තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජූනි 29, සඳුදා 15:19

පෝරුව සශ්‍රීක භූමියක් වූ තරමට නව යුවළට ආශිර්වාදයක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
මංගල චාරිත්‍රවලින් නිසි ආශිර්වාදය ලබාගෙන්නේ කෙසේද?  - යුවතියක් වූ දිනයේ පටන් මනාලියක් ලෙසින් කුලගෙයට පියමනින ඒ සොඳුරු දිනය උදාවනතුරු අපි සිහින මවන්නෙමු. නවතම මෝස්තරයේ සාරියකින් හැඩවැඩ වන්නට, තට්ටු කිහිපයකින් යුතු අලංකාර කේක් ගෙඩියක් කපන්නට, මතක සැමරුමක් ලෙසින් හොඳ ඡායාරූප ඇල්බමයක්, වීඩියෝ පටයක් සකසා ගන්නට මේ ආදී වශයෙන් වූ කරුණු කාරණා රැසකින් ඒ සිහිනය පිරී ඉතිරී තිබේ.

නමුත් නිසි වේලාවට, නියමිත චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම පිළිබඳ එතරම් අවධානයක් යොමු නොවන අතර බාහිර අටෝපයන්ට වැඩි සැලකිල්ලක් දැක්වීම වර්තමානයේ විලාසිතාව බවට පත්වී ඇත.

එබැවින් හෙට දවසේ යුග දිවියට පා තබන දියණියන් වෙනුවෙන් මේ සිහිපත් කිරීම කළයුතුම වේ.

මංගල උත්සවයක වැදගත්ම චාරිත්‍රය වූ පෝරුවේ චාරිත්‍ර සහ අෂ්ටක ගායනය පිළිබඳ මෙහිදී අපගේ වැඩි අවධානයක් යොමු වූ අතර ඒවා නිසිලෙස ඉටුකරනා ආකාරය ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

අතීතයේ දී නම් පෝරුවේ චාරිත්‍ර ආශි‍්‍රතව විවිධ තහංචි චාරිත්‍ර විධි තිබුණ ද වර්තමාන සමාජය තුළදී ඒවා බැහැර වී තිබේ. විශේෂයෙන්ම මේ වනවිට මංගල උත්සව නිවෙසේ පැවැත්වීම වෙනුවට තෝරාගත් උත්සව ශාලාවක් තුළදී සිදුවන බැවින් මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත.

බුලත්කොළ

සාමාන්‍යයෙන් මංගල උත්සවයට සහභාගීවන මනාලයා ඇතුළු පිරිස මනාලියගේ නිවෙස ඉදිරිපිටට විත් එම පැමිණි පිරිසේ ගණනට සමාන බුලත් කොළ සංඛ්‍යාවක් මනාලියගේ නිවෙස වෙත ලබාදෙයි.

එමඟින් අදහස් කරන්නේ එම බුලත්කොළ සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් අසුන් පැනවීම සහ මංගල මේසය පිළියෙළ කිරීමකි.

ජල බඳුනක්

අනතුරුව නිවෙස ඉදිරිපිට ජලය පිරුණු බඳුනක් තබාගත් මනාලියගේ බාල සොයුරකු විසින් මනාලයාගේ පා සේදීම (වර්තමානයේ දී නම් සපත්තුව මතට ජලය ස්වල්පයක් ඉසීම) සිදු කරයි. මෙහිදී මනාලයා විසින් ජල බඳුනට රන් මුදුවක් දැමිය යුතු අතර ඒ වෙනුවට පාවඩයට මුදල් නෝට්ටුවක් දැමීම ද සිදු වේ. මේවා නව ක්‍රමයට කෙරෙතත් මෙවැනි චාරිත්‍රවල වටිනාකමක් ඇති බව සඳහන් කළ යුතුය.

ඉන්පසුව මනාල මහතා ඇතුළු පිරිස බාලිකාවියන් විසින් පිළිගැනීමේ ගීතයක් ගයා පිළිගන්නා අතර ඔවුනට තුටු පඬුරු ලෙස ලියුම් කවරවල බහා මුදල් නෝට්ටුවක් පිරිනමයි.

අනතුරුව පෝරුවේ චාරිත්‍ර සඳහා කල්වේලා තිබේ නම් ඔවුනට අසුන් ගැනීමට සලස්වන්න.

දෙවි දේවතාවුන් වන්දනය

මේ අවස්ථාව වනවිට පෝරුවේ චාරිත්‍ර ඉටුකරන පුද්ගලයා සූදානම් වී සිටිය යුතුය. මෙම චාරිත්‍ර ඉටු කිරීමට විනාඩි 20 කට පෙරවත් සරසා ගත් පෝරුව මත පුන්කලස් තබා ඉෂ්ට දේවතානුස්මරණය කොට දෙවි දේවතාවුන් වන්දනය කළ යුතු වේ.

මෙහිදී පෝරුව මනා සශ්‍රීක භූමියක් බවට පත් කර ගැනීම එම චාරිත්‍ර ඉටු කරන පුද්ගලයා සතු යුතුකමකි.

පෝරුව මත පැදුරක් දැමීම සම්ප්‍රදයානුකූලව කෙරෙතත් වර්තමානයේ සුදු රෙද්දක් එළා එය කැකුළු සහල්, පඬුරු, බුලත් ආදියෙන් ආඩ්‍ය කර ගනිති.

පෝරුව අසලට

පෝරුවේ චාරිත්‍ර වැඩසටහන සැලසුම් කරගත යුත්තේ ද එම කාර්යභාරය ඉටුකරන පුද්ගලයා විසිනි.

එහිදී ප්‍රථමයෙන් ඉෂ්ට දේවතා උපහාරයක් වශයෙන් පුන්කලස් මත පහන් දල්වන්න. අනතුරුව මංගල පෝරුවට නැංවීමට ප්‍රථම (අවම වශයෙන් විනාඩි 15 ට පෙර) මනාල යුවළ පෝරුව අසලට ගෙන්වාගන්න.

මෙම අවස්ථාවේදී උත්සවයේ ගෞරවාන්විත බව පෙන්වීමට නැටුම්, ගැයුම්, වාදන පැවැත්වෙන අතර ඒ සඳහා ද ඉඩකඩ ලබාදිය යුතුය.

මනාලිය, ඇයගේ මවුපියන් සහ ඥාතීන්, පෝරුවට නංවන මාමා ඇතුළු පිරිස පෝරුවේ වම්පසින් ද මනාලයා සහ මවුපියන්, ඥාතීන් දකුණුපසින් ද සිටුවාගන්න.

මෙලෙස දෙපාර්ශවයම පෝරුව අසලට කැඳවා තබාගෙන ගාම්භීරත්වයෙන් යුතුව හඬනගා සියලු කියමන් ආරම්භ කළ යුතුය. නමුත් නියමිත වේලාවට මනාල යුවළ පෝරු මස්තකාරූඩ කළ යුතු බැවින් කාලවේලාව අනුව අෂ්ටක, ශ්ලෝක, ගාථා කියවිය යුතු බව අමතක නොකරන්න.

 උපදෙස් - මංගල පෝරු චාරිත්‍ර සහ අෂ්ටක උපදේශක

එස්. හෙට්ටිගේ 

12520 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 29, සඳුදා 15:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න