තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 ජූනි 04, සඳුදා 15:43

පැච්පොයින්ට් සාරියට බොත්තම්වලින් ගෙත්තම් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
මේ වන විට පැච්පොයින්ට් මෝස්තර නිර්මාණයේදී අනුගමනය කෙරෙන සුවිශේෂි ක්‍රම පිළිබඳව කිසියම් ආකාරයක දැනුවත් බවක් ඔබ ලබන්නට ඇති.

 

පැච්පොයින්ට් කලාවේ දී අප හැම විටම උත්සාහ කළයුත්තේ ඒකාකාරී රාමුවකට කොටුනොවී මෝස්තර නිර්මාණය කිරීමටයි. එම නිසා නිර්මාණයෙන් නිර්මාණයට විවිධත්වයක් එක්කරලීම ඉතාමත් වැදගත්.

මෙම පැච්පොයින්ට් සාරි නිර්මාණය ද එයට හොඳ උදාහරණයක්. එම වෙනස කුමක්දැයි වටහාගන්නට උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් අප බොත්තම් යොදාගනු ලබන්නේ විවිධ ඇඳුම් නිර්මාණය කරන විටදීයි. නමුත් මෙහි ඔබ දකින්නේ බොත්තම් යොදාගනිමින් පැච්පොයින්ට් මෝස්තරයට විවිධත්වයක් එක්කර තිබෙන ආකාරයයි.

මේ සඳහා බොත්තම් යොදාගැනීමේ දී කලාත්මක බවින් යුත්, එය ඇස ගැටුණු පමණින් බොත්තම් ලෙස හඳුනාගත නොහැකි ආකාරයේ බොත්තම් තෝරා ගැනීමට අප සැලකිලිමත් විය යුතුයි.

මෙම සාරිය වර්ණ දෙකකින් යුක්තයි. ළා කොළ පැහැය සහ තද අළු පැහැය යන වර්ණ දෙක මෙම සාරිය සඳහා යොදාගෙන තිබෙනවා. මෙහි මෝස්තර නිර්මාණය කිරීමට අඹ ගෙඩි හැඩය, අඩ කව කොටසක් සහ වෘත්තාකාර හැඩයක් වැනි හැඩතල භාවිතකර තිබෙයි. මෙම හැඩතල යොදාගත යුතු ආකාරය පිළිබඳව මෙහි ඡායාරූපය දෙස බැලීමේ දී ඔබට වටහාගත හැකිවේවි. සාරි පොටෙහි ළා කොළ පැහැය සහිත කොටසෙහි අඩකවය වන් කොටස වර්ණ තුනකින් නිර්මාණය වී තිබෙයි. තැඹිලි, දුඹුරු, අළු යන වර්ණ තුන යොදාගනිමින් අඩ කවය හැඩයට පටි කොටස් අලවා එහි මැදට ගැළපෙන ලෙස එක් කොටසකට කජු ගෙඩියක ආකාරය ගත් මෝස්තරය ද තවත් එක් කොටසක මැද නූලෙන් පමණක් කොයිල් මෝස්තරය ද යොදා තිබෙයි. එම පටි කොටස අතර පරතරය තුළ කළු පාටින් ස්කැලප් බෝඩරයක් සහ මල් පෙති හැඩයේ කොටස් අලවා ඒ මැදට කුඩා බොත්තමක් තබා මසා තිබෙයි. අතරින් පතර අළු පාට, තැඹිලි පාට, කළු පාට, දුඹුරු පාට යන වර්ණවලින් අඹ ගෙඩියක හැඩගත් හැඩතල අලවා තිබෙයි.

සාරියේ මැදට තරමක් ලොකු වෘත්තාකාර හැඩයක් නිර්මාණයකර ඇති අතර කොළ, දුඹුරු, තැඹිලි යන පාටවලින් වෘත්තාකාර කොටස් අලවා ඒ මත විවිධ හැඩතල නිර්මාණයකර ඇත. එය අලංකාරකර ගැනීමට කුඩා බොත්තම් යොදාගනිමින් සාරියට කලාත්මක බවක් සහ අලුත් පෙනුමක් ඉස්මතු කරලීමට උත්සාකර ඇති අයුරු බලන්න.

මෙම වර්ණ යොදාගෙන ඇති ආකාරයෙන් සාරි නිර්මාණය සඳහා යොදාගෙන තිබෙන වෘත්තාකාර හැඩතලය අඩකවයක් හැඩයට ගෙන නිර්මාණයකර තිබීමත් මෙහි විශේෂත්වයකි.

 

 

 

 

 

ඡායා - නුවන් සමාධි

1654 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 15:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න