තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 15, අඟහරුවාදා 09:49

හදිසියටවත් අනුන්ගේ කණ්ණාඩි නම් පාවිච්චිය එපා! විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
“ළඟකදී ඉඳලා මට ඇස් පේනවා අඩුයි. පොතක් පත්තරයක් කියවගන්නත් අමාරුයි. මං මහත්තයගේ කණ්ණාඩියෙන් යන්තම් කියවගන්නවා.”

 

ඔබත් මෙහෙම කරන අයෙක් ද? එහෙමනම් මේ අනතුරු ඇඟවීම ඔබටයි. ඔබේ ඇස් පෙනීමේ දුර්වලතාවයට අන් අයගේ කණ්ණාඩි පාවිච්චි කරන්නට ගියොත් ඔබේ ඇස්වල තියෙන පෙනුමත් නැතිවෙන්නට පටන් ගනීවි.

කිසියම් ආකාරයක හෝ ඇස්පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කරවාගෙන තමන්ගේ අක්ෂි ආබාධයට ගැළපෙන ආකාරයේ කණ්ණාඩි පැලඳීම ඉතාමත් වැදගත් වනවා. මෙහිදී සමහරුන්ගේ නොසැලකිලිමත්කම නිසා එසේත් නැත්නම් නොදැනුවත්කම නිසා වැරැදි ආකාරයට කටයුතු කරන අවස්ථාවන් බොහොමයි. එම නිසාම එහි අහිතකර ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන අවස්ථාවන් ද බොහෝවිට දක්නට ලැබෙනවා.

ඔබ අක්ෂි දුර්වලතාවයකින් පෙළෙන බව හැඟෙනවා නම් ඉතාමත් කල්පනාකාරිව ඒ පිළිබඳ දැනුවත්ව කටයුතු කිරීම වඩාත් වැදගත් බව අමතක කරන්න එපා.

මෙහිදී සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද?

මේ වන විට අක්ෂි ආබාධ හේතුකොටගෙන කණ්ණාඩි පලඳින පිරිස අතර බාල, මහලු කියා වෙනසක් නෑ. තවත් සමහරුන් මෙම කණ්ණාඩි භාවිතය පිළිබඳ සුළුකොට හිතුවත් එය ඒ ආකාරයෙන් නොතකා සිටිය යුතු දෙයක් නම් නොවෙයි. හේතුව අක්ෂි ආබාධයක් මුල්කොට ගෙන කණ්ණාඩි පලඳිනවානම් ඇස්වල ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු වීමයි.

ඔබට පෙනීමේ දුර්වලතාවයක් ඇතිවුණොත් ඒ සඳහා ඔබට සිතුණු තැනකින් කණ්නාඩි දෙකක් මිලදී ගෙන පැලඳීම කිසිසේත්ම සුදුසු යැයි අනුමත කළ හැකි දෙයක් නොවෙයි. මෙහිදී කළයුතු මූලික දේ නම් අක්ෂි රෝග සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඔබේ ඇස්වල දුබලතාවය ඇතිවීමට හේතුව දැන එම වෛද්‍යවරයාගේ නිගමනය මත පමණක් මනා පළපුරුද්දක් ඇති දෘෂ්ටි පරීක්ෂකයකු වෙත යොමුවී කණ්ණාඩි පැළඳීමට පියවර ගැනීමයි.

නමුත් කණ්ණාඩි පාවිච්චි කිරීම පිළිබඳ අද සමාජයේ බොහෝ දෙනකුට මනා දැනුවත් බවක් නොමැති බව පෙනෙන්න තිබෙනවා. මේනිසා ඇතැම්විට ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔවුන් තම ඇස්වල පෙනීම නැතිකරගන්නා අවස්ථාවන් ද නැතුවා නොවෙයි. එමෙන්ම තමන්ට ඇති දුර්වලතාවයක් පෙනීමේ විෂමතාවයක් ඇති බව හැඟී ගියහොත් සමහරුන් ඒ පිළිබඳ සැලකිලිමත් නොවී වෛද්‍යවරයකු වෙත යොමුනොවීම, ඒ සඳහා ප්‍රතිකාර ගැනීම කල්දැමීම හෝ එය අතපසුකරන අවස්ථාවන් ද තිබෙනවා. මේනිසා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි දේ පවා මඟහැරී යන අවස්ථා දක්නට පුළුවන්.

