තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මංගල චොකලට් සිරස්තල

2018 පෙබරවාරි 13, අඟහරුවාදා 11:14

රස වෑහෙන රස කෑම විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
Velentine Delight වැලන්ටයින් ඩිලයිට් ෆුඩ්ස්

 

ආදර හැඟුමින් මුසපත් වූ යෞවන යෞවනියන්ට, පෙම්වතුන් ලෙස ඔවුන්ගේ ලෝකයේ රිසි සේ සරන්නට වෙන්වූ දිනය උදාවෙලා. මේ දවසේ නියම අරුත වටහාගෙන එකිනෙකා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකින් ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සමරන්නේ නම්...

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්ම වූ සුවිශේෂී කෑම වට්ටෝරු පෙළකින් සැදුම්ලත් මෙම අතිරේකය අලුත විවාහ වූ යුවළට මෙන්ම හැමදාමත් සවිමත් ආදර බැම්මක් තනාගත් විවාහක යුවළට නිවෙසේ දී පිළියෙල කරගත හැකි එකකි.

ආදරවන්තයින්ගේ දිනය රතු රෝස පැහැයන් සඳහා මුල් තැනක් ලබා දේ. එබැවින් අතුරුපස වර්ග ඇතුළු ස්විට්ස් වර්ග බොහොමයක් නිමවන්නේ රතු රෝස පැහැයන්ගෙනි. විවිධ වෙබ් අඩවිවලට අමතමින් ස්විට්ස් වර්ග ඇණවුම් කරන ඔබට නිවෙසේදීම මේවා පිළියෙල කරගන්නට ඇත්නම්...

විවිධ රටවලට ආවේණික වූ විවිධ කෑම වර්ග මේ යටතට අයත් වේ. ඔබදන්නා හඳුනන මින් පෙර ඔබ අතින් පිළියෙල වුණු කෑම වට්ටෝරු ද මෙහි සඳහන්ව තිබෙන්නට පුළුවනි.

පෙම්වතුන්, අඹුසැමියන් ලෙස ඔබ ආදරයෙන් වෙළෙන ආදරවන්තයින්ගේ දිනයේ දී මේ කෑම වර්ගත් ආදරයෙන් වැලඳගෙන බලන්නකෝ. වෙනස්ම අත්දැකීමක් ළඟා කරදේවි දැයි කියා.

උපදෙස් - ප්‍රවීණ සූපවේදි

රුක්ෂාන් ඉද්දමල්ගොඩ

 කුකී ෆැන්ටසි විත් ජෑම්

ස්ට්‍රෝබෙරි ජෑම්වලින් මවන ඉමිහිරි මතකය කවදාවත්ම අමතක වන්නේ නැහැ. දිව පිනවන ඒ රසය මතකයට ගෙන කුකි ෆැන්ටසි විත් ජෑම් පිළියෙල කරමු.

 

 අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 250 යි

බටර් හෝ මාගරින්

ග්‍රෑම් 125 යි

සීනි ග්‍රෑම් 70 යි

බිත්තර කහමද 2 යි

දෙහි ගෙඩියක

පොත්ත (ගාගෙන)

ස්ට්‍රෝබෙරි ජෑම්

ලුණු ස්වල්පයක්

 පිළියෙල කරන අන්දම

ස්ට්‍රෝබෙරි ජෑම් හැර අනෙක් සියලුම දේ මිශ්‍රකර මෝලියක් සාදා පැයක් පමණ පිරිසුදු භාජනයකට දමා තෙත රෙද්දකින් වසා තබන්න.

