුනක් වීමත් වැළැක්විය නොහැකියි. ඒ නිසා තමාගේ සිරුරේ ස්වභාව තේරුම්ගෙන ඒ අනුව ෆැෂන් කළොත් ඔබේ ලස්සන තවත් වැඩි වේවි.

තවත් අය ඇඳුම් අඳින්න ගියාම තමන් කැමැති වර්ණය තෝරා ගැනීම ගැන පමණක් ම හිතන අවස්ථා තියෙනවා. ඒත් මතක තබා ගත යුතු දෙයක් තමයි තමාගේ සමේ වර්ණයට, සිරුරේ ස්වභාවට ගැළපෙන ආකාරයට, ඇඳුමේ මෝස්තරයට වගේම ඇඳුම කොටස් කිහිපයක් එක්ව නිර්මාණය කරගත් එකක් හෝ සාය හැට්ටයක් නැතිනම් කලිසමක් හා බ්ලවුසයක් නම් ඒවා අතර වර්ණ ගැළපීම නිසියාකාරයෙන් තිබිය යුතුයි. එහෙම නැතිව අතට අහුවෙන සායට හිතෙන හැටියට තෝරාගත් බ්ලවුසයක් ඇඳීම ෆැෂන් නෙමෙයි. එහෙම වුණාම ඔබේ ඇඳුමේ පිළිවෙළක් නැති බව දකින ඕනම කෙනකුට පෙනෙන දෙයක්.

මෝස්තර කරන්න ඩිසයිනර් කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. සමහර අය ඉන්නවා තමන් අඳින රෙද්ද හැට්ටය වුණත් හොඳින් වර්ණ ගළපා, පිළිවෙළට අඳින අය. එහෙම අය වැරැදි විදියට මෝස්තර කරන අයට වඩා සමාජයේ කැපී පෙනෙනවා. තවත් දෙයක් තමයි සමහර අම්මලා දුවලාට වඩා මෝස්තර කරන්න යනවා. ඒත් අපි එහෙම කරන්න ගිහින් විහිළුවක් වෙන්න ඕනෙ නෑ. ගෞරවය නැති කරගන්න ඕනෙ නෑ. වයසට ගැළපෙන විදියට මෝස්තර කළාම ගෞරවයත් රැකෙනවා, සමාජයේ කැපී පෙනීමකුත් තියෙනවා.

තමා අඳින ඇඳුමේ මෝස්තරය නැතිනම් ෆැෂන් එක ගැන ඇඳුම මිල දී ගන්න තැන ඉඳලම හිතන්න ඕනෙ. එහෙම නැතිව වෙළෙඳසැලේ දී ඒක අරන් ගෙදර ඇවිත් මේක මම අඳින්නේ කොහාට ද? මේක මට ගැළපෙනව ද? කියල හිතලා වැඩක් නෑ. එක් එක් මෝස්තරත් පළාත් අනුව සංස්කෘති අනුව වෙනස් වෙනවා. අපිට මේ දේවල් ගැනත් තරමක් දුරට හරි හිතන්න වෙනවා. ඒවගේම හරි විදියට ෆැෂන් කිරීමේ දී තමා කුඩා කාලයේ ඉඳන් හැදෙන පරිසරයත් ඒකට බලපානවා.

තවත් සමහර අය ෆැෂන් කරන්න අකැමැති වියදම් කරන්න තියෙන අකැමැත්ත නිසා. එයාලා හිතන්නේ.. ‘ඔන්න ඔහේ තියෙන එකක් ම අඳිනවා..’ කියලයි. ඒත් අනවශ්‍ය ෆැෂන් නෙමෙයි, ලස්සනට පිළිවෙළට අඳිනවා නම් ඔබේ ලස්සන වගේම සමාජයේ දී ඔබට ලැබෙන තත්ත්වයටත් එය බලපානවා. වෙනත් කෙනෙක් කරන ෆැෂන් එකක් දිහා බලලා ඒකම තමාත් කරන අය ඉන්නවා. ඒත් වෙනත් අයකුගේ සිරුර තමාගේ සිරුරේ පෙනුමට නොගැළපෙන්න පුළුවන් නිසා ඒ මෝස්තරය ම අනුකරණය කිරීම සාර්ථක දෙයක් නෙමෙයි. තමන් කැමැති එහෙම මෝස්තරයක් අවශ්‍ය ම නම් ඒක තමාගේ සිරුරට ගැළපෙන ලෙසින් වෙනස් කරගැනීම අවශ්‍යයි.

ඔබ මහත වුණත් කෙට්ටු වුණත් කමක් නෑ. හැබැයි ඇඳුම් අඳිනකොට ෆැෂන් කරනකොට තමන්ගේ ඒ පෙනුමෙන් අවලස්සනක් ගෙන දෙන විදියට අඳින්න එපා. මහත වුණත් ලස්සනට, ගැළපෙන්න අඳින අය අපි අතරම ඉන්නවා. දැනගන්න ඕනෙ ඒක කරන කලාව විතරයි.

1000 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න