තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:40

කාලයේ තාලයට වෙනස්වන විලාසිතා..

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
අප දෙස බලන අය අපිව දකින්නේ පිට පෙනුමෙනි. ඔවුන් අපිව තක්සේරු කරනු ලබන්නේ ද එමඟිනි. ඇතැම් විට අපගේ වටිනාකම් ඉහළ දැමීමට මෙන්ම පහත හෙළීමට ද අප අඳින පලඳින ආකාරය ඉවහල් විය හැකිය.

 

‘එයා නම් හරිම ෆැෂනබල්..’ කෙනෙක් ගැන මෙසේ කියන විට තවත් අයෙක් ගැන ‘අයියෝ.. එයා ෆැෂන් එකක්වත් කරන්නෙ නෑනේ.. හරියට අඳින්නෙවත් නෑ..’ යැයි පවසයි. ‘අනේ එයාගෙ ෆැෂන්.. මෝස්තරේට ඇන්දට ඒවා එයාට ගැළපෙන්නේ නෑ අනේ..’ මේ වගේ කතා බහ ඔබේ යහළු යෙහෙළියන් අතරේත් ඇති වී තිබෙන බව ඔබේ මතකයට ඒවි.

ඇත්තට ම විලාසිතා කිරීමෙන් අයෙක් ලස්සන වෙන්නත් විලාසිතා නිසාම කෙනෙක් අවලස්සන වෙන්නත් හේතුව මොකක්ද? මේ ගැන මට වගේම ඔබටත් ගැටලුවක් ඇති වුණා නම් අපි ඒ ගැටලුව විසඳා ගනිමු. ඒ පිළිබඳ අපිට කරුණු දැන ගන්නට රටේ සිටින ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පියකු හමුවුණා. ඔහු ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නිල්හාන් සෙනෙවිරත්න නම ඇසූ පමණින් ඔහුට ම අනන්‍ය වූ විලාසිතා පෙළගැස්මක් ඔබේ මතකයට නැගේවි.

ඉතිං නිල්හාන් දැන් මොනවද අපේ රටේ තියෙන අලුත්ම ෆැෂන්..

ම්.. ඇත්තම කියනවා නම් අපේ රටේ ෆැෂන් අලුත් වීමක් වෙන්නේ නැති තරම්. අපේ රටේ ෆැෂන්වලට තියෙන තැන බොහොම පහළ තැනක්. ඉන්දියාවේ තරමටවත් අපි ෆැෂන් ගැන උනන්දු නෑ කියල තමයි මට නම් හිතෙන්නේ. ලෝකේ ෆැෂන් සම්බන්ධයෙන් විවිධ දේ සිදු කෙරෙනවා. මමත් ඉස්සර එචතඬ කියලා පිටරට මැගසින් එකක් බැලුවා.දැන් ඉන්දියාවෙත් ඒවගේ සඟරා තියෙනවා. ඒත් අපේ රටේ ඒ තත්ත්වය තාම හැදිලා නැහැ. ඒ නිසා අපි වුණත් අප්ඩේට් වෙන්නේ හරි අඩුවෙන්. අපේ රටේ ඒකට තාම හරි ඉල්ලුමක් නෑ. දැන් ෆැෂන් ෂෝ වුණත් හරිම අඩුයි.

අපේ රටේ වැලන්ටයින් ඩේ එකට, 31 නයිට් පාටිවලට වගේ තමයි ෆැෂන් ඩිසයිනින් අවශ්‍ය වෙන්නේ.. හැබැයි බ්‍රයිඩ්ල් ෆැෂන් ඩිසයිනින්වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. දැන් ගොඩක් අය මංගල උත්සවයට විලාසිතා වැඩියෙන් කරනවා.

ෆැෂන් ඩිසයිනර් කෙනෙකුට අපේ රටේ හොඳ ඉල්ලුමක් තියෙනවද?

අද ෆැෂන් ඩිසයින් කියන එක හරියටම වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මොකද දැන් තියෙන තත්ත්වෙ අනුව නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙකුට කරන්න දෙයක් නැති තරම්. ගොඩක් අයට ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න තරම් වුවමනාවක් නෑ. එයාලා දන්නෙ නෑ එහෙම කෙනෙක්ගෙන් උපදෙස් ගැනීමේ වැදගත්කම මොකක්ද කියලා.

ඇත්තටම ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගෙන් උපදෙස් හෝ සේවය ලබා ගැනීමේ වැදගත්කම මොකක්ද?

තමන් කැමැති විදියේ ඇඳුමක් අඳිනවා. ඒ ඇඳුම ෂොප් එකකින් ගන්නවා. නැත්නම් ඇඳුම් මහන කෙනකුට කියලා මස්සවා ගන්නවා. ඊට පස්සේ සැලෝන් එකට ගිහින් තමන් කැමැති කොණ්ඩා මෝස්තරයක් හරි සැලෝන් එකේ එක්කෙනාට පහසු එකක් හරි දාගන්නවා. මේකප් එකත් එහෙමයි. ආභරණත් තියෙන සහ කැමැති ඒවා දාගන්නවා. සපත්තු දෙකත් තියෙන එකක් හරි තමන් කැමැති මෝස්තරයේ එකක් හරි දානවා. පර්ස් එක නැතිනම් හෑන්ඩ් බෑග් එක ඒවත් කැමැති විදියට තෝරා ගන්නවා. දැන් මම හරි, කියල තමයි හිතන්නේ... ඒත් මේ හැම දෙයක්ම එකකට එකක් ගැළපෙනවද, මේ සියල්ලම මගේ පෙනුමට ගැළපෙනවද, මේකෙන් මට ලැබෙන්නේ මොන වගේ පෙනුමක්ද කියලා හිතන්නේ නෑ. මේ දේට තමයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ..