පසුව පිටි ස්වල්පයක් ඉස සෙන්ටිමීටර් 1 ක ඝණකමට සිටින සේ රෝල් පින් එකක ආධාරයෙන් තුනී කරගන්න. කුකීස් කපා ගන්නේ හදවතක හැඩයකටයි. ආදරවන්තයින්ගේ දිනයට හදවතක හැඩයට මුල්තැන ලැබෙන නිසා එය තෝරා ගනියි. කුඩා දරුවකුගේ උත්සව අවස්ථාවක් වැනි දෙයකට නම් ඔබට වෙනත් විකල්ප හැඩයක් කරා යාහැකියි. කපාගත් බිස්කට්වල භාගයේ මැද කොටසේ නැවත හදවතක හැඩයට කොටසක් ඉවත් කරන්න. තැටියකට තෙල් කඩදාසියක් දමා තැටිය අංශක 180 ක උෂ්ණත්වයේ විනාඩි 10 - 12 කාලය තුළ පුළුස්සා ගන්න.

නිවෙන්නට හැර ජෑම් ඇතිරූ බිස්කට් නැතිනම් කුකිස් සැන්ඩ්විච් කරගන්න.

********************************

ආදරවන්තයාට ස්ට්‍රෝබෙරි සීනි දැවටුම

 

පෙම්වතෙකුට පෙම්වතියගේ නිවෙසට ආදරවන්තයන්ගේ දිනයේ දී ඇරියුම් කොට ඇගේම අතින් නිමැවුණු කෑම වේලක, අතුරුපසක රස බලන්නට ඇත්නම්...

තාරුණ්‍යයේ එළිපත්තේ සිටින යුවතියන් මවට මුළුතැන්ගෙයි කටයුතුවලට සහය වනු වෙනුවට මෙවැනි විසිතුරු කෑමබීම සෑදීමට රුචිකත්වයක් දක්වයි. මේ එවැනි යුවතියක සඳහා වූ කෑම වට්ටෝරුවකි.

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 500 ක්

අයිසින් සීනි ග්‍රෑම් 400 ක්

බිත්තර එකක සුදුමද

කප් කේක් දවටන

 

සාදන අන්දම

පිරිසුදු වීදුරු භාජනයකට බිත්තර සුදුමදය දමා කැට නොමැති අයිසින් සීනි ටිකෙන් ටික එකතුකර විස්ක් එකක ආධාරයෙන් ඝණ, ද්‍රව තත්ත්වයට සාදාගන්න.

එයට පිරිසුදු කරගත් ස්ට්‍රෝබෙරිවල පහළ කොටස පොඟවා කප් එකක ඇතුළත රඳවා ගන්න. මෙය ආදරවන්තයාට ආදරණීය හැගුමින් පිළිගැන්විය හැකි කප් එකකි.

 

********************************

 

ක්‍රීම් සමඟ ස්ට්‍රෝබෙරි ස්විස් රෝල්

 

ආදරවන්තයිනුත්, ස්ට්‍රෝබෙරිත් අතර මොකක්දෝ සම්බන්ධයක් තියනවාදෝ කියලත් හැඟෙනවා.

ස්ට්‍රෝබෙරි ගෙඩියේ රතු පැහැයත් සියල්ල පරයා දිවෙන රසයත් ආදර ලෝකයක අතරමං වීමක්ම කියලයි හිතෙන්නේ. ක්‍රීම් සමඟ ස්ට්‍රෝබෙරි එක්කොට තැනූ ස්විස් රෝල් රසයේ මිහිරියාවයි මේ.

 

ස්විස් රෝල් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 100 ක්

සීනි ග්‍රෑම් 110 ක්

බිත්තර 3 ක්

බටර් හෝ මාගරින් ග්‍රෑම් 30 ක්

වැනිලා මේස හැඳි 1 ක්

 

ස්විස් රෝල් එකේ මැදට දමන ද්‍රාවණය සාදා ගන්නට අවශ්‍යවන්නේ

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 210 ක්

සීනි ග්‍රෑම් 100 ක්

දෙහි ගෙඩියක යුෂ

මැද පිරවීම සඳහා ක්‍රීම් එක සාදා ගැනීමට අවශ්‍ය වන්නේ

කිරි මිලිලීටර් 250 ක්

සීනි ග්‍රෑම් 70 ක්

ජෙලටින් ස්වල්පයක්

කහමද 3 ක්

කොන්පිටි මේස හැඳි 1 ක්

වැනිලා මේස හැඳි 1 ක්

විපිං ක්‍රීම් මිලිලීටර් 250 ක්

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 250 ක්

 

පළමුව ස්විස් රෝල් එක සාදමු

අඟල් 10 ය 10 තැටියකට තෙල් කඩදාසි දමා පැත්තකින් තබන්න. අවන් එක සෙල්සියස් අංශක 180 ට රත්කරන්න. පිටි, සීනි, බිත්තර, බටර්, වැනිලා දමා මිශ්‍රණය බීටර් එකක ආධාරයෙන් හොඳින් මිශ්‍රකර තැටියකට දමා වායු බුබුළු නැතිවීමට මේසයට තට්ටුකර අවන් එකට දමන්න. ස්විස් රෝල් එක පුළුස්සා ගැනීමට ගතවනුයේ විනාඩි 12 ක පමණ කාලයකි.

ස්විස් රෝල් එක අවන් එකේ තිබියදී පිරවුමට අවශ්‍ය ස්ට්‍රෝබෙරි තලපය සාදා ගැනීමට එම ද්‍රව්‍ය සියලු දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

ස්විස් රෝල් එක අවන් එකෙන් පිටතට ගෙන මද රස්නය තිබෙන විටදීම රෝල් කර එම තෙල් කඩදාසියේම ඔතා පැය 1/2 ක් පමණ අධි ශීතකරණයේ තබන්න.

පිටතට ගෙන ස්ට්‍රෝබෙරි තලපය හැන්දක් ආධාරයෙන් ස්විස් රෝල් එකෙහි ආලේප කොට නැවත ඔතා ශීතකරණයේ තබන්න. සුදුසු භාජනයක් ලෙස කැබලි කපා ගත් ස්විස් රෝල් කැබලි පසෙකින් අතුරා තබන්න.

ක්‍රීම් එක සාදා ගැනීමට ප්‍රථම ජෙලටින් ටික කිරි අඬු කෝප්ප 1/2 ක පොඟවා පැත්තකින් තබන්න.

සීනි සහ බිත්තර කහමද හොඳින් ක්‍රීම් එකක්වනතුරු ගසා එයට ඉතිරි කිරි සහ වැනිලා, කොන්පිටි එකතු කොට ළිප තබා හැඳිගාමින් ජෙලටින් එකතු කරන්න.

මෙම ද්‍රාවණය ඝණ ද්‍රාවමය තත්ත්වයේ තිබිය යුතුයි. පසුව ගසාගත් විපිං ක්‍රීම් එකට නිවුණු මෙම ඝණ ද්‍රව්‍ය ක්‍රිම් එක ටිකෙන් ටික එකතු කොට ලී හැන්දක් මඟින් කලවම් කරන්න. එයට කපාගත් ස්ට්‍රෝබෙරි කැබලි එකත් කරන්න.

සකසා ගත් භාජනයකට ක්‍රීම් එක දමා ශීතකරණයේ පැය 4 ක් පමණ තබා පිඟානක් මතට ගෙන සරසා මේසයට යවන්න.

********************************

පෑන් කේක් සමඟ ස්ට්‍රෝබෙරි

 

 

ස්ට්‍රෝබෙරි අපේ රටේ එතරම් ප්‍රසිද්ධ නොමැති වුවත් ස්ට්‍රෝබෙරි එකතු කළ ස්විට්ස් වර්ග නම් ආගන්තුක නැත. සවස් වරුවේ ප්‍රේමයෙන් උමතුව සිටියදී තොලගාන්නට කදිම පෑන් කේක් සමඟින් ස්ට්‍රෝබෙරියි මේ.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

