තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:37

විලාසිතා මන බඳිනා විලාසිතා විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
විලාසිතාවලට අප කවුරුත් පි‍්‍රයය. එම නිසාම නවතම විලාසිතාවන්ගෙන් සැරසීමට ගැහැනු පිරිමි කොයි කවුරුත් උත්සාහ දරති. මෙයින් බලාපොරොත්තු වන්නේ ආකර්ෂණයයි. ආකර්ෂණීය චරිතයක් වීමට නම් අනෙකුත් හැදියාවන් සේ ම යම් තරමකට විලාසිතා අනුගමනය කිරීම ද වැදගත්.

 

ඇතැම් අයට විලාසිතා කිරීමට සිදු වන්නේ කැමැත්තෙන් නොවේ. කඩ සාප්පුවල ඒ ඒ කාලයට ගැලපෙන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් පැලඳුම් පමණක් තිබේ නම් අකැමැත්තෙන් වුවද ඇතැම් පුද්ගලයන්ට විලාසිතා කිරීමට සිදු වේ. ඉන්පසුව ඒවා කොතරම් හොඳදැයි සිතා විලාසිතා කිරීමට පුරුදු වූවන් ද අප අතර සිටී.

එහෙත් වෙනත් රටවල් අපට වඩා විලාසිතා කිරීම අතින් සිටින්නේ පෙරමුණෙහිය. ඒ අතින් අප තවම සිටින්නේ පසුපසිනි. කෙසේ වෙතත් උත්සව අවස්ථාවන්හි දී මෙන්ම එදිනෙදා ජීවිතයේ දී ද අප බොහෝ විට විලාසිතා අනුගමනය කරන බව නම් සත්‍යයකි.

සමහර පුද්ගලයන් විලාසිතා කිරීම කිසිදු දැනුවත් බවක් නොමැතිව කිරීම නිසා එය ලස්සනට වඩා මතු කරන්නේ අවලස්සනකි. ඇතැම් විට එය නොගැළපෙන්නක් විය හැකියි. කාලයට නොගැළපෙන ලෙසින් කුමන හෝ විලාසිතාවක් කිරීම ෆැෂන් යැයි සිතන අය ද අප අතර නැතුවාම නෙමෙයි.

අද වන විටත් විලාසිතා ලෝකයේ ජනපි‍්‍රයම රෙදි වර්ගය වී ඇත්තේ ලේස් රෙදි ය. ලේස්වල විවිධ වූ ප්‍රභේදයන් තිබේ. මේවායෙහි වර්ග අනුව මිල ගණන්වල ද වෙනස්කම් සිදු වේ. බ්‍රයිඩ්ල් ලේස් බොහෝ විට ගැනෙන්නේ මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේදීයි. අමෙලියා ස්ට්‍රෙච් ලේස්, නයිලෝන් ලේස්, රික්රැක් ලේස්, බීඩඩ් ලේස්, සැටින් ලේස්, ෆ්‍රෙන්ච් ලේස්, චිෆොන් ලේස් යනාදී ලෙසින් ලේස් වර්ග බොහොමයක් වෙළෙඳපොළේ වේ.

පබළු ඇල්ලූ බැංකොක් ලේස් ද මේ වන විට උත්සව අවස්ථාවන් සඳහා ඇඳුම් නිර්මාණය කිරීමේ දී වැඩි ලස්සනක් ගෙන දීමට සමත් වන ලේස් විශේෂයකි.

තරමක් මිල අධික ලේස්වලින් වුවත් ඔබට අවශ්‍ය ආකාරයේ මෝස්තරයක් සකසා ගැනීමට නම් ලේස් කැබැල්ලක් පමණක් මිල දී ගෙන වෙනත් රෙද්දක් හා මිශ්‍රකර මෝස්තරයක් සකසා ගත හැකියි. එහෙත් ජිපියෝ ලේස් දැන් විලාසිතාවල පරණ මෝස්තරවලට එක් වී තිබෙන නිසා ඒවාට ඇති ඉල්ලුම ද අඩුය. එමෙන්ම වැලන්ටිනෝ වැනි කඩා හැලෙන ස්වභාවක් ඇති රෙදිවලින් කළ ඇඳුම් ද මේ වන විට විලාසිතා ලෝකයේ ජනපි‍්‍රය වී තිබේ.

කාර්යාලීය ඇඳුම් පැලඳුම් ලෙස මේ වන විට කපු ඇඳුම් විලාසිතා, ලිනන් විලාසිතා බැහැරට යමින් පවතී. ඒ වෙනුවට ජෝජට් වැනි කඩා හැලෙන රෙදිවලින් කළ ඇඳුම්, සරල විලාසිතාවන්ට අනුව සැකසූ ඇඳුම් ජනපි‍්‍රය වී තිබේ. සරල, ළා පැහැති ඇඳුම් විලාසිතා යුරෝපයේ මෙන්ම කොරියාව, තායිලන්තය වැනි රටවල ද වැඩි වශයෙන් භාවිත කරයි.

මේ සෑම විලාසිතාවකට ම ගැළපෙන ලෙසින් පාවහන්, අත්බෑග්, ආභරණ ආදිය ගළපා ගැනීම ද කළ යුතු වේ. නැතිනම් ඇඳුම පමණක් අලුත් ම විලාසිතාවට ඇඳීමෙන් ඔබට නව පෙනුමක් ලබා ගැනීමට කොහෙත්ම නොහැකියි. ඇතැම් කාන්තාවන් අලුත් විලාසිතාවට ඇඳුමක් මිල දී ගත්තත් එයට පාවහන්, හෑන්ඩ් බෑග් ගලපා නොගෙන තමාගේ ළඟ තිබෙන ඒවා ම භාවිතයට ගනියි. එවැනි විටෙක මේ විලාසිතා එකකට එකක් නොගැළපෙන ලෙසින් දිස්වීම නිසා ඔබ අපේක්ෂා කරන ලස්සන වෙනුවට අවලස්සනක් මතු වී පෙනෙවා නිසැකයි.

එමෙන්ම එවැනි විටෙක ඔබේ ඇති විලාසිතා පිළිබඳ වන අඩු දැනුම ද සමාජයට ප්‍රදර්ශනය කරන්නක් ම වේවි. මේ නිසා ඔබට ගැළපෙන ලෙසින් විලාසිතා කළ නොහැකි නම් කළ යුත්තේ ඉතාමත් චාම්, සරල විලාසිතා අනුගමනය කිරීමයි.

   

උපදෙස් - ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී

නිල්හාන් සෙනෙවිරත්න

259 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 14:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න