මෙය නොසලකා හැර කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි භයානක තත්තවයන් නම් දියවැඩියාව (අක්ෂිගත), අධි රුධිර පීඩනය නිසා ග්ලූකෝමාව තත්ත්වය. ඇසේ සුද පිළිකා වැනි සමහර රෝගයන්හි බලපෑම්හි අතුරු ප්‍රතිඵල ලෙස යම් යම් අක්ෂි දුර්වලතා ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්වයන් කල්තියා හඳුනාගත හැකි බැවින් එයට නිසි ප්‍රතිකාර සිදුකිරීම මගින් පූර්ණ සුවය ලබාගත හැකියි.

අන් අයගේ කණ්ණාඩි භාවිත කරන්නට එපා.

කාන්තා, පිරිමි දෙපක්ෂයම විසින් සිදුකරන තවත් වැරැද්දක් නම් තමන්ගේ පෙනීමේ දුර්වලතාවයක් ඇතිවිට, කියවා ගැනීමේ අපහසුතාවයක් ඇතිවිට, බිරිය සැමියාගේ හෝ සැමියා බිරියට අයත් හෝ කණ්ණාඩි පාවිච්චි කිරීමට පෙලඹීමයි. එසේත් නැත්නම් නිවෙසේ වෙනත් අයෙකු පැලඳි කණ්ණාඩියක් පොදුවේ පාවිච්චි කරන්නට පෙලඹී සිටින අවස්ථාවන් ද තිබෙනවා. මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයක් බව කිව යුතුයි. හේතුව නම් අක්ෂි දුර්වලතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වීමයි. මෙයින් වන අවදානම් තත්ත්වය පිළිබඳ සඳහන් කළහොත් ඉතා වේගයෙන් ඇස් දුර්වලවීම හෝ සමහරවිට ඇස් නොපෙනීයාමේ තත්ත්වයක් වුවද ඇතිවිය හැකියි. මෙහිදී නොකළ යුතු තවත් දෙයක් ලෙස දැක්විය හැක්කේ තත්ත්වයෙන් බාල, ප්‍රමිතියක් නැති, කියවීමේ කණ්ණාඩි සහ අව් කණ්නාඩි ආදිය පදික වෙළෙඳුනගෙන් හෝ යම් යම් සාප්පුවලින් ගෙන භාවිත කිරීමයි. මෙයින් සිදුවන්නේ තමන් විසින්ම තමන්ගේ දෙනෙත්වලට හානි සිදුකර ගැනීමයි.

ඇසයනු අප ජීවත්වන කාලය පුරාවටම ඉතාමත් ආරක්ෂාකාරීව නිරෝගිමත් බව රැකගතයුතු ඉන්ද්‍රියයකි. එසේ නම් අප අපේ ඇස්වල ආරක්ෂාව පිළිබඳව මෙයට වඩා වැඩි අවධානයක් දැක්විය යුතුමය.අක්ෂි ආබාධයන්ගෙන් පෙළෙන අයට නොමිලයේ ඇස් පරීක්ෂාකර නිසි උපදෙස් ලබාදීමට අප ආයතනය කටයුතු කරගෙන යන්නේද ඉහත කී තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ඇස් ආරක්ෂා කරදීමේ අටියෙනි. ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් ලෙස දහස් ගණන් දිළිඳු ජනතාවට නොමිලේ තම සේවාවන් සහ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබෙන අතර මේ සඳහා ඕනෑම අයකුට අප ආයතනය හා එක්වී එවන් අයට උපකාර කිරීමේ අවස්ථාවන් ද උදාකරගත හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ දෘෂ්ටි පරීක්ෂක

සෙනේෂ් බුද්ධික දසනායක

ඔපෙක්ස් අයි කෙයා - අතුරුගිරිය පාර, මාලඹේ

mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

987 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 09:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න