දියර කිරි මිලිලීටර් 250 ක්

දියකරගත් බටර් ග්‍රෑම් 100 ක්

පිටි ග්‍රෑම් 70 ක්

බේකිං පවුඩර් මේස හැඳි 1 ක්

සීනි ග්‍රෑම් 60 ක්

බිත්තර 2 ක්

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 400 ක්

අවශ්‍ය පමණ ලුණු

සැරසීම සඳහා

මිංචි කොළ

අයිසින් සීනි

 

සාදන පිළිවෙල

ස්ට්‍රෝබෙරි හැර අනෙක් සියලු ද්‍රව්‍ය එකට දමා සිනිඳු තලපයක් ආකාරයට මිශ්‍රකර ගන්න. සුදුසු පෑන් එකක් ළිප තබා පෑන් කේක් පිසගන්න.

භාජනයකට පාන්පිටි, බේකිං පවුඩර් හා ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. ඊළඟට බිත්තර දෙක හොඳින් ගසා එය ඉහත මිශ්‍රණයට එකතු කරන්න. එයටම බටර් එකතු කරන්නත් අමතක කරන්න එපා. සීනි ටිකකුත් දමා ගන්න.

දියර කිරි දමා පෑන් කේක් බැටර් එක දා ගන්න. මෙහිදී දියර කිරි දැමිය යුත්තේ ටිකෙන් ටිකයි. මෙසේ සෑදෙන බැටර් එක උකු එකකි. බැටර් එකේ පදම හරිම වැදගත්. ටික ටික වැගිරෙන අන්දමටයි මෙහි පදම තිබිය යුත්තේ.

පැතලි පෑන් එකක් ගෙන එහි බටර් ස්වල්පයක් ගා ගන්න. මේ පෑන් කේක් එක පෑන් එකේ ඇලීම වැළැක්වීම සඳහායි. රත්වූ පෑන් එකට බැටර් එක ටිකක් දමන්න. එක් පැත්තක් රන්වන් පැහැ මතුපිටක් ආ පසු අනෙක් පැත්ත පෙරළන්න. මේ ආකාරයට බැටර් එක අවසන්වනතුරුම පෑන් කේක් පිසගන්න.

අවසානයේ කපාගත් ස්ට්‍රෝබෙරි දමා ඊට උඩින් අයිසින් සීනි හලා මිංචි කොළ දමා මේසයට යවන්න.

 

********************************

ඩ්‍රැගන් මූස්

 

චොක්ලට් මූස්, ඔරෙන්ජ් මූස් ඔයාලට අමුත්තක් නොවේ. මොකද සාදයකදී, විවාහ මංගලෝත්සවයක දී මේ මූස් වර්ගවල රස බලා ඇති නිසා.

රතු පැහැ ඩ්‍රැගන් පලතුරුවලින් සාදන ඩ්‍රැගන් මූස් ආදරවන්තයින්ගේ දිනයට සාදා බලමු.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

රතු පැහැ ඩ්‍රැගන් පලතුරු මද ග්‍රෑම් 200 ක්

විපිං ක්‍රීම් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 10 ක් (රස අනුව ගන්නා සීනි ප්‍රමාණය වැඩිකරගත හැකිය)

බිත්තර කහමද 2 ක්

ජෙලටින් ග්‍රෑම් 18 ක්

සැරසීම සඳහා

විපිං ක්‍රීම්

පිළියෙල කිරීම

වතුර කෝප්ප 1/2 කට ඩ්‍රැගන් පලතුරු මද දමා බ්ලෙන්ඩර් කරගන්න. පිරිසුදු තුනි රෙදි කැබැල්ලක් ගෙන බ්ලෙන්ඩර් කරගත් ඩ්‍රැගන් පලතුරු පෙරා ගන්න. ජෙලටින් ටික වතුර කෝප්ප 1/4 කට දමා පෙඟෙන්නට හැර මයික්‍රෝවේවි උඳුනට දමා දියකර ගන්න.

සීනි, බිත්තර කහමද දෙක ක්‍රීම් වනතුරු ගසා එයට ඩ්‍රැගන් පලතුරු යුෂ එකතුකර මද ගින්නේ තබා ලී හැන්දක් ආධාරයෙන් අඩිය නොඇලෙන සේ හැඳිගාන්න. එයට දියකරගත් ජෙලටීන් එකතුකර මිශ්‍රණය කලවම්වනතුරු හැඳි ගාන්න. මෙම ද්‍රාවණය ඝණ ද්‍රාවණයක් සේ තිබියදී ළිපෙන් බා නිවෙන්නට හරින්න.

හැන්දක් හෝ විස්ක් එකක ආධාරයෙන් පෙර සාදාගත් ද්‍රව්‍ය මිශ්‍රකර සුදුසු භාජනයකට දමා ශීතකරණයක පැය 4 - 6 තබන්න.

උඩින් අලංකාර ලෙස විපිං ක්‍රීම් විප්කර පිළිගන්වන්න.

********************************

 

ඔරෙන්ජ් මූස්

 

 

දොඩම්වල රස මතකයන් සමඟින් සාදන ඔරෙන්ජ් මූස් මින් පෙර සාදවලදී ඔබ තොලගාන්නට ඇති. බලන්න ඒ රසයටම සමාන රසයකින් ඔබටත් ඔරෙන්ජ් මූස් සකස් කර ගන්නට හැකි වූවා දැයි කියා.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

සීනි ග්‍රෑම් 130 ක්

බිත්තර කහමද 3 ක්

දොඩම් ගෙඩි 2 ක්

ජෙලටින් ග්‍රෑම් 12.5 ක්

විපිං ක්‍රීම් මිලි ලිටර් 350 ක්

දියර කිරි මිලි ලිටර් 250 ක්

දොඩම් රසකාරක බිංදු කිහිපයක්

සාදන ආකාරය

ජෙලටීන් ටික දියර කිරි මිලිලීටර් 50 ක් පමණ ගෙන දියකරගන්න. ග්‍රේටරයක ආධාරයෙන් දොඩම් දෙකෙහිම පොත්ත ගාගන්න. ගාගත් දොඩම් පොතුවලින් භාගයක් ගෙන කිරිවලට මිශ්‍රකර මදගින්නේ රත්කර නිවෙන්නට තබන්න.

බිත්තර කහමද, සීනි සමඟ බීටරයක් මඟින් සීනි දියවනතුරු ගසාගන්න. එයට රත්කරගත් කිරි ටික දෙහි පොතු නොවැටෙන සේ පෙරා ගන්න. දොඩම් ගෙඩි මිරිකා පෙරා ගන්න. කිරි, බිත්තර සහිත මිශ්‍රණය ළිප තබා ලී හැන්දක ආධාරයෙන් හැඳිගාමින් ඝනවීගෙන එද්දී ජෙලටින් ටික එකතුකර දියකරගන්න. එම ද්‍රාවණයට දොඩම් රසකාරක බිංදු ස්වල්පයක් එකතුකර නිවෙන්නට පසෙකින් තබන්න. විපිං ක්‍රීම් ටික හොඳින් විප් වූ පසු ඉහත ද්‍රාවණය ටිකෙන් ටික එකතුකර හැන්දක් ආධාරයෙන් කලවම් කරන්න. ඉතිරි වූ දොඩම් පොතු ද එකතුකර සුදුසු භාජනවල අසුරා ශීතකරණයේ පැය 4 - 6 අතර තබා පිළිගන්වන්න.

අමතක කරන්න එපා, ඔබ අතින් පිළියෙලවන මේ සෑම අතුරුපසකටම ආදරය ටිකකුත් එකත් කරන්න.

