තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 ජනවාරි 22, සඳුදා 14:54

කැපීපෙනෙන්නට කියා වයසට නොගැළපෙන විලාසිතා කරන්න එපා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
      තරුණ වියෙන් පසුව මැදි වයසටත් මැදි වයසෙන් පසුව ජීවිතේ සැඳෑ සමයටත් ළඟා වන බව අප කවුරුත් දන්නවා. අප මෙම අවධින්ට මුහුණ දිය යුතු වන්නේ අපේ ජීවිතවලට වටිනාකමක් එක්වන ආකාරයටයි. නමුත් අද බොහෝ විට මේ පිළිබඳව දක්වන අඩු අවධානය නිසා තමාගේ වයසට තරාතිරමට අනුව නොගැළපෙන විලාසිතාවන් අනුකරණය කරන්නට යාමෙන් තමන්ගේ ගෞරවනීය බවට හානිකරගනිමින් සමාජයේ විවේචනයට උපහාසයට ලක්වන කාන්තාවන් ද බොහෝමයි.

 

තරුණ වියේදී අප විලාසිතා කෙරෙහි දැඩි කැමැත්තක් උනන්දුවක් දක්වනවා. මැදිවියට පත් වූ පසු විලාසිතා කෙරෙහි උනන්දුවීම වරදක් නොවෙයි. විලාසිතා කළ යුතුයි. නමුත් මෙහිදී තමන්ට ගැළපෙන දේ තමන්ට සුදුසු දේ මෙන්ම වයසට උචිත දේ තෝරාගන්නට කාන්තාවන් වශයෙන් ඔබගේ අවධානය යොමුවිය යුතුයි. හේතුව වැඩිහිටි අයෙකු වන ඔබ හැමවිටම අන් අයට ආදර්ශවත් චරිතයක් විය යුතු නිසයි. ඔබ තරුණ විය ඉක්මවමින් සිටින කාන්තාවක් නම් මැදිවියට එළඹී සිටින අයෙක් නම් ඔබේ ජීවිතයට වටිනාකමක් ගෙන දෙන අයුරින් ගෞරවනීය බව රැකෙන අයුරින් විලාසිතා තෝරාගත යුත්තේ කෙසේද යන්න විමසා බලමු.

මැදිවියේදි බොහෝ කාන්තාවන් සිරුරෙන් පිරිපුන් බවක් දක්වනවා. මෙහිදී තමන්ගේ සිරුර සිහින් කර ගන්නට තද හෝ එසේත් නැත්නම් ලිහිල් බවින් යුත් ඇඳුම් තෝරා ගන්නට ඇතැම් කාන්තාවන් පෙලඹෙනවා. මෙය වැරැදි උත්සාහයක් බව සඳහන් කළ යුතුයි. මෙහිදී වඩාත් සුදුසුවන්නේ ඉණ උකුල ආදී සිරුරේ හැඩැති අංග ඉස්මතුවන ආකාරයට සිරුරේ හැඩයට මසන ලද ඇඳුම් තෝරා ගන්නට සැලකිලිමත් වීමයි.

එමෙන්ම මැදිවියේ පසුවන කාන්තාවක් වන ඔබ කිසිවිටෙකත් දණහිස මට්ටමට වඩා කෙටි වූ ඇඳුම් තෝරා ගැනීම අත් නිරාවරණය වන ආකාරයේ ඇඳුම් තෝරා ගැනීම සුදුසු වන්නේ නෑ. එවිට අත්වල මහත් බව, මස්පිඩු එල්ලා වැටීම ආදිය ඉස්මතු වී පෙනෙන්නට පුළුවන්. සමහර කාන්තාවන් මැදිවියේ පසුවුවත් සිරුරේ සිහින් බවක් දක්වනවා. එවන් අය ඇතැම් විට ළාබාල වියේ පසුවන යුවතියන්ට ගැළපෙන ඇඳුම් තෝරාගන්න අවස්ථාවන් තිබෙනවා. මෙය කිසිසේත්ම සුදුසු වූවක් නොවෙයි. ඉන් සිදු වන්නේ ඔබගේ වයස්ගත පෙනුම වඩාත් මතුවී පෙනීමයි.

සාමාන්‍ය ගමන් බිමන් සඳහා සාය හෝ කාන්තා කලිසම සමඟ ටී ෂර්ට් ඇඳීමට ප්‍රියකරන කාන්තාවන් සිටිනවා. ඇත්ත වශයෙන්ම මෙය කාන්තා ඔබට ගැළපෙන එමෙන්ම සිරුරට පහසුව ගෙනදෙන ආකාරයේ ඇඳුමක්. නමුත් ඇතැම් කාන්තාවන් මෙහිදි නොසිතන පැත්තක් තිබෙනවා. එනම් විලාසිතාව ගැන පමණක් සිතා තමන්ට කිසිසේත්ම නොගැළපෙන තාරුණ්‍යයේ පසුවන යුවතියන්ට පමණක් උචිතවන ටී ෂර්ට් ඇඳීමයි. බොහෝවිට මෙවන් වැකි දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මෙම වැකිවල හාස්‍යජනක මෙන්ම අසභ්‍ය තේරුම් ඇති ඒවාද තිබෙනවා.

ඔබ වැනි මැදිවියේ අයෙක් මෙවන් ටී ෂර්ට් ඇඳගෙන ගියහොත් සිදුවන්නේ ඔබ අන් අය ඉදිරියේ උපහාසයට ලක්වීමයි. ඉන් ඔබ ඔබේ ගෞරවනීය බවට හානියක් සිදුකරගන්නවා. එම නිසා යම් යම් වැකි සහිත ටී ෂර්ට් තෝරා ගන්නා විට ඒවායේ අර්ථය ගැන විමසිලිමත්වන්න. එවන් ටී ෂර්ට්වලින් සැරසී සමාජය ඉදිරියට නොයාමට වගබලා ගන්න. හැමවිටම තම වයසට ගැළපෙන මෝස්තරයක් සහිත හෝ තනි වර්ණයෙන් යුත් චාම් පෙනුමක් ඇති ටී ෂර්ට් තොරාගන්න.

විශේෂයෙන් ඇඳුම් විලාසිතා තෝරා ගැන්මේදී ඇඳුම්වල වර්ණ ගැනත් ඔබට සිතන්නට වෙනවා. රතු, කහ, නිල් වැනි දීප්තිමත් වර්ණ තෝරාගන්නට එපා. එම වර්ණ ඔබේ වයසට අනුව සුදුසුවන්නේ නෑ. පැස්ටල් වර්ණ ඔබට වැඩි අලංකාරයක් ගෙන දෙනවා. ඉහත කී ආකාරයේ රතු, නිල්, කහ වැනි වර්ණ තෝරා ගන්නවා නම් එම වර්ණ අඳුරු පැහැයට හුරුව යන ආකාරයේ පවතින වර්ණ තෝරා ගැන්ම සුදුසුයි.

එසේම ආභරණ තෝරා ගන්නා විටත් එය සාප්පුවල තිබූ පමණින්, අන් අය එය තෝරා ගන්නා පමණින් මෙන්ම නොගැළපෙන දේ ගැළපෙනවා යැයි සිතා තෝරාගන්නට එපා. තඹ, පිත්තල, රිදී වැනි ලෝහමය පබළු යෙදූ මාල ඔබට වඩාත් හොඳ පෙනුමක් ගෙන දේවි.

හෑන්ඩ්බෑග් තෝරා ගන්නා විට පරණ පෙනුමෙන් යුත් යල් පැනගිය ආකාරයේ බෑග් පාවිච්චි කිරීමෙන් ඔබගේ වයස්ගත පෙනුම තවත් මතුවී පෙනෙන්නට පුළුවන්. ප්‍රමාණයෙන් තරමක් විශාල බෑගයක් තෝරාගැන්ම සුදුසුයි.

තොල් ආලේපන තෝරා ගන්නා විට හැමවිටම ළා වර්ණ තෝරා ගන්න. ඇහිබැමි සඳහා කළුපාට වෙනුවට කළුපාටට හුරු තද දුඹුරු පාට ගැල්වීම වඩාත් සුදුසුයි. ඇහිබැමිවලට වඩාත් තද කළු පැහැයෙන් ගැල්වීමෙන් සහ ඇහිබැමි වඩාත් තදට ඇඳීමෙන් මැදිවියේ පසුවන කාන්තාවක් වන ඔබේ පෙනුමට රෞද්‍ර පෙනුමක් කෘත්‍රිම පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. ඇහිබැමි හැඩ කරගැන්මේදී වුවද ඔබේ පෙනුමට උචිත ආකාරයෙන් එය හැඩකර ගන්න.

කොණ්ඩ මෝස්තර යෙදීමේදී වුවද තරුණියෙක් යොදන නවීනතම කොණ්ඩා මෝස්තර තෝරා ගන්නට එපා.

හොයාකට් විලාසිතා වුවත් ඔබ කළ යුත්තේ ඔබේ වයසට ඔබේ පෙනුමට ගැළපෙන ඒවායි. හේතුව ඔබේ වයසත් සමඟ ඔබට නොගැළපෙන දේ ඔබ සිටින වයසට වඩා වැඩි වයස්ගත පෙනුමක් දැක්වීමයි. මේ නිසා ඉතා චාම් ලෙස කොණ්ඩ මෝස්තර තෝරාගන්න.

මැදිවියේ පසුවන කාන්තාවක් පෙනුමෙන් ප්‍රසන්නව සිටීම තුළින් තමන්ට ගැළපෙන විලාසිතා පමණක් තෝරා ගැන්ම තුළින් ඉතා වැදගත් පෙනුමක් ගෞරවනීය ස්වරූපයක් ඔබ වෙතින් දිස්වේවි. හැමවිටම ඇඳුමෙන් පැළඳුමෙන් හැසිරීමෙන් ඔබේ ගෞරවනීය බව රැකගෙන කටයුතු කිරීමෙන් මැදිවියේ පසුවන ඔබේ ජීවිතයට වැඩි වටිනාකමක් ලබාගන්නට ඔබට හැකිවේවි.

359 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 22, සඳුදා 14:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න