තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

2018 අප්‍රේල් 03, අඟහරුවාදා 12:23

අවුරුදු සමයේ ජනප්‍රියම විලාසිතාවක් මෙහෙන්දි ගැල්වීම හොඳ ආදායම් මාර්ගයක් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මහත් වූ අභිමානයකින් යුතුව කෙනකු රැකියාවක නියැළෙන්නේ නම් එය නිසැකවම ස්වයං රැකියාවකි. ස්වයං රැකියාවකට මඟ පාදා ගන්නට නිරතුරුවම අත්වැලක්වන අප කාන්තාවක් ස්වයං රැකියාවක නිරත වීමේ ඇති මහඟු බව හොඳින්ම හඳුනයි.

 

මෙවර අප ඔබට මං පාදන්නේ සුවිශේෂ වූ ස්වයං රැකියාවකට දොරගුළු විවරකර දෙන්නටයි. මෙහෙන්දි මෝස්තර රටා මැනවින් හදාරා නිවෙසේ සිටම ඉතා ඉහළ ආදායම් මාර්ගයක් එක්කර ගැනීමේ වාසිය ඔබට අත්වේ. මුස්ලිම් කාන්තා අධ්‍යාපන කවය හා අත්වැල් බැඳ ගන්නේ නම් ඔබට මෙහෙන්දි රටා හැදෑරීමේ පාඨමාලාවක් හා සම්බන්ධ විය හැකි වේ. මාස දෙකක කාලයක් සතියකට දිනක්, පැය දෙකක කාලයක් ඒ සඳහා මිඩංගු කරන්නේ නම් මාසිකව ඔබ ලබන ආදායම ඔබේ ජීවිතයට නවමු මංපෙත් විවර කරවයි.

කලා කුසලතාවෙන් හෙබි මෙහෙන්දි රටා ඇඳීම වෙත යොමුවන ඔබ කලා කුසලතාවෙන් හෙබි මෝස්තර රටා ඇඳීමේ හැකියාවෙන් යුතු අයකු වේ නම් ඉතාම ඉක්මනින් මෙය ග්‍රහණය කරගනු ඇත. පොතක්, පැන්සලක්, මකනයක්, මෙහෙන්දි කෝන් එකක් රැගෙන එන ඔබට විවිධ මෝස්තර රටා අඳින්නට අවස්ථාව හිමිවේ. ජාති භේදයකින්, වයස් භේදයකින් තොරව සෑම සියලුදෙනාටම මෙය විවෘතවීම අගනා වාසියකි. සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක් ලෙසට දිවෙන මෙය අවසානයේ පැවැත්වෙන පරික්ෂණයේ දී මූලික සිද්ධාන්තවල පටන් හැදෑරූ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලේ.මෙහිදී අත්ල, අත්ලේ පටන් වැලමිට දක්වා කොටස, පයේ ඇඳෙන මෝස්තර රටා සියල්ල ආවරණය වේ. වැඩිම අවධානය යොමු වන්නේ මනාලියන් සඳහා වූ මෙහෙන්දි රටා වෙතට ය.

මනාලියන් සඳහා

මෙහෙන්දි මෝස්තර රටා ඇඳීම ස්වයං රැකියාවක් බවට පත්කර ගන්නා ඔබ මනාලියන් සඳහා මෙහෙන්දි රටා අඳින්නේ නම් වඩාත් සරු ආදායමක් මාසයකට උපයයි. මනාලියකට මෙහෙන්දි රටාවක් ඇඳීම සඳහා වර්තමානයේ රුපියල් පන්දහසක පමණ මිලක් නියම වේ. පැයක් දෙකක් අතුළත මෙවැනි මුදලක් උපයාගත හැකි අතර මනාලියක් සඳහා මෙහෙන්දි රටා ඇඳීමේදී අත්, පා යන සියල්ලේම සංකීර්ණ මෝස්තර රටාවන් ඇඳේ. විශේෂයෙන්ම මුස්ලිම් මනාලියන් අන්දවන අයටත් සෙසු සියලුදෙනාටත් මෙහෙන්දි රටා ඇඳීම පිළිබඳ දැනුමක් ලබා තිබීමෙන් මනාලිය අන්දවන ශිල්පිනියටම මෙහෙන්දි මෝස්තර රටාව ද ඇඳිය හැකි වේ. මෙහිදී විවාහ මංගල්‍යයන් සඳහා සහභාගිවන අය මෙහෙන්දි රටා අඳින අතර ඔවුනට ද සාමාන්‍ය මෝස්තර රටාවන් ඇඳීමෙන් එක් විවාහ මංගල්‍යයකින් හොඳ මුදලක් උපයා ගැනීමේ අවස්ථාව හිමි වේ.