********************************

 

ස්ට්‍රෝබෙරි මූස්

මූස් වර්ගවලට ඩෙසර්ට් කලාවේ ඉහළම තැනක් හිමිවෙයි. ආදරණීය බවින් ඉහිරුණු දවල් කෑම හෝ රාත්‍රී කෑම අවසානයේ අතුරුපසක් ලෙස එකතුකර ගන්නට ස්ට්‍රෝබෙරි මූස් කදිමයි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

 

ස්ට්‍රෝබෙරි යෝගට් මිලිලීටර් 500 ක්

(ප්‍රධාන සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිවේ.)

සීනි මේස හැඳි 01 ක්

රසකාරක නොමැති ජෙලටීන් ග්‍රෑම් 25 ක්

විපිං ක්‍රීම් මිලිලිටර් 400 ක්

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 ක්

උණු වතුර කෝප්ප 1/2 ක්

සැරසීම සඳහා

ස්ට්‍රෝබෙරි

 

සාදන අන්දම

පළමුව කෝප්පයකට ජෙලටින් සහ උණුවතුර දමා හැඳිගා පසෙකින් තබන්න. ස්ට්‍රෝබෙරි ටික වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. දිය වූ ජෙලටින් ටික මයික්‍රොවේව් උඳුනක දමා දියකර පසෙකින් තබන්න. විපිං ක්‍රීම් ටික භාජනයකට දමා හොදින් බීටර් එක ආධාරයෙන් ගසා ගන්න. යෝගට් එකට සීනි දමා එය ද බීට් කරගන්න.

දැන් සියලුම දෑ ගසාගත් ක්‍රීම් එකට එකතු කොට ලී හැන්දක ආධාරයෙන් මිශ්‍ර කරන්න. සුදුසු භාජනයකට දමා පැය 4 ක් පමණ ශීතකරණයේ තබන්න.

පසුව ස්ට්‍රෝබෙරිවලින් සරසා පිළිගන්වන්න.

********************************

ඩිලයිට් චොකලට් මූස්

ලොව ඇති රසබරම මතකයත් චොක්ලට් රසයත් අතර වෙනසක් ඇත්තේ නැති තරම්ය. අමෘතයට සමාන කරන්න පුළුවන් තරමටම ‘චොකලට් රසවත්.’

ආදරවන්තයෝ ළබැඳි සිතින් බැඳුණු දාට ආදරයේ සංකේතය ලෙසින් රතු රෝස මලක් සමඟින් චොකලට් එකක් තෑගි දුන්න දවස අද වගේ මතකයි නේද? ගෙදර කාටවත්ම නොදී හොරෙන් හොරෙන් චොකලට් තොලගාපු හැටි කොහොම අමතක කරන්න ද?

ඩිලයිට් චොකලට් මූස් චොක්ලට්වල සුන්දරම නවාතැනක්.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකිං චොකලට් ග්‍රෑම් 250 ක්

බිත්තර 5 ක් (කාමර උෂ්ණත්වයේ තිබෙන)

නෙස්කැෆේ තේ හැඳි 3 ක්

උණුවතුර මිලි ලීටර් 50 ක්

සැරසීම සඳහා

විපිං ක්‍රීම් - ස්ට්‍රෝබෙරි හෝ චෙරි

නෙස්කැෆේ

සාදන ආකාරය

පළමුව බිත්තර සුදුමද කහමද වෙන්කර ගන්න. සුදුමද හොඳින් වියළුණු භාජනයකට දමන්න.

නෙස්කැෆේ තේ හැඳි 2 ක් උණුවතුර මිලිලීටර් 50 ට දමා දියකරගන්න. ඉතිරිය සැරසීම සඳහා තබන්න.

භාජනයක් ගෙන චොකලට් දමා සාදාගත් නෙස්කැෆේ දමා ඩබල් බොයිල් කරගන්න. (වතුර දැමූ භාජනයකට, වතුර රත්වූ පසු චොකලට් භාජනය දමා දියකර ගන්න.) දියවූ චොකලට් ටික මද රස්නය තිබෙන විට බිත්තර කහමද දමා හොඳින් කලවම් කරගන්න.