තවත් අය ඉන්නවා තව කෙනෙක් අනුකරණය කරලා ෆැෂන් කරනවා. සමහර විට ඒ තැනැත්තා නිළියක්, ගායිකාවක් හෝ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමා අවටම ඉන්න එයාගේ ෆැෂන් නිසා කැපිලා පෙනෙන චරිතයක් වෙන්න පුළුවන්. ඒත් එයාගේ විලාසිතා අනුකරණය කිරීමේ දී ඒ විලාසිතා එයාට ගැළපුණාට ඒක තමන්ට ගැළපෙනවාදැයි සිතා බලන්න ඕන. නැත්නම් බලාපොරොත්තු වෙන ලස්සන වෙනුවට ලැබෙන්නේ අවලස්සනක්. ඒ වගේ වෙලාවකට ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ සේවාව හෝ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ විලාසිතාව ඔබේ සිරුරට ගැළපෙන ලෙසින් සකස් කිරීමට ඔහුට හෝ ඇයට හැකියාව තියෙනවා. එවැනි සමහර විලාසිතාවලින් ඔබේ පෙනුමේ ලස්සන මතුකර පෙන්වීමට විලාසිතා නිර්මාණ ශිල්පියකුගේ දැනුම උපයෝගී කරගැනීමට පුළුවන්.

ඇත්තටම ෆැෂන් එහෙමත් නැත්නම් විලාසිතා කියන්නේ මොකක්ද?

ඇත්තටම ෆැෂන් කියන්නේ, යම් දෙයක් සංවරව ගැළපෙන ලෙස කිරීමකටයි. පවතින දෙයට වඩා වෙනස් ලෙස දෙයක් කිරීම, දකින දෙයට වඩා වැඩි දෙයක් කිරීම විලාසිතා තමයි. සමහර අය මාල දාන්න ඕන තැනට දාන්නේ නෑ. සමහර අය හිතනවා ෆැෂන් කියන්නේ තියෙන තරමක් මෝස්තර කරන එකට කියලා. ඕනවට වඩා ආභරණ දාගෙන විච්චූරණ කරන එක ෆැෂන් නෙමෙයි. ඒක වැටෙන්නේ ෆැන්ටසිවලට. අපි සාමාන්‍ය ජීවිතේදි ෆැන්ටසි විදියට ජීවත්වෙන්න ඕන නෑනේ නේද? ෆැෂන්වලට අයිති වෙන්නේ ඇඳුම් පැලඳුම් විතරක් නෙමෙයි. කොණ්ඩය, සපත්තු, නිය ආදී සියල්ලම ෆැෂන්වලට අයිතියි.

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න පාඨමාලා තියෙනවා නේද?

ඔව් කොතෙකුත් පාඨමාලා නම් තියෙනවා. ඒත් කෝස් එකකින් විතරක් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න අමාරුයි. ඒකට තමන්ගේ ඇඟේම ඒ පිළිබඳ කැමැත්තක්, හැකියාවක්, උනන්දුවක් තියෙන්න ඕනේ. මොකද මේකත් කලාවක්. ඕනෑම කලාවකට හැකියාවක් නොතිබුණොත් මොන කෝස් කළත් වැඩක් නෑනේ. හැබැයි මම කියන්න ඕනේ සමහර අලුත් ළමයි ඉන්නවා ගොඩක් දක්ෂ. ඒ වගේ අය ඉන්න එක සතුටක්.

ෆැෂන් කරනවා කිව්වම ගොඩක් අය හිතන්නේ සංකර වෙනවා කියලා...

ඒ ඉතිං නොදැනුවත්කම. මොකද අපි ෆැෂන් කරනවා කියලා හිතන්නේ තොරොම්බල් එල්ලගෙන ඇඳුම් අඩුවෙන් අඳිනවා කියන එකනේ. ඒත් හරියටම ෆැෂන් කරන කෙනා තමන්ගේ ලස්සන මතුවෙන විදියට සරල විලාසිතා කරනවා. සරල විලාසිතා කළාම ඒක හැමදාටම පවතිනවා. ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර අය වැඩියෙන් සල්ලි වියදම් කරලා ෆැෂන් කරන්න ගිහින් තියෙන ලස්සනත් නැතිකර ගන්න වෙලාවල් තියෙනවා. තවත් සමහර අය අඩුවෙන් වියදම් කළත් ගැළපෙන විදියට විලාසිතා කරලා වැඩියෙන් කැපී පෙනෙන අවස්ථාත් තියෙනවා.

ෆැෂන් කියන්නේ මොකක්ද කියලා දැන් ඔබට වැටහෙනවා නේද? ෆැෂන් කරන්න නම් යම් දැනුමක් අවශ්‍යම බව දැන් ඔබට සිතෙනවා ඇති. එහෙම නම් අපි ඉදිරියේදී ෆැෂන් කරන්න අවශ්‍ය දැනුම සොයාගෙන යමු.

1095 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න