නිවෙසේදීම මෙහෙන්දි සෑදීම

මෙහෙන්දි මෝස්තර ඇඳීම සඳහා නිවෙසේදීම මෙහෙන්දි සාදා ගැනීම පිළිබඳ අවබෝධයක් මෙම පාඨමාලාව ඔස්සේ ලබා දේ. ඒ අනුව මෙහෙන්දි පවුඩර් එකක් වෙළෙඳපොළෙන් ලබාගත යුතුවේ. අවශ්‍යය නම් මෙහෙන්දි පවුඩර් එක ද නිවෙසේදීම සාදාගත හැකිවේ. රත් වූ වතුර එකකට මෙහෙන්දි පවුඩර්, දුඹුරු කෝපි කුඩු, කරාබු නැටි 5 ක් පමණ, පෙරාගත් දෙහි යුෂ, ර්‍ථ3 තෙල් බිංදු දෙක තුනක් (මෙය තේ කොළ වලින් සාදා ගැනේ. වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි වේ.) දමා ගනී. ඇතැමුන් මෙහෙන්දි පිළියෙල කරගනිද්දී දෙහි වෙනුවට යුකැලිප්ටස් බිංදු දෙක තුනක් දමා ගනියි. මේ සියල්ල පල්ප් එකක් ආකාරයට නැතහොත් දත් බෙහෙත් මෙන් සකසා කෝන් එකකට දමා ගනියි. තෙල් පාවිච්චි කරනුයේ සාදාගත් මෙහෙන්දි ඝන නොවී කෝන් එක ඔස්සේ පහසුවෙන් ගලා ඒමටයි.

උත්සව සමයේදී

වෙළෙඳ සැණකෙළි ආදියේදී මෙහෙන්දි රටා ඇඳීම වෙනුවෙන්ම වූ වෙළෙඳකුටි දැකගත හැකිවේ. එහිදී අත්ල සඳහා කරන සාමාන්‍ය මෙහෙන්දි රටාවක් වෙනුවෙන් රුපියල් 200 ක පමණ මුදලක් අයකරගත හැකිවේ.

රාමසාන් - හජ්ජි වැනි උත්සව සමයේ දී මෙහෙන්දි රටා ඇඳීම සඳහා හොඳ ඉල්ලුමක් පවතී.මීට අමතරව ඉටිපන්දම් සඳහා ඉතාම අලංකාරවත් අන්දමින් මෙහෙන්දි රටා ඇඳ හැඩකරගත හැකි වේ. දීසි සඳහා, බිත්ති සඳහා ආදි වශයෙන් විසිතුරු ලෙස තැබීමට මෙහෙන්දි රටා ඇඳිය හැකියි.

මෙරට මෙන්ම විදෙස් රටවල ද මෙහෙන්දි රටා හොඳ වෙළෙඳපොළක් පවතී. ඔබ යම්හෙයකින් විදෙස්ගත වන්නේ නම්, මෙහෙන්දි රටා ඇඳීමට රුචිකත්වයක් දක්වන අය සිටී නම් ඔබට එහිදීද හොඳ ඉල්ලුමක් පවතීවි.

විචිත්‍රවත් ඉන්දියානු මෝස්තර

අප රටේ ඇත්තේ ඉන්දියානු මෝස්තර රටාවන්ගෙන් අඳින මෙහෙන්දි රටායි. මේවා ඉතාම චමත්කාරජනක ඒවායි. මීට අමතරව අරාබි, පකිස්තානු, ඊජිප්තු, ගුජරාටි ආදී ලෙස මෙහෙන්දි රටා තිබේ. මේ සියල්ල අතුරින් වඩාත් ලස්සන ඉන්දියානු මෙහෙන්දි රටාය.

