හැඩවැඩ ඇති වෙසක් කූඩු

දරුවන් සමඟ නිර්මාණය කරන්න
මැයි 19, 2021

 

අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ අතින්ම නිර්මාණය කරගත හැකි තවත් අපූරු වෙසක් කූඩු නිර්මාණයකි මේ. බලන්න, මෙවැන්නක් හරිම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් නේද කියා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ණ කාඩ්බෝඩ් හෝ

ඒ ෆෝ කොළ

ගම්, සව්කොළ

කම්බි හෝ ඝනකම් නූල්

කතුරක්, පැන්සලක්, අඩිරූලක්

 

නිර්මාණය කිරීම

පළමුව වර්ණ බෝඩ් හෝ ඒ ෆෝ කොළ ගෙන විශ්කම්භය අඟල් හයකින් යුත් රවුම් හයක් කපාගන්න. ඉන්පසු කපාගත් රවුම් දෙකට නමා කොණ් දෙක ලකුණු කරගන්න. ඒ ලෙසටම අනෙක් පැත්තට ද නමා අනෙක් කොණ් දෙක ද ලකුණු කරගන්න. පසුව රවුමේ ලකුණු කරගත් කොණ් හතර හරහා නැමි නමා ගන්න. ඡායාරූපය දෙස බැලීමෙන් එය ඔබට පැහැදිලි වේවි.

මේ සදහා කාඩ්බෝඩ් භාවිත කරන්නේ නම් කූඩුවෙහි ශක්තිමත් භාවය වැඩිය. පසුව එසේ කපාගත් රවුම් දෙකක හරි මැදිල් තවත් රවුම් කොටස් දෙකක් කපාගන්න. ඒ කූඩුවෙහි උඩ සහ යට කොටස් දෙක සඳහාය. පසුව අනෙක් රවුම් කොටස් හතර ගෙන එකදිගට තබා නැමි නමාගත් කොටස් දෙකක් එකට තබා අලවා ගන්න. මෙය කොටුවක් හැඩයට අලවා ගතයුතුයි. පසුව මැදින් කපා ඉවත් කළ කොටස් දෙක ගෙන එකක් උඩටත් අනෙක යටටත් තබා අලවා ගන්න. අලවා ගැනීමේදී නැමි සහිත කොටස් මත හොඳින් ගම් ගා අලවා ගන්න. පසුව උඩ කොටසේ සිදුරු දෙකක් සාදා කම්බි හෝ නූල් සම්බන්ධ කරන්න.

යට පැත්තට සව් කොළවලින් රැලි කපා නැමි සහිත කොටස් හතරට අලවා ගන්න. මෙහිදී වර්ණ ගැළපීම ඔබ සතුය. අවසානයේ දී තමන් කැමැති පරිදි වෙසක් අසිරිය විදහා දැක්වෙන පරිදි ධර්මචක්‍රයක් බෝ කොළයක් හෝ චෛත්‍යයක හැඩයක් කපා අලවා ගන්න. ඔබට කූඩුවේ විශාලත්වය වැඩි කිරීමට අවශ්‍ය නම් විශ්කම්භය වැඩිකර වෘත්ත කපාගන්න.

 

 

උපදෙස් - මහරගම

ප්‍රා. ලේ. කාර්යාලයේ

බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජංයසිංහ