තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 04, සඳුදා 15:09

අරුත්බර පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පෝරු මස්තකාරූඪවීම යුවතියක තම ජීවිතයේ ලබන අමරණීය සැමරුමකි. පෝරු මස්තකාරූඪවීමට නොහැකිව නොයෙක් ලෙසින් විවාහ ජීවිත ගත කළත් හෙළ කුලසිරිතට අනුව යමින් විවාහ මංගල්‍යයක් පවත්වා නව යුවළ පෝරුවට නැගීම ඔවුන්ට සෙතක් ශාන්තියක්ම උදා කරලන්නකි.

 

පෝරුවේ චාරිත්‍ර යනු පෝරුවටම ආවේණික වූ සිරිත් විරිත් සමුදායකින් හෙබි වූවකි.

පෝරුවේ චාරිත්‍ර මනාව ඉටු කරනවා සේම එහි සෑම චාරිත්‍රයකින්ම හැඟවෙන යටි අරුත පිළිබඳ අවබෝධයක් තිබීම වටී. එය නව ජයම්පතීන්ට අර්ථවත් විවාහ මංගල්‍යයක සේම අරුත්බර විවාහ ජීවිතයකට ද මං පාදයි. කොළයකට සිමා වුණ විවාහය නියමාකාරයෙන්ම විවාහ වූවා යැයි හැඟෙනුයේ පෝරුවේ චාරිත්‍ර විධි ඉටු කළායින් පසුව ය. එය ජීවිතයේ වැදගත්ම මංගල කාරණයකි. පරම්පරාවේ පැවැත්ම හෙවත් ප්‍රජනනය සඳහා අවසර ලැබෙනුයේ ද ඉන් අනතුරුව ය.

මීට දශක කිහිපයකට පෙර අලුතින්ම පෝරුවක් සෑදීම සිදුකළ අතර ඒ සඳහා කිරි ගසක් කැපීමේ සිට නැකැත් සාදයි. එහෙත් වර්තමානය වනවිට මංගල ශාලාවෙන් හෝ මල්කරුවන් වෙතින් දෙනු ලබන පෝරුවට නැගීමට සිදුවී ඇත.

පෝරුව චාරිත්‍ර ආගමික කටයුතු සමඟ සබැඳි එකක් නිසා අෂ්ටකධාරියා තෙරුවන් නමැද, ඉන්පසු දෙවියන් ද නමැදියි. එහිදී පෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු උදෙසා පුන්කලස් මත ඇති පහන් දල්වයි.

පෝරුව යනු ඉතාම ගෞරවණීය තැනකි. එය පොළවට උස් තැනකින් නිමවන්නේ ඒ නිසාය.

මහී කාන්තාවගෙන් මිදී සිටින නිසා මහී කාන්තාවගෙන් ද අවසර ඉල්ලයි. නවග්‍රහ අවසරයෙන් ද පසු මංගල සභාවෙන් අවසර පතයි.

පෝරු මස්තකාරූඪ වීම

පෝරුවට නගින්නට පඩි 2 ක් තිබේ. සාමාන්‍යයෙන් අප සුබ කටයුත්තක් අරඹන්නේ දකුණු පය පෙරට තබාය. ඒ අනුව පළමුව දකුණු පයත් දෙවැනුව වම් පයත් නැවත පෝරුවට දකුණු පයත් තබයි. පෝරුවට දෙපැත්තෙන් නැගීමට පියගැට පෙළ සහ ඉදිරියෙන් පියගැට පෙළ තබා තිබේ. ඒ දෙදෙනකු ලෙස පෝරුවට නැඟී ඉන් බැස යනුයේ එක් අයකු ලෙසට යන්න විදහා පෑමට ය.

පෝරුවට නැග්ගවීම මනාලයාගේ සහ මනාලියගේ පියා අතින් සිදුවීම වැදගත්ය. ඔවුන් ජීවතුන් අතර නොසිටී නම් මාමාවරුන්ට නැග්ගවීමට පුළුවන. අතීතයේ නම් මාමාවරුන් පෝරුවට නැග්ගවීම සිදු කරයි. එදා මාමාවරුන්ට පියාට තරමටම දුවකගේ අයිතියක් තිබුණි. අද තත්ත්වය ඊට වඩා තරමක් වෙනස් නිසා හදවතින්ම ආශිර්වාද කිරීමට පියා ඉදිරිපත්වීම වැදගත් වේ.

මෙහිදී මනාලයාගේ වම් අත පැත්තෙන් මනාලිය සිට ගනියි. අපේ ශරීරයේ හදවත ඇත්තේ ද වම් අතට බරවී ය. හදවතට වඩාත් සමීප කෙනකු නිසාත් මුදු, මාල ආදිය පැලඳීමට පහසු නිසාත් මෙලෙස සිට ගනියි.

හුරුලු පිදීම

පෝරු මස්තකාරූඪවීමෙන් අනතුරුව පළමුව ඉටු කරනුයේ හුරුලු පිදීමේ චාරිත්‍රයයි. මෙහිදී හතරවරිගයම නියෝජනය වනපරිදි එනම් මනාලයාගෙ වම් පාර්ශ්වය, පිය පාර්ශ්වය හා මනාලියගේ මව් පාර්ශ්වය, පිය පාර්ශ්වය ඉදිරියේ හත්මුතු පරම්පරාවෙන්ම ආශිර්වාදය ගැනීම මෙහිදී සිදුවේ. අටවන පරම්පරාවක් බිහි කිරීමට සූදානම් වද්දී අෂ්ටකධාරියා නව යුවළට බුලත් අතක් ලබා දේ. නව යුවළ නැවත එම බුලත් හුරුල්ල අෂ්ටක ධාරියාටම ලබා දේ. ඔහු එය උස් තැනකින් තබයි. නව යුවළගේ පළමු ස්පර්ශය සිදුවනුයේ එතැන් පටන්ය.

තැලි පිළි පැලඳීම

මෙහිදී ආභරණ පැලඳවීමක් සිදුවේ. ආභරණයක් කියූ විට කනට කරාබුවක්, අතට වලල්ලක් වැනි මේ ඕනෑම දෙයක් ගත හැකි වුවත් ඒ සඳහා මුද්දක්ම තෝරා ගනියි. මුද්ද රවුම් වස්තුවකි. එහි කොතැනකවත් කෙළවරක් නැත. සංසාර චක්‍රය ද එසේමය.

එසේම රත්තරන් වැනි වටිනා ලෝහයක් පලඳිනුයේ රත්තරන් සිරුරේ රුධිරයට සමීපය. වෙදැඟිල්ලේ ඇති ස්නායු වැඩිම ප්‍රමාණයක් හදවතට සම්බන්ධ නිසා මුදුව පලඳිනුයේ වෙදැඟිල්ලටයි. "මං ඔයාට තියෙන ආදරය මේ මුද්ද වගේ කවදාවත්ම නැවතීමක් නැහැ. සංසාර චක්‍රය පවතින තුරාවටම රත්තරන් වගේ ආදරයක් ඔයාට දෙන්නේ" තැල්ල හෙවත් කරමාලය පලඳින්නේත් ආභරණවලින් තම බිරියව සරසා ලස්සනට තබන බව හුවා දැක්වීමට ය.

පිළි පැලඳීම

වඩාත් අලංකෘත වූ ඇඳුම් ආයිත්තම්වලින් තම බිරියව සරසවන බව සංකේතවත් කිරීමට පිළි පලඳවයි. මෙහිදී සංකේතයක් ලෙස පලඳවන්නේ දෙවැනි ගමන දාට අඳින්නට සූදානම් කර ඇති ඇඳුමයි.

ඉඳුල් කිරීමේ චාරිත්‍රය

මෙහිදී කිරිබත් කෑල්ලක් දෙදෙනාට දෙදෙනා කවා ගනිමින් කිරි වීදුරුවක් බොයි. කිරිබත් සහ කිරි යනු සෞභාග්‍යයේ සංකේතයන් ය. දෙදෙනා එකට කන පළමු පිඩ මෙයයි. ආභරණවලින්, ඇඳුම් ආයිත්තම්වලින් සරසා පෝෂණය කරන බව ඇඟවීමට මෙලෙස ඉඳුල් කිරීමේ චාරිත්‍රය සිදු කරයි.

අතපැන් වත්කිරීම

මෙය පෝරුවේ චාරිත්‍ර අතර වඩාත් කැපී පෙනෙන්නකි. සැමියා සහ බිරිය යනුවෙන් නව යුවළ ආමන්ත්‍රණය කරනුයේ මින් පසුවයි. තමා සතු වටිනාම දෙයක් අන් සතු නොකරන බව මෙම චාරිත්‍රයෙන් ඇඟවේ. ජල බන්ධනයකින් කෙරෙන මේ සඳහා පිරිත් පැන්, පිරිත් නූල් යොදා ගනියි. මනාලියගේ පියා පැන් කෙන්ඩියෙන් වතුර වත්කරයි. මනාලයාගේ පියා වතුර භාජනය අල්ලා සිටියි. දුවව නැවත භාර නොගෙන සැමියා වෙත පවරාදීමක් වතුර වත් කිරීමෙනුත් වත්කරන වතුර වැටෙන භාජනය අල්ලා සිටීමෙන් ඇයව භාර ගත්තා යන්නත් අදහස් වේ.

බන්ධනය සංකේතවත් කිරීම සඳහා එක ගැටයක් දමන අතර වටකිහිපයක් දෙසුළැඟිලි එකට තබා නුල ඔතයි. එය ඔවුන් දෙදෙනා විසින්ම ගලවා ගතයුතුවේ. ඉන් හැඟෙනුයේ 'මින් පසු අප දෙදෙනාට එන ගැටලු අප දෙදෙනා විසින්ම නිරාකරණය කරගන්නා බවත් ගෙයි ගිනි පිටතටත් පිට ගිනි ගෙටත් නොගන්නා බවටය. මේ පිරිිත් නුල බුලත් කොළයක ඔතා ඒ දෙදෙනාටම තබා ගන්නට දෙයි.

මේ සෑම චාරිත්‍රයක්ම අතරතුරේ අෂ්ටකධාරියා ශ්ලෝක ගාථා යනාදිය සුමිහිරි හඬින් ගයනුයේ මංගල සභාවම ප්‍රබෝධමත් කරමිනි.

හඟල හුරුලු පිදීම

මෙහිදී නියමාකාරයෙන් නම් බුලත් හුරුලු 7 ක් යොදා ගනියි. එහෙත් වත්මනේ බුලත් හුරුල්ලක තිබිය යුතු අවම කොළ ගණන සංකේතවත් කරමින් බුලත් කොළ දෙකක් බුලත් අතක් ලෙස සලකයි. ඇතැම් ප්‍රදේශවල හත්මුතු පරම්පරාවම ද නියෝජනය කරමින් බුලත් හුරුලු 14 ක් හුවමාරු කරයි. තම පවුල්වල බලපුළුවන්කාරකම, වත්පොහොසත්කම් පෙන්වීම සඳහා නියම විදිහටම බුලත් හුරුලු ලබාදෙන අය ද සිටියි.

මෙහිදී බිරිඳ සැමියාට පොරොන්දු 4 ක් ලබා දේ. පළමුවැන්න අද පටන් මවු භාර්යාවක්, ආදරණීය අම්මකු මෙන් සැමියාව රැකබලා ගන්නා බවයි. දෙවැන්න, තෙවැන්න, සිවුවැන්න පිළිවෙලින් ආදරණීය මිතුරියක් සොයුරියක් ලෙසත්, විශ්වාසවන්ත භාර්යාවක් ලෙස දාසියක් ලෙසත් රැකබලා ගන්නා බවයි. ඉන්පසු මනාලයා මනාලියට නැවත බුලත් දෙමින් හඟවනුයේ මවු භාර්යාවක් ලෙස පිළිගන්නා බවයි. මිතුරියක්, සොයුරියක් ලෙස පිළිගන්නා බවයි. අවසානයේ දාසියක් වගේ බවට දුන් පොරොන්දුව භාර නොගනී. එහිදී බෑණා පිළිබඳව මනාලියගේ පාර්ශ්වයට සුවිශේෂි පැහැදීමක් ඇති වේ.

කච්චි කිරිකඩ පිදීම

මේ පෝරුවේ චාරිත්‍ර අතරවන උතුම්ම චාරිත්‍රයයි. අතීතයේ බ්‍රහ්ම මාලිනි බැමිණිය තම සෞම්‍යසිරි දියණිය බමුණුකුලයේ නායකතුමාගේ පුතුට ආවාහ විවාහ කරදෙයි. එහිදී මංගල අවස්ථාවේ මනාලියගේ මව එක්වරම හඬා වැටේ. හඬා වැටෙන කාරණය මනාල මහතා ඇසීමෙන් අනතුරුව බ්‍රහ්මමාලිනි බැමිණිය පවසා සිටිනුයේ මලක් මෙන් දුක්මහන්සි වී ලේ කිරිකර පොවා හදාවඩාගත් දුවණියට පෙවූ කිරි මතක්වී හැඬු බවයි. එහි ප්‍රමාණය පවසන්නටයි කීවත් මැනලා කිරි නුදුන් බවත් ප්‍රමාණයක් කියන්නට බැරි බවත්ය. රෙදි කච්චියක් පෙඟෙන්නටම කිරි දෙන්න ඇතියි යනුවෙන් ඇය පැවසුවෙන් මනාලයා බිවුකිරිවල පව අරවා ගැනීමට රෙදි කච්චියක් පිළිගැන්වීය.

රෙදි කච්චියක් යනු රෙදි පීස් එකකි. මේ සඳහා ගන්නේ ද කපු රෙදි ය. මේ සඳහා රෙදි යාර 60 ක් පමණ අයත් වේ. කිරිකඩ හේලය සමඟින් රනින් කිල්ලෝටයක්, රන්ගාපු ගිරයක් සහ ඇමිණු එරන් කෙන්දක් බුලත් හෙප්පුවක් මත තබා පිළිගන්වයි.

එදා ගැමි කාන්තාව බුලත් කෑමට පුරුදුවූ අයයි. මේ නිසා හැමවවිටම හුණු කිල්ලෝටය සහ ගිරය ඔවුන් අසලම රැඳේ. බුලත් විටක් හපන ගානේ දියණිය හා බෑණා ඇයව සිහිපත් වෙයි.

ඇමිණුූ එරන් කෙන්ද යන්නෙන් අදහස් කළේ අතපැන් වත්කිරීමට ගැටගැසූ පිරිත් නූල බුලත් කොළයක ඔතා තබාගත්තා මතක ඇති.

කිරිකඩ හේලය සමඟින් මේ සියල්ල ලබා දේ. මෙහිදී අෂ්ටකධාරියාගේ ගායනාවන් සඳහා සංවේදී නොවන කෙනකු නැති තරම් ය. මනාල යුවළ පමණක් නොව මුළු මංගල සභාවේම නෙතට කඳුළක් නැගීම අතිශෝක්තියක් නොවේ. මනාලියගේ මව මේ සියල්ල රැගෙන හිසමත තබා පස්සෙන් පස්සට පය තබා පෝරුව අසලින් ඉවත් වේ. දුවෙක් වැදූ අම්මකු පමණක්ම ලබන මේ අවස්ථාව ඇගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

කතන්දරයක් නොඅසා බොහොම ගරු ගාම්භීර ලෙස දුවක සරණපාවා දීමට හැකිවීම මවක් ලෙස ඇය ලද අමිල ජයග්‍රහණයකි.

එදා කච්චියක් ලෙස ලබාදුන් රෙදි දුව සරණ පාවා දුන් පසු ඇය නිදහස් දිවිපෙවෙතක් ගතකරන නිසා වන්දනීය කටයුතුවලට යෙදීමට ගනියි.

එනම් සිල් රෙදි කට්ටලයම සකසා තමාගේ පළමු මුණුබුරු හෝ මිණිබිරියට ඇඳුම් සකසාදීමට ද යොදා ගනියි. තවත් රෙදි ඉතිරි වී නම් ගමේ පන්සලට ලබාදෙන්නේ පඬුපොවා සිවුරු මසා ගැනීමට යි.

මෙහිදී අවශ්‍ය නම් දෙපාර්ශ්වයේම පියවරුන්ට මාමාවරුන්ට විශේෂයෙන් පොල් බිඳින මාමාට ත්‍යාගයක් ලබාදීමට පුළුවන. මෙය අත්‍යවශ්‍ය නැත. ළඟම ඥාතීන්ට බුලත්දීම සඳහා ද මෙය අවස්ථාවක් කරගත හැකියි.

ජයමංගල ගාථා සජ්ඣායනය

මේ සඳහා පැරැන්නෝ මල්වර නොවූ දැරියන් සිව්දෙනකු යොදා ගත්ත ද අද වනවිට ඇල්බමයේ සුන්දරත්වය යනාදිය ද සලකා බලා බාලිකාවන් සිව්දෙනකු ගනියි. මෙහිදී ජයමංගල ගාථා සඳහා දැරියන් එක් කිරීම අනිවාර්ය සාධකයක් නොවේ. ඒ වෙනුවට මංගල සභාවේ සිටින පිරිස හොඳින් උච්චාරණය කරමින් ජයමංගල ගාථා සජ්ඣායනය කරන්නේ නම් එය ද වඩාත් ආශිර්වාදාත්මක වූවකි. දැරියන් සමඟින් වුවද පැමිණ සිටින ජයමංගල ගාථා සජ්ඣායනය කළ හැකියි.

බිඳින්නට ඇති පොල් ගෙඩිය සිරසේ සිට පාදාන්තය දක්වාම ගෙනයමින් ඇස්වහ දෝෂ ඉවත් කරයි. මනාල යුවළම වඩාත් කැපීපෙනෙන ලෙස සිටින නිසා සියලු දෝෂයන් දුරුවීමට මෙය කරයි.

පෝරුවෙන් බැසයෑම සහ පොල්ගෙඩිය බිඳීම

දෙදෙනකු ලෙසින් දෙපැත්තෙන් පෝරු මස්තකාරූඪ වුණු නව යුවළ සියලු චාරිත්‍රවාරිත්‍ර ඉටුකොට එක් අයකු ලෙසින් දකුණු පය පෙරට තබා පෝරුව ඉදිරියෙන් බැස යයි.

එවිටම මාමා කෙනකු පෝරුව අසල ඇති පොල් ගෙඩිය බිඳිනුයේ සුබ කාරණා, මංගල කාරණා සපථ කරවමිනි. මෙහිදී පොල් ගෙඩිය හරි මැදින් බිඳීමක් අවශ්‍යම නොවේ. පොල් ගෙඩිය නිවැරදිව නොබිඳුණහොත් මනාල යුවළට මෙන්ම මංගල සභාවට ද සිතට චකිතයක් ගෙන දේවි. අසුබ නිමිත්තක් දෝ යැයි සිතේවි. පෝරුව චාරිත්‍ර ඉටුකරද්දි මේ බව පවසාලීම අනිවාර්යයෙන් සිදුකරනුයේ කිසිවකුගේ සිතට බරක් නොදෙමිනි. පොල් ගෙඩිය ඇතුළත ඇත්තේ පරිසරයට නිරාවරණය නොවූ පිරිසුදු වතුරයි. එහි පිරිසුදු සුදු පැහැය යනාදිය මංගල කාරණා සේ සැලකේ.

මනාලියගේ පාර්ශ්වයේ මාමා කෙනකු අතින් මෙය සිදුවන අතර එදා හේනේමාමා විසින් සිදු කරලීය. අද නිවෙසක් ඇතුළත, හෝටල් ශාලාවක ගෝනියක මත මෙය සිදුවුවත් එදා නිවෙසන් පිටත දේවාලයක පොල් ගසන්නාක් මෙන් පොළවේ ගසයි.

විනාඩි 45 ක්, හෝරාවකට ආසන්න කාලයක් පුරාවට පැවැති මෙම පෝරුව චාරිත්‍ර වාරිත්‍ර මෙලෙස නිමාවන්නේ නවයුවළ අලුතින්ම අරඹන ජීවිතයට ඉතා ඉහළම ආශිර්වාදයක් ලැබගනිමිනි.

 

අදහස් දැක්වීම

මංගල පෝරු චාරිත්‍රධාරි

රෙහාන් සේනාධීර

559 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 15:10
මේ යටතේ එන අනෙකුත් ලිපි: « සම්ප්‍රදායානුකූල මංගල පෝරුව
අදහස් එක් කිරීමට ලොග් වෙන්න