තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඡායාරූපකරණය සිරස්තල

2013 සැප්තැම්බර් 09, සඳුදා 11:31

බලාගෙන මනමාලියගේ සාරිය කඩා වැටෙයි විශේෂාංග

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(4 මනාප)
ඇතමුන් අභියසදී සාංසාරික දායාද ගැන ඇදහිය යුතුව ඇත. ඔහුගේ කැමරා ඇසින් දකින්නට පමණක් නොව කියවන්නටත් හැකි ඡායාරූප මැවෙන්නේ ඒ නිසාමය. ඔහුගේ ගායන හඬ අසන්නට පමණක් නොව විඳින්නටත් හැකි ස්වර මත පිහිටන්නේ ඒ නිසාමය. දයාන් විතාරණ අපූර්ව කලාකරුවකු ලෙස ජනකාන්ත වූයේ පෙර පිනෙන් උරුම වූ සහජ හැකියාවේ බල මහිමයෙනි. සිත්තරෙක් ලෙස කලාවට පිවිසි ඔහු අද සිත්තම් මවන ඡායාරූප ශිල්පියකු ලෙස ගිය දුර බොහෝය.

 

සැබැවින්ම දයාන් විතාරණයන් පුරා විසිඅට වසක් තිස්සේ කැමරාවත් සමඟ සහභාගි වූ මංගල උළෙල ගණන දහස ඉක්මවාලයි. එහිදී තම කැමරා ඇසට නොව පියවි ඇසට හසු වූ අවුල් වියවුල්, අඩු ලුහුඬුකම් ගැන කෙරෙන දයාන්ගේ සුවිශේෂ හෙළිදරව්වකි මේ. ඒ සොඳුරුතම මංගල දිනයක් ගැන හීන පුරණ ඔබට ගුරුහරුකමක් වනු පිණිසයි.

විවාහ මංගල උත්සවයක් කියන්නේ අලුත් පරම්පරාවක ආරම්භයක් වෙනුවෙන් දෙදෙනකු එක්වීමක්. මේ සතුට ඥාතීන් හිත මිතුරන් සමඟ බෙදා හදාගත හැකි බව ඇත්තයි. ඒත් මංගල උත්සවය වෙන කවුරුන්ටත් වඩා වැදගත් වන්නේ යුවතිපතීන්ටයි. සැබැවින්ම මංගල උත්සවය ඔවුන්ට පෞද්ගලික වූ කාරණාවක්. ඒ නිසාම මංගල උත්සවය ගැන කරන හැම සැලසුමක්ම නව යුවළේ සුබසෙතට හේතු විය යුතුයි.

මෙය හතර වරිගයක් – හිතමිතුරනුත් රැස්කර සිදුකරන වත් පොහොසත් කමේ ප්‍රදර්ශනයක් නොවන බව සිහි තබාගන්න. විවාහ මංගල්‍යය වෙනුවෙන් මෙච්චර ගණනක් වියදම් වුණා කියන පුරාජේරුවට ලක්ෂ ගණන් වැයකර අශ්ප ගණන් ණයවීම නම් මහා අපරාධයක්.

ඇත්තටම හෙළ සංස්කෘතියට අනුව සිදු කරන මංගල්‍යයකට දැරිය යුත්තේ අඩු වියදමක්. ලස්සන පෝරුවක නැගලා - කිරිබත් මේසයක් ඉඳුල් කරලා - සොඳුරුතම ඡායාරූප පෙළක් ඉතිරි කරගෙන - ළඟම ඥාතීන්ගේ ආසිරි මැද්දේ ඉපදී උස් මහත් වූ නිවෙසෙන්ම මංගල ගමන යන එක ඒ තරම් අසීරු කාරණාවක් නොවෙයි. මෙහිදී කොහොම හරි ඉතිරි කරගෙන රත්තරං බඩු ටිකත් හදා ගත්තෝතින් එය අනාගත ආයෝජනයක් වෙනවා.

ඇත්තටම නානා විධ තේමා ඔස්සේ විවාහ මංගල්‍යය සංදර්ශනයක් බවට පත් කරන්න ජීවිත කාලය පුරාවටම එක් රැස් කළ මුදල් අපතේ හැරීම මහත් අපරාධයක්. විවාහ උත්සවයකදී ආදරය – විශ්වාසය – පරිත්‍යාගශීලී බව - අවංකකම – අවබෝධය වැනි තේමා මනාලියත් මනාලයාත් හිතින් දරා ගැනීමයි අවශ්‍ය වන්නේ. 2012.12.12 වැනිදා ජනපි‍්‍රය නළු කංචන කොඩිතුවක්කු යුග දිවියට පත්වුණේ එවැනි අර්ථාන්විත මංගල උත්සවයකිනුයි. ඒ අපූරු මංගල උත්සවයේ මත්පැන් තිබුණේ නැහැ. මහ පිරිවරක් සිටියේ නැහැ. මල් කුමර කුමරියන් පිරිවරා හිටියේත් නෑ. මේ සකසුරුවමෙන් ඔවුන් ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම පාද පරිත්‍යාග කළා.

මංගල උත්සවයට කොතරම් පිරිසක් ඇරැයුම් ලැබුවත් මනාල යුවළ කැපී පෙනිය යුතුයි. ඒ වෙනුවෙන් මනාලියටත් – මනාලයාටත් අගනා ඇඳුම් පැළඳුම් කට්ටලයක් අපේ සංස්කෘතියෙන්ම උරුම වෙලා තිබෙනවා. මනාලියට හත්පොට මාලය ඇතුළු ආභරණ සහ උඩරට ඔසරිය – මනාලයාට තුන්පොට්ටිය සහිත මුල් ඇඳුම ඒ අපේ සංස්කෘතික උරුමයයි. මේ තරුණයකුට – තරුණියකට රජ කෙනෙක් රුජණක් වන්න ලැබෙන වරයයි. මනාලියක් මංගල ඔසරියට එතරම් වියදමක් නොදැරුවත් මාල හත දැමූ පමණින් ඇය බබළනවා. මනාලිය තුන් තැල්ලෙන් සැරසෙන්නේත් ඉතා වටිනා අර්ථයක් ඇතිවයි. තුන් තැල්ල නිර්මාණය වී ඇත්තේ දෙපැත්තේ කන ළඟින් පටන් ගත් පොට දෙකක් නළල මැදින් පසුපසට එක පොටක් බවට පත්වන ලෙසයි. මෙයින් දෙමඟක ආ දෙදෙනෙක් මෙතැන් පටන් එක මඟ යාමක් ගැනයි දනවන්නේ. ඒත් අද මනාලියන්ට තුන් තැල්ලට අමතර පොටවල් එක් කරමින් සංකේතවත් කරන්නේ කුමක්දැයි හිතා බැලිය යුතුයි.

මනාලිය හිස දෙපැත්තේ ඉර හඳ පැලඳුවේත් අර්ථයක් ඇතිවයි. ඉර හඳ අම්මා තාත්තාට සමයි. ඇය මංගල ගමන යන්නේ මාපියන්ගේ ගෞරවය හිස තබාගෙනයි.

මනාලයකු වුණත් මුල් ඇඳුම තෝරා ගැනීමේදී රජුගේ වර්ණය වන කුණු ලේ පැහැය ගැන සැලකිලිමත් විය යුතුයි. අනෙක ඔහු සැරසිය යුත්තේ කෙසෙල් මුහයක හැඩය එන පරිදියි. ඒත් අද මනාලයා මුල් ඇඳුමට මේඩ්-අප් කළ සාය අඳින අවස්ථාත් නැතිවා නොවෙයි.

අපේ ඇත්තන් අද සාම්ප්‍රදායික මංගල ඇඳුම් වෙනස් කරමින් විකාර රූපී විලාසිතා මැවීම අතිශයින්ම අශෝභනයි. ඉණෙන් ඔන්න මෙන්න කඩා වැටෙන්නට පිට හැකිතාක් නිරාවරණය වෙන්නට ඇඳි මංගල ඇඳුමෙන් මනාලියගේ ගෞරවයට පමණක් නොවේ අපේ සංස්කෘතික උරුමයටත් වන්නේ බරපතළ හානියක්.

ඇත්තටම ඔබේ රැඩිකල් බව පෙන්වන්නට මෙවැනි විකෘති විලාසිතාවෙන් සැරසී පෝරුව මත නගින්න එපා. එයින් ප්‍රදර්ශනය වන්නේ ඔබේ අනවබෝධයයි.

මනාල යුවළ මල්කුමර කුමරියන් – යහළු යෙහෙළියන් විශාල ප්‍රමාණයක් පිරිවරා ගැනීමත් අද දවසේ විලාසිතාවක් වෙලා. මේ අනවශ්‍ය වියදමෙන් මනාල යුවළේ ප්‍රභාව අඩු වී යනවා. ඡායාරූපයකදී වූවත් ඔවුන් ඉතා කුඩාවටයි සටහන් වෙන්නේ.

මංගල උත්සවයකදී මනාලියගේ අම්මාත් විශේෂ භූමිකාවක් බව සැබෑයි. ඒත් ඇය කිසිසේත්ම විලාසිතා මවන්නියක් නොවිය යුතුයි. පිට – බඩ හැකිතාක් අනාවරණය වෙන්නට සාරියෙන් සැරසීම - යෞවනියක මෙන් කොණ්ඩා මෝස්තරවලින් හැඩවීම - මේක්-අප්වලින් විසිතුරු වීම ඇයට කිසිසේත්ම ඔබින්නේ නැහැ.

මෙවැනි අම්මලා දුවගේ මංගල උත්සවයේදී හින්දි සිනමා සිත්තමක ජවනිකා මවමින් නර්තනයටත් එක් වෙනවා. ඒත් මංගල ගමන් යන දුව වෙනුවෙන් ඇය සැරසී සිටිය යුත්තේ හැසිරිය යුත්තේ මවුගුණය රැකෙන අයුරින් බවත් සිහිතබා ගත යුතුයි.

මේ අතරතුරේ මංගල උත්සවයට සහභාගිවන අයට කටේ තරමයි බඩේ තරමයි අමතකයි. කෑම තෝරා බේරා අවශ්‍ය දෑ අවශ්‍ය පමණින් බෙදා ගන්න ඔවුන්ටත් ඉවසීමක් නැහැ. ඔවුන් මීටර් ගණනාවක් දිග කෑම මේසයේ එක කොනකින් පටන් අරගෙන අනෙක් කොන දක්වා හැම කෑමක්ම පිඟානට ගොඩගහ ගන්නවා. තවත් පසෙක අම්මලා - ආච්චි අම්මලා - දූ පුතුන් එකම මේසයක ඉඳගෙන මත්පැන් බොනවා. මේ දේවල් හැදියාවක් ඇති අයට තරම්වේදැයි මොහොතක් සිතන්න.

සියලු කාරණා අතරේ ලොකුම ඛේදවාචකය වසර ගණනාවක් තිස්සේ සැලසුම් කළ මංගල උත්සවයෙන් පසු නව යුවළගේ කසාදය දිනකට - සතියකට – මාසයකට සීමාවීමයි. මංගල උත්සවයේදී ඇතැඟිලි බැඳි දෙදෙනා දෙවැනි දවසේ දී ඡායාරූපයකට ළං කරන්නත් අපහසු වුණු අවස්ථා නැතුවා නොවෙයි. ලක්ෂ ගණන් වියදම් කර විවාහයට පත්වූවන් මුදල් ගෙවා තිබුණත් මංගල ඡායාරූප ඇල්බම් ප්‍රතික්ෂේප කළ අවස්ථාත් ඕනෑ තරම්. මනාලියගේ ඡායාරූප පමණක් වෙන්කර ඇල්බමයක් සාදවාගත් පියකුගේ ශෝකී මුහුණක් මට තවම මතකයි. විවාහ දිවිය ඉක්මනින්ම ඉහිරුණු ඔවුන්ගේ මංගල උළෙල පැවැත්වූයේ හිල්ටන් හෝටලයේදීය. සැබැවින්ම මේ අනුවේදනීය ප්‍රවණතාවට හේතුව අද තරුණ තරුණියන් විවාහ මංගල උළෙල මිසෙක විවාහ ජීවිතය සැලසුම් නො කිරීමයි. ලස්සන විවාහ මංගල්‍යයක් ගැන හීන දකිනවා මිසෙක සුදුස්සාම තෝරා ගැනීමට කල්පනාකාරී නොවීමයි.

විවාහ මංගල උත්සව අතරේම ජීවිතය ගෙවද්දී ඇසි දිසි මේ කාරණා මගේම විවාහයක් ගැන උනන්දු නොවන්නට මටත් යම් පමණකින් හෝ හේතු වෙන්න ඇති.

ඡායාරූප – දයාන් විතාරණ

13632 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 සැප්තැම්බර් 09, සඳුදා 11:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න