මෙහෙන්දි යනු හෙනා ගසින් නැතහොත් මරතොණ්ඩි ගසින් ලබාගන්නා කොළ කුඩුබවට පත්කර සාදා ගැනීමකි. අත් සහ පා මෝස්තර රටාවන් ලෙස ඇඳෙන මෙහෙන්දි රටා කාන්තාවන්ට පමණක් සීමා නොවේ. පිරිමින් අතර ද මෙය ජනප්‍රිය අංගයකි. සිනමා කර්මාන්තයේ මෙහෙන්දි ඉතාම ආකර්ෂණීය වූවක් නිසා ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම භාවිත කරයි. ලංකාවේ මෙන්ම බංගලාදේශය, පකිස්තානය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින යන රටවල ද මෙහෙන්දි රටා භාවිතය දැකිය හැකි වේ.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිතර කියැවෙන නේල් ආර්ට්, හෙයා කලර් මේ ආදී දේ අතරට මෙහෙන්දි රටා ද පැමිණ තිබේ. දෑත්, දෙපා පමණක් නොව පිට ප්‍රදේශය, උරහිස, සාරියෙන් නිරාවරණය වන උදරයේ කොටස්වල ද මෙහෙන්දි රටා අඳියි.එදා අරාබිය, පකිස්තානය, උතුරු ඉන්දියාව වැනි රටවල රැකියාවන් නොකළ කාන්තාවන් විවේක කාලයේ දී එක්වී එකිනෙකාට මෙහෙන්දි ආලේප කරගෙන ඇත. එහි වර්ධනය අද විචිත්‍ර මෝස්තර දක්වා පැමිණ වෙළෙඳපොළක් ද බිහිවී තිබේ.

මෙහෙන්දි ගැල්වීමේ දිනය

සාමාන්‍යයෙන් මෙහෙන්දි ගැල්වීම සිදුවන්නේ විවාහ උත්සව, විවාහ ගිවිස ගැනීම්, දැරියන් මල්වර වීමේ උත්සව, සංස්කෘතික උත්සව ආදිය සඳහායි. ඉන්දියානු, අරාබි හා පකිස්තාන් කාන්තාවන්ගේ විවාහ දිනයට පෙර දිනය මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස උත්සවශ්‍රීයෙන් සමරයි.ජාති භේදයකින් තොරව හැමකෙනාම මේවන විට මෙහෙන්දි ගැල්වීම සදහා දරන කැමැත්ත මෙය ජනප්‍රිය වීමට හේතු වී තිබේ. මෙහිදී දෑතට අලංකාරයක් ලැබෙනවා සේම සිසිල් බවක් ශරීර උෂ්ණත්වය අවම කිරීමක් යන විශේෂ වාසි ද සැලසේ.කෝන් සහ ටියුබ් වශයෙන් මෙහෙන්දි දක්නට ලැබේ. මෙහිදී කෝන් එකෙන් විචිත්‍රවත් ලෙස මෙහෙන්දි රටා ඇඳිය හැකි වේ. සාමාන්‍යයෙන් මෙහෙන්දි අසාත්මික නොවුණත් සමේ පරීක්ෂාවක් කොට ආලේප කිරීම වැදගත් වේවි. ටියුබ් ලෙස දකින මෙහෙන්දිවල රසායනික ද්‍රව්‍ය වැඩිපුර අඩංගු නිසා ඒවා සැර සුවඳින් යුතුය.

ඔබ මෝස්තර රටා ඇඳීමේ නිසඟ කුසලතාවෙන් යුතු වූවෙක් නම් මෙහෙන්දි ගැල්වීම ස්වයං රැකියාවක් කරගන්නට පමා වන්නට එපා. ඔබට බෙහෙවින්ම පැහැබර අනාගතයක් උදාවේවි.

 

විශේෂ ස්තූතිය - මුස්ලිම් කාන්තා අධ්‍යාපන කවයේ සහකාර ලේකම් ශිරින් තාජ් මහත්මිය හා මෙහෙන්දි පාඨමාලාව මෙහෙයවන

රීම් අසාම් මහත්මියට

998 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 03, අඟහරුවාදා 12:25
මේ යටතේ එන අනෙකුත් ලිපි: « අඩු මිලට . . . කාන්තා දින . . . »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න