තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මංගල චොකලට් සිරස්තල

2018 පෙබරවාරි 12, සඳුදා 11:50

44 වැනි ලිය අභිමනී රූපලාවණ්‍ය වැඩමුළුවට ඔබත් එන්න 18 වැනිදා කුරුණෑගලට... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
පෙබරවාරි 18 ලිය අභිමානි සමඟින් එන්න කුරුණෑගලට අපිත් එක්ක මේ ආරාධනාව හැමෝටම. ඒ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකරගෙන්. ලංකාට මේ දවස්වල විවේකයක් ඇත්තෙම නෑ. ඒ තරමටම ඇය කාර්යය බහුලවෙලා. ඇය අප හා කතා බහට එක්වුණෙත් මේ දහසකුත් එකක් වූ වැඩකටයුතු අතරතුරේදියි.

 

මොකද ඇත්තටම ලංකා මේ තරමටම කාර්යයබහුල වෙලා ?

පෙබරවාරි 18 වැනිදා පැවැත්වෙන ලිය අභිමානී වැඩමුළුවට අපි සූදානම් වෙනවා. ඉතින් මේ දවස්වල විවේකයක් නැති තරමටම වැඩ.

ඔබ පසුගිය කාලවකවානුවලදීත් ලිය අභිමානී දිගටම පැවැත්වූවා නේද?

ඔව්, ඒ හැම වැඩමුළුවක්ම හුඟාක් සාර්ථක වුණා. ලිය අභිමානී තුළින් අපේ කාන්තාවන්ට ඉතාමත් හොඳ දැනුමක් ලබාදුන්නා. ලැබුණ ප්‍රතිචාරත් අතිවිශාලයි. අපි මෙවර පවත්වන්නේ 44 වන ලිය අභිමානී වැඩමුළුවයි.

මෙවර ලිය අභිමානී පැවැත්වෙන්නේ කොහේ ද? ඒ කවදාද?

පෙබරවාරි 18 වැනිදා කුරුණෑගල  YMBA  ශාලාවේදී උදේ 9.00-4.00 දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනවා. මෙය නොමිලයේ පැවැත්වීමට අප කටයුතු සූදානම්කර තිබෙනවා.

දිවයින පුරා විසිරී පැතිරී සිටින සියලුම කාන්තාවන් ඒකරාශී කරගනිමින් පැවැත්වෙන ලිය අභිමානී වැඩමුළුව සඳහා වයස් භේදයකින් තොරව සියලුම දෙනාට සහභාගී විය හැකි පරිදි මෙය සංවිධානය කරතිබීම ද විශේෂත්වයක්.

ලිය අභිමානී වෙනුවෙන් මෙවර ඇතුළත් කෙරෙන විශේෂ අංග මොනවාද? එය මොන ආකාරයෙන් ද ඔබ සැලසුම් කොට තිබෙන්නේ ?

මෙහිදී අපි පැමිණෙන අයට දැනුම විනෝදය සමඟින් එක්විය හැකි වැඩසටහන් රැසක්ම ඇතුළත් කොට තිබෙනවා.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ මනාලියන් දැක්මක් ඇතුළත් වෙනවා. මනාලියන් ක්‍රමානුකූලව හැඩගන්වන ආකාරය මෙහිදී ඉදිරිපත් කරනවා.

මේ හැරෙන්නට, හෙයාර් කට්, හෙයාර් කලර්, මේක් අප්, ෆේෂල් ක්‍රම, අත්කම් සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට වඩාත් වැදගත්වන පෞරුෂ සංවර්ධන නායකත්ව පුහුණුවද මෙයට ඇතුළත්වනවා.

මනාලියන් හැඩගන්වන විවෘත තරගයක් මෙයට ඇතුළත් කොට තිබෙනවා නේද?

ඔව්. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. මෙම තරගයෙන් තමන්ගේ දක්ෂතා මතුකර දක්වන්නට අවස්ථාව උදාවනවා. මෙහිදී ජයග්‍රහණය ලබන අයට වටිනා ත්‍යාග සහ සහතික පත් දිනාගන්නට ද අවස්ථාව තිබෙනවා. ඒ හැරුණු කොට මෙම තරගයෙන් ජයග්‍රහණය ලබන ප්‍රථම, දෙවන ස්ථාන සඳහා අවුරුද්දක් පුරාවට තරුණී පුවත්පත නොමිලයේ ලබාදීමත් සිදුවනවා. මේ කර්තව්‍ය නොකඩවා ඉදිරියේදී පැවැත්වෙන වැඩමුළුවලට සහභාගී වන පිරිසට ද ලැබෙනවා. මෙම තරගය සඳහා සහභාගී වන අය ඒ සඳහා කලින් ලියාපදිංචි වෙන්නට ඕන.