බිත්තර සුදුමද විප්කර චොකලට් ද්‍රාවණය ටිකෙන් ටික එකතු කරමින් ලී හැන්දක් ආධාරයෙන් කලවම් කරගන්න. සුදුසු භාජනයකට දමා ශීතකරණයට දැමීමට ප්‍රථම ඉතිරි නෙස්කැෆේ ස්වල්පය උඩින් ඉසින්න. මෙය පැය 4 - 6 පමණ ශීතකරණයේ තබා විප් ක්‍රීම් හා ස්ට්‍රෝබෙරිවලින් සරසා පිළිගන්වන්න.

********************************

පැනකොත්තා

කෑම කලාවට ආදරණීය කෑම වර්ග රැසක් තිළිණ කරමින් අමරණීය මතකයන් එක්කරන්නේ ඉතාලි කෑමයි. දැන් ඉතාලි කෑම අපේ රටෙත් පුදුමාකාර ලෙස ජනප්‍රියයි.

සුන්දර ඉතාලියේ ආදරවන්තයින්ගේ දිනයේ දී සෑදෙන ප්‍රධාන පෙළේ අතුරුපසක්වන පැනකොත්තා මිහිරි මතකයන් නංවාලමින් අපේ මේ සුන්දර දූපතේදීත් රසවිදිමු.

පැනකොත්තා යන ඉතාලි වදනේ අරුත පිසින ලද ක්‍රීම් යන්නයි.

මේ අතුරුපස සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය තරමක් මිලෙන් ඉහළයි. මොකද විදේශීය අතුරුපසක රසය ලාබ වෙන්න බැහැනේ. සුපිරි වෙළෙඳසැල්වලින් හොඳම දේ යොදා සකස් කරගන්නා නම් ලෝබවෙන්න එපා.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකිං ක්‍රීම් ලීටර් 1 ක්

ජෙලටින් ග්‍රෑම් 25 ක්

සීනි ග්‍රෑම් 50 ක්

(රස අනුව මෙහි ප්‍රමාණය වෙනස් වේ)

වැනිලා කෝප්ප 1/2 ක්

සෝස් එක සැරසීම සඳහා

සීනි ග්‍රෑම් 500 ක්

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 ක්

 

සාදන අන්දම

වතුර කෝප්ප 1/2 කට ජෙලටීන් දමා පෙඟෙන්නට හැර මයික්‍රෝවේ එකට දමා දියකර ගන්න. පිරිසුදු භාජනයක් ගෙන එයට කුකිං ක්‍රීම්, සීනි, වැනිලා දමා මද ගින්නේ තබන්න. විස්ක් එකක හෝ හැන්දක ආධාරයෙන් හොඳින් හැඳි ගාන්න. එයට දියකරගත් ජෙලටීන් දමන්න. දියරය උතුරන්නට නොදී හොඳින් හැඳිගාමින් ජෙලටීන් හා ක්‍රීම් එක මිශ්‍ර කරගන්න. (හොඳින් මිශ්‍ර නොවුණහොත් ජෙලටින් ටික වෙන්වීමට ඉඩ ඇත.)

සුදුසු භාජනවලට දමා නිවුණු පසු ශීතකරණයේ පැය 4 ක් පමණ තබන්න.

සෝස් එක සාදා ගැනීමට පිරිසුදු කරන ලද ස්ට්‍රෝබෙරි, සීනි බ්ලෙන්ඩර් කරගන්න.

පැනකොත්තා ස්ට්‍රෝබෙරි සෝස් සමඟ පිළිගන්වන්න.

 

 මේ ආදරණීය තිළිණය ප්‍රේමවන්තයන්ගේ සිතෙහි හැමදාමත් රසම රස තිළිණයක් වේවි.

1033 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 13, අඟහරුවාදා 11:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න