ලස්සන බස් එකෙන් ගොඩගිය කොටියාකුඹුරේ නයනි

මැයි 5, 2025

ඇය වෙනස්ම විදිහකට හිතන වෙස්ම හැකියාවක් තියෙන හරි අපූරු යුවතියක්. ඇගේ ජීවිතයම වුණේ පුංචි පුංචි වාහන, ලස්සන ලස්සන ලයිට් දාපු බස් වගේම වෙනස්ම විදිහේ ගොඩනැගිලි. ඒ නිසාම ඇය ඇඟේ ඇඟිලි තුඩින් ඒවායේ ආකෘති හරි අපූරුවට නිර්මාණය කළා. විනෝදාංශයක් විදිහට පටන් ගත්ත ආකෘති නිර්මාණය අද රටක්ම කතා කරන ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඒ විදිහට බස් ආකෘති නිර්මාණය කරන ඇය කෑගල්ල, කොටියාකුඹුරේ පදිංචි නයනි සඳරේඛා. බස් ආකෘති හදලා ගොඩගිය ඇගේ කතාව දැන් අපි අහමු.

 

"ඉස්සර ඉඳලම මම පොඩි පොඩි දේවල් හැදුවා. කාඩ්බෝඩ් කෑලි එකතු කරගෙන ගොඩනැඟිලි ආකෘති සහ ගෙවල් හැදුවා. ඒ නිසා පොඩිකාලේ ඉඳන්ම අතේ හුරුවක් තිබුණා ඒ වගේ දේවල් හදලා. විනෝදාංශයක් විදිහට තමයි මම ඒවා කළේ. මම දවසක් ෆෝන් එකෙන් ෆේස්බුක් බලබල ඉද්දි බස් ආකෘති හදන වීඩියෝ එකක් දැක්කා. ඉතින් යූ ටියුබ් එකෙනුත් විස්තර හොයලා මමත් නිකමට වගේ ඒ විදිහේ බස් ආකෘතියක් හදලා බැලුවා. එතැනින් තමයි මම මේ ගමන පටන් ගත්තේ."

 

එහෙම හදපු බස් ආකෘතියෙන් මේ තරම් දුර ගමනක් ආවේ කොහොම ද?

 

ඒ බස් එක ලස්සනට හදලා තිබුණ නිසා සැමියා මට කිව්වා අපි නිකමට වගේ ෆේස්බුක් ඔන්ලයින් මාකට් එකට දාලා බලමු කියලා. ඒක දැකපු ගොඩක් අය මට කතා කළා. ඉතින් මට හිතුණා මේ දේ ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න ඕනේ කියලා. එක එක කෑලි දාලා රිමෝට් දාලා, ලයිට් දාලා මම ඒ බස් තව තව ලස්සනට හදලා ව්‍යාපාරය දියුණු කරගත්තා.

ඇයි මේ තරම් බස් ආකෘතිවලට ඉල්ලුමක් තියෙන්නේ?

 

ඒ කාලේ වගේ නෙවෙයි දැන් පුංචි දරුවන් පවා නවීකරණය කරපු බස් ආකෘතිවලට හරි ආසයි. දම් රැජන්, කූඹියෝ, රෝස පැටික්කි වගේ බස්වලට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවනේ. ඒ අය තමයි ගොඩක්ම මේ වැඩේට ආස. ගොඩක්ම ඒ වගේ බස් ආකෘතිවලට ආදරය කරන්නේ වයස අවුරුදු 13, 14, 15 වගේ වයස් සීමාවල දරුවන්. ඒ බස් අයිතිකරුවන් පවා තමන්ගේ බස් එකේ ආකෘතියක් ළඟ තියාගන්න ආසයි. ඒ අයගෙනුත් ඕඩර්ස් එනවා. එතකොට තමන්ගේ වාහනයක් විකුණද්දී සිහිