තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 27, බදාදා 15:52

නෙතු පිනනා හැඩ පිරි සුබ පැතුම්පත් ආදරයට ගෙන ඒව් පියාපත්

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)
වසන්තය උදාවෙලා. මේ රෝස පොකුර ඔබට මුමුණන්නේ ඒ රහස නොවේද? මෙවන් රෝස පොකුරක් ඔබේ දෙහදෙහිත් විකසිත කළ හැකියි. ඒ සඳහා,

අවශ්‍ය ද්‍රව්‍ය -

තද දුඹුරු කාඩ්පතක්
රතු, ළා කහ, ළා දුඹුරු, ඒෆෝ කඩදාසි
මෙරූන් වර්ණයෙන් ඒෆෝ කොළයක්
ගෝල්ඩ් වර්ණය යෙදූ වියළි තෘණ ඉති
කොළ පැහැති ඩී.එම්.සී. නූල්

මෙලෙසින් නිර්මාණය කරගනිමු.

පළමුව ළා දුඹුරු පැහැ ඒෆෝ කඩදාසිය අඟල් 2 ½ ය 6 ප්‍රමාණයට ඍජු කෝණාස්‍රයක් හැඩතල සහිත කතුරකින් කපාගන්න. ඉන්පසු හදවතේ හැඩයන් සැකසීම සඳහා රතු කඩදාසියේ දාරය හැඩතල සහිත කතුරකින් කපා එය කහ කඩදාසිය මත අලවා එම හැඩතල නිර්මාණය කරගන්න. එහිදී වර්ණ දෙක වෙන්වෙන දාරය හරහා සමමිතික වන ලෙස හදවත් හැඩතලය කපාගත යුතුය.

මල් සෑදීම.

විශ්කම්භය සෙ.මි. 2 ක්වූ මෙරූන් පැහැයෙන් වෘත්තයක් කපා එහි පිටත දාරයෙන් ආරම්භ කර මධ්‍යයට යන ලෙස සර්පිලාකාරව ‘ඒ’ රූපයේ ආකාරයට කපා ගන්න. ඉන්පසු එය ‘බී’ හි දැක්වෙන ආකාරයට පිටත සිට මධ්‍යයට රෝල් කර ගන්න. එවිට අවසානයේ මලක් සාදාගත හැක. එවැනි මල් හතරක් මේ සඳහා අවශ්‍ය වේ.

දැන් අප මෙය කාඩ්පතෙහි අලවා ගනිමු.

එහිදී පළමුව හැඩතල සහිතව කපාගත් ඍජුකෝණාශ්‍රය කාඩ්පතෙහි මැද අලවා ගන්න. ඉන්පසු ඉහත නිර්මාණය කරගත් හැඩතල කාඩ් පතෙහි ඉහළ වම් කෙළවරට සහ පහළ දකුණු කෙළවරට වන්නට අලවා ගන්න. දැන් එම හැඩතල අතරින් ඡායාරූපයේ පරිදි මල් 4 අලවා ගෙන එය අසලින් වියළි තෘණ ඉති හා කොළ පැහැ ඩී.එම්.සී. නූලෙන් සාදාගත් දිගටි මුදු එහි අලවා ගන්න.

හරිත යායක ඇඳි පෙම් රේඛාවෝ

නූල් කොළ පැහැ පසුබිමේ රටාවකට ඇඳී ඇත්තේ සුබ පැතුම් පතට කලාත්මක බවක් එක් කරමිනි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

කොළ පැහැයෙන් කාඩ් පතක්
කොළ සහ ක්‍රීම් පැහැති වූල්
ක්‍රීම් පැහැති ඒෆෝ කොළයක්
මල්ටි කලර් නූලෙන් නීඩ්ල් තැටින් ක්‍රමයට ගෙතූ® මල් 3 ක් හෝ වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි මල් 3 ක්
වර්ණ දෙකකින් සීකුවින්ස්
ගෝල්ඩ් පැහැති පෑනක්

මෙසේ නිර්මාණයකරගනිමු.

මෙහිදී පළමුව ක්‍රීම් පැහැ ඒෆෝ කොළය මඟින් හදවතේ හැඩය කපාගන්න.

ඉන්පසු එය කාඩ් පතෙහි මැදින් අලවා ගෝල්ඩ් පෑනෙන් දඟර හැඩය ඇඳගන්න. දැන් ගෝල්ඩ් පැහැ කෝඩ් පටිය මඟින් බෝ එකක් නිර්මාණය කර එය හදවත් හැඩයේ ඉහළින් අලවා ගන්න. ඉන්පසු මල්ටි කලර් නූලෙන් නීීඩ්ල් ක්‍රමයට ගෙතූ® මල් 3 ගෙන ඡායාරූපයේ පරිදි අලවාගන්න. එම මල් අතරින් කොළ පැහැ වූල් මඟින් මුදු තුනක් අලවන්න. ඉන්පසු ක්‍රීම් පැහැති වූල් මඟින් දඟර ආකාරයට කාඩ්පත සරසා ගන්න. අවසානයේ සීකුවින්ස් අලවා නිර්මාණය තවත් අලංකාර කර ගත හැකිය.

දෙහදක මල් පිපිලා

දෙහදක් ! මල් දෙකක් ! රන් හූයකින් සැරසුණු විට කෙතරම් මනහරද ?

අවශ්‍ය ද්‍රව්‍ය :

දම්, තැඹිලි කොළ සහ රතු වර්ණයෙන් ෆෙල්ට් රෙදි
ගෝල්ඩ් කොළ කෝඩ් එකක්
මල්ටිකලර් ඩී.එම්.සී. නූල්
කළු සහ තැඹිලි ඒෆෝ කොළ
රෝස පැහැ කාඩ් එකක්
ගෝල්ඩ් පබළු
සිල්වර් සීකුවින්ස් මලක්
රතු පැහැ කුඩා සීකුවින්ස්
ෆැබ්රික් ග්ලූ

මෙසේ නිර්මාණය කරගනිමු.

පළමුව ෆෙල්ට් රෙදි මඟින් මල්, කොළ සහ හදවත් හැඩයන් කපා ගන්න.

ඉන්පසු කළු සහ තැඹිලි ඒෆෝ කොළ මඟින් කුඩා තීරු කපාගත යුතුය. දැන් කාඩ්පත ගෙන පළමුව ඡායාරූපයේ දැක්වෙන පරිදි තැඹිලි පැහැ ඒෆෝ තීරු දෙක කතිර හැඩයට අලවා ගන්න. ඉන්පසු එයට මඳක් පහළින් කළු ඒෆෝ තීරු ඡායාරූපයේ පරිදි අලවා ගත යුතුය. දැන් මල්ටි කලර් නූල් කොටස ගෙන දඟර ආකාරයට කාඩ් එකෙහි අලවා ගන්න.

ඉන්පසු ඔබ කපාගත් ෆෙල්ට් මල් සහ හදවත් හැඩයන් ඡායාරූපයෙන් දැක්වෙන පරිදි අලවා ගත යුතුය. දැන් මල්වල මැදට ගෝල්ඩ් පබළු මඟින් මලක හැඩයට අලවාගන්න. මෙහි දැක්වෙන පරිදි ඉහතින් පෙනෙන හදවත් හැඩයෙහි මැද ගෝල්ඩ් කෝඩ් එක මඟින් බෝ එකක් සාදා අලවාගත යුතුය. කුඩා හදවත් හැඩය මැද සිල්වර් සීකුවින්ස් මල අලවා ඇත. ඉන්පසු මෙම මල් දෙක සම්බන්ධ කිරීම සඳහා කොළ පැහැ කෝඩ් පටියක් අලවා ඇත. එම පටියේ දෙපසට කොළ පැහැ ෆෙල්ට් රෙදි කොටසින් කොළ කපා අලවා අලංකාර කරගෙන ඇත. මෙහි අලංකාරය තවත් වැඩිකිරීම සඳහා කාඩ්පත වටා රතු පැහැ කුඩා සීකුවින්ස් අලවා ගෙන ඇත.

කැකුළු රෝසමල් ගොතයි සිනහා මල්

රෝසමල් ආදරයේ සංකේතයයි. මේ සංකේතයෙන් විචිත්‍රවත් සුබ පැතුමක් හැඩවුණු විට හරිම අපූරුයි නේද?

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

ක්‍රීම් පැහැති කාඩ්පතක්
තද දම්, කොළ, ළා දම්, එතු
සහ ගෝල්ඩ් කෝඩ් පටි
රෝස වර්ණයෙන් ඒෆෝ
කඩදාසියක්
ගෝල්ඩ් පෑනක්
ෆැබ්රික් ග්ලූ

මෙසේ නිර්මාණයකර ගනිමු.

මෙහිදී පළමුව රෝස පැහැති ඒෆෝ කඩදාසියෙන් හදවත් හැඩය කපාගන්න. දැන් එය කාඩ් පතෙහි මැද අලවාගත යුතුය.

ඉන්පසු රෝසමල් සහිත හැඩතලය කාඩ්පතෙහි පිටපත් කරගන්න. මෙය පිටපත් කර ගැනීමට පෙර ගෝල්ඩ් පෑනෙන් හදවත් හැඩතලය මත දඟර හැඩය ඇඳගත යුතුය.

දැන් පිටපත් කරගත් රෝසමල් නටුව සහ කොළය වටා ඒ ඒ වර්ණයේ කෝඩ් අලවාගන්න. මෙහි මනි පත්‍රය ද එසේ අලවා ගත යුතුය. ඉන්පසු තද දම් ලා දම් සහ ගෝල් කොඩ් යොදා ගනිමින් අලංකාරය මතුවෙන පරිදි අලවා ගන්න.මෙම හැඩතලයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකිය.

හදවත රත්තරන් නම් ආදරය ඉස්තරම්

ආදරය කිරීමට නම් රත්තරන් හදවතක් තිබිය යුතුයි. මේ ඇරැයුම් පත දුටු විට ඔබ හරියටම ඔහුගේ හදවත තේරුම් ගෙන ඇති බව වටහා ගනීවි.

අවශ්‍ය ද්‍රව්‍ය -

කොළ පැහැති කාඩ්පතක්
ගෝල්ඩ් වර්ණයෙන් කොළයක්
මෙරූන්, රතු, කහ, කොළ
ඒෆෝ කොළ
කොළ පැහැති කෝඩ් නූලක්
කොළ පැහැති ඒෆෝ
කොළයකින් පන්ච් කරගත්
කුඩා වෘත්ත කීපයක්
ගෝල්ඩ් කෝඩ් එකක්

මෙසේ නිර්මාණය කර ගනිමු.

පළමුව ඒෆෝ කොළ මඟින් අඟල් 1/8 ප්‍රමාණයට පටි කපා ගන්න. ඉන්පසු ටූත්පික් එකක් මඟින් අවශ්‍ය හැඩතල නිර්මාණය කරගන්න. මෙම හැඩතල නිර්මාණය කර ගන්නා ආකාරය තරුණී හී පළවූ පේපර් කුයිලින් පාඩමෙන් ඔබට ලබා දී ඇත. දැන් හදවතේ හැඩය කාඩ් පතෙහි මැද පිටපත් කරගන්න. ඉන්පසු එහි හරි මැදින් නැමෙන ලෙස කාඩ්පතෙහි දකුණු කොටස වටේට කපා දෙකට නවන්න.

එම නැමූ කොටස වම්පස කොටසින් උස්ව පෙනෙන පරිදි එහි යටින් රිජුෆෝම් කොටසක් අලවා ගන්න. දැන් හදවත් හැඩයේ කැපූ කොටස සඳහා කාඩ් පතෙහි පිටුපසින් ගෝල්ඩ් කොළය අලවන්න. දැන් ඔබට වර්ණ දෙකකින් සමන්විත හාට් හැඩය දිස්වී පෙනේ. ඉන්පසු ගෝල්ඩ් පෑනෙන් උස්ව පෙනෙන කොටස් දඟර හැඩය ඇඳගන්න.

ඉන්පසු එහි ඉහළ කෙළවර ගෝල්ඩ් නූලෙන් බෝ එකක් නිර්මාණය කර අලවා ගන්න. දැන් ඔබ විසින් සකස් කරගත් පේපර් කුයිලින් රටාවකට මෙහි ඉහළ කෙළවරෙහි අලවා ගන්න. ඉන්පසු කොළ පැහැති කෝඩ් යොදාගෙන රටාවක් මැවෙන ආකාරයට නූල් අලවා ගන්න. මෙය තවදුරටත් අලංකාර කර ගැනීමට පන්ච් කළ කුඩා කොළ පැහැති වෘත්ත අලවා ගන්න.

සෙනෙහෙ සිතින් මල් පොකුරක්

ආදරයෙන් බැඳුණු යුවළකගේ හදවත් මල් මෙන් මොළකැටියි. සුසිනිඳුයි. මෙවන් කාඩ් පතක් ආදරය සමරන්න වඩාත් වටින්නේ ඒ නිසයි.

අවශ්‍ය ද්‍රව්‍ය -

ළා කොළ පැහැති කාඩ්පතක්
කහ, මෙරූන් සහ කොළ ඒෆෝ කොළ
අඟල් 1/8 පළල රෝස පැහැ රිබන්
කොළ වර්ණයෙන් කෝඩ්
ගෝල්ඩ් පැහැති තරු සීකුවින්ස්
රතු මල් සීකුවින්ස්
පැබ්රික් ග්ලූ

මෙසේ නිර්මාණය කරගනිමු.

පළමුව පේපර් කුයිලින් මල් නිර්මාණය කරගත යුතුය. ඒ සඳහා අඟල් 1/8 පටි කපා ගත යුතු අතර එම පටි ටූත්පික් එකක් වටා හැඩයට ඔතමින් මෙම මල් නිර්මාණයකර ඇත. මල් සාදා ගන්නා ආකාරය තරුණි හි පළවූ පේපර් කුයිලින් පාඩමෙන් පැහැදිලි කර දී තිබේ. එසේ සාදාගත් ටයිට් රෝල් 3 ක් සහ රෝස පැහැ ලූස් රෝල් 5 ක් මේ සඳහා යොදාගෙන තිබේ. මෙහි මල් පෙති සහ කොළ නිර්මාණය කර ඇත්තේ ලූස් රෝල් සාදා ඇඟිලි තුඩු මඟින් එක් පැත්තක් තද කිරීමෙනි. මෙවැනි පෙති කිහිපයක් මෙම නිර්මාණය සඳහා අවශ්‍ය වේ. දැන් අප කාඩ්පත නිර්මාණය කර ගනිමු.

මෙහිදී පළමුව අඟල් 5 ක් පළලට රිබන් කොටස් 3 ක් කපා ගන්න. දැන් එම කොටස් කාඩ්පතෙහි පහළ කෙළවරින් පරතරයක් තබා අලවා ගන්න.

ඉන්පසු රෝස පැහැති ඒෆෝ කඩදාසියෙන් කපාගත් හදවතේ හැඩය කාඩ් පතෙහි මැදින් අලවා ගත යුතුය. දැන් ඔබ විසින් පේපර් කුයිලින් ක්‍රමයට සකසාගත් ටයිට් රෝල්, ලූස් රෝල් සහ මල් පෙති, කොළ ඡායාරූපයේ පෙනෙන පරිදි අලවා හැඩකර ගන්න.

ඉන්පසු කොළ පැහැ කෝඩ් කොටස ගෙන රටාවක් ආකාරයට අලවා ගන්න. අවසානයේ මෙම නිර්මාණය තවත් අලංකාර කර ගැනීමට මෙහි හදවත් හැඩය වටා ගෝල්ඩ් සීකුවින්ස් අලවා ඇති අතර එහි මැද රතු පැහැ සීකුවින්ස් මල් දෙකක් අලවා ඇත.

රෑ අහසේ දිදුලනා තරු වාගෙයි ආදරේ !

නිසල රාත්‍රිය ආදරය ගැන සොඳුරු සිතුම් පහළ වන හෝරාවයි. සුබ පැතුම් පත දකින්නකුට රාත්‍රියක ප්‍රේමනීයත්වය සිහි නොවුණොත් නම් විමතියකි.

අවශ්‍ය ද්‍රව්‍ය -

රෝස සහ රතු ඒෆෝ පතක්
ගෝල්ඩ් කෝඩ් එකක්
අඟල් 1/2 රෝස වර්ණයෙන් රිබන්
රතු සීකුවින්ස් මල්
රෝසපාට පෑනක්

නිර්මාණය කරගැනීම.

පළමුව රතු සහ රෝස වර්ණයේ ඒෆෝ කඩදාසි ගෙන රූපසටහනේ දැක්වෙන පරිදි ප්‍රමාණ දෙකකින් හැඩතල දෙකක් කපාගන්න. ඉන්පසු රිබන් මඟින් අඟල් 5 ක් පළල කොටස් තුනක් කපාගන්න. දැන් කාඩ්පතෙහි අලවා ගනිමු. එහිදී පළමුව මෙම කාඩ් පතෙහි මැද කොටසින් රිබන් කොටසක් අලවා ගන්න. ඉන්පසු දෙපසට සමාන පරතරයක් තබා අනෙක් රිබන් කොටස් දෙක ද අලවා ගන්න. පසුව ඡායාරූපයේ දැක්වෙන පරිදි හැඩතල දෙක අලවාගත යුතුය. ඉන්පසු ගෝල්ඩ් කෝඩ් පටිය ගෙන බෝ හැඩයට සකස් කර රෝස පැහැ හදවත් හැඩතලය මැදින් අලවා ගන්න. මෙම බෝඑක ඇලවීමට පෙර රෝස පැහැයෙන් එහි දඟර හැඩය ඇඳගත යුතුය. ඉන්පසු කුඩා හදවත් හැඩතලය මත ගෝල්ඩ් පැහැ සීකුවින්ස් මල අලවා ගන්න. මෙහි අලංකාරය වැඩි කිරීමට කුඩා සීකුවින්ස් මල් තැනින් තැන අලවා ගත හැකිය.

ආදරයේ බල මහිමයට දෙහදක් එකම හදක් කළ හැකියි. මේ කාඩ්පතින් ඒ අදහස කියවෙන අපූරුව බලන්න.

මෙවැනි නිර්මාණයක් ඔබේ මංගල ඇරැයුම් පතට, කේක් පෙට්ටියට යොදා ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය -

රතු වර්ණයෙන් කාඩ්පතක්
රෝස සහ ළා කහ පැහැති ඒෆෝ කඩදාසි
සිහින් ගෝල්ඩ් කෝඩ් එකක්
රතු වර්ණයේ සීකුවින්ස් මලක්
රතු සහ ගෝල්ඩ් පෑන්

මෙලෙසින් නිර්මාණය කරගනිමු.

පළමුව රෝස පැහැති ඒෆෝ කඩදාසිය ගෙන අඟල් 4 ය 5 ½ ප්‍රමාණයට ඍජුකෝණාස්‍රයක් ඡායාරූපයේ දැක්වෙන පරිදි හැඩතල සහිත කතුරකින් කපා ගන්න. ඉන්පසු මෙහි මැද ලොකු හදවත ගෙන මඳක් ආනතව තබා එම හැඩය කපා ඉවත් කරගන්න. දැන් සිදුර සහිත කොටුව කාඩ්පත මත අලවා ගන්න. ඉන්පසු ළා කහ පැහැ කඩදාසිය කපා එය හදවතේ හැඩය සහිත සිදුරේ මැද අලවාගන්න. දැන් ආනතව කපාගත් හැඩයේ දාරය වටා සිහින් ගෝල්ඩ් කෝඩ්එක අලවා ගන්න. ඉන්පසු රෝස පැහැ කොළය වටා ගෝල්ඩ් පැහැයෙන් සහ ළා කහ පැහැ කොළය මත රතු පැහැයෙන් පෑන් මඟින් සිහින් දඟර රටාවක් ඇඳ ගන්න.

ඉන්පසු ඡායාරූපයේ දැක්වෙන පරිදි රතු සීකුවින්ස් මලක් ගෙන එම හැඩතලය මැදින් අලවා ගන්න. අවසානයේ ඔබට ඉතා අලංකාර නිර්මාණයක් ලැබී ඇත.

* සුවිශේෂී අතිරේක දායකත්වය උපදෙස් ප්‍රවීණ අත්කම් ශිල්පිනී ඉෂාරා හසීම් (ඇන්කර් ස්කූල් හොබී ක්රාෆ්ට් වත්තල)

සංස්කරණය -  චම්පිකා දීපානි

සටහන් - අචිනි ලක්මාලි

7544 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 11:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න