0777449149 අංකයට කතාකිරීමෙන් ලියාපදිංචි වන්නට පුළුවන්.

මේ හැරෙන්නට ඔවුන්ට ඉදිරිපත් වියහැකි අනෙකුත් තරග අවස්ථා මොනවා ද?

ඔව්. මෙහිදී තරුණී ලස්සන කුමරිය තේරීමේ තරගයක් ද තිබෙනවා. මේ වනවිටත් ඒ සඳහා තරගකාරියන් වැඩි පිරිසක් ඉදිරිපත් වී සිටිනවා.

තරුණී ලස්සන කුමරිය ලෙස ජයග්‍රහණය කළහොත් මොනවාද ඒ අයට ලැබෙන වරප්‍රසාද?

ලස්සන කුමරිය ලෙස 1 වැනි, 2 වැනි, 3 වැනි ස්ථාන හිමිකර ගන්නා යුවතියන්ට වටිනා තෑගි හිමිකර ගන්නටත්, ඒ වගේම තරුණී මුල් පිටුව හැඩකරන්නටත් අවස්ථාව ලැබෙනවා. මෙම සුවිශේෂී අවස්ථාව හිමිවන්නේ ලිය අභිමානී තුළින් පමණයි. කුරුණෑගල පුරවරයේ ලස්සන යුවතියන්ට ලස්සන කුමරිය වෙන්නට මෙය කදිම අවස්ථාවක් වේවි.

මෙයින් පසුව තවත් ප්‍රදේශවලටත් ලිය අභිමානී රැගෙන යන්නට ද බලාපොරොත්තුව?

ඇත්තෙන්ම ඔව්. මීගමුව, නුවර, කිරිබත්ගොඩ, අනුරාධපුර සහ අම්පාර යන දිවයිනේ විවිධ ප්‍රදේශවලටත් ලිය අභිමානී රැගෙන යන්නට කටයුතු සූදානම් කොට තිබෙනවා.

ලිය අභිමානී සඳහා ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද?

අති විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා.

එවන් ප්‍රතිචාරයක් ලිය අභිමානී සඳහා ලැබීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ?

ඇත්තටම වැඩමුළු කියන දේ නමට විතරක් පවත්වලා වැඩක් නෑ. මේ හරහා කාන්තාවන්ට හොඳ දැනුමක්, අවබෝධයක් මෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමුවීමට සිටින, ඒ පිළිබඳව දැනුම ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා නිවැරැදි මඟ පෙන්වීමක් කරන්නට ඕන. මෙවන් වැඩමුළු සඳහා සහභාගීවීමේ අගය වටිනාකම මේ අයට දැනෙන්නට ඕන.

අප නිතරම ලිය අභිමානී තුළින් උත්සාහ කරන්නේ කාන්තාවන් එවන් දැනුම් සම්භාරයකින් පෝෂණය කරන්නටයි. අන්න ඒ නිසයි ලිය අභිමානී සමඟින් මෙතරම් පිරිසක් එක්වන්නේ.

මෙතරම් සාර්ථක වැඩමුළුවක් පැවැත්වීම සඳහා අපට අනුග්‍රාහකත්වය දක්වන්නේ ඩ්‍රීම්රෝන් (DREAMRON) සහ කොස්මික් කොස්මෙටික්ස් (KOSMIC COSMETICS)  ආයතන විසිනි. ඒ අය අපට දක්වන අනුග්‍රාහකත්වය මිල කරන්නට බැහැ.

මෙවර ලිය අභිමානී මෙහෙයවනු ලබන්නේ ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී කුසුම්සිරි ජයවීර, ලංකා කුමාරි සුමනසේකර, රුවන් චම්පික සහ සෆ්රාස් යන දිවයිනේ ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පීන් විසිනි. රූපලාවණ්‍ය පිළිබඳව ඉතාමත් අගනා දැනුම් සම්භාරයක් මෙවර ලිය අභිමානී තුළින් ලබාදීමට මෙම ප්‍රවීණයින් සූදානමින් සිටී. හෙට ලොව දිනන තරුණ තරුණියන්ට දැනුම, සතුට, විනෝදය සමඟ තමන්ගේ දක්ෂතාවයන් ඔප්නංවා ගැනීමට මෙවර ලිය අභිමානී වඩාත් හොඳ අත්වැලක් වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි. එම අරමුණ පෙරදැරි කරගනිමින් ලංකා කුමාරි සහ කුසුම්සිරි ජයවීර ඇතුළු රූපලාවණ්‍ය ශිල්පීන් සමඟින් පෙබරවාරි 18 වන දින කුරුණෑගල YMBA ශාලාවේ පැවැත්වෙන ලිය අභිමානී සමඟ එක්වන ලෙසට ඔවුන් ඔබට ඇරයුම් කරයි.

 

 

 

323 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 12, සඳුදා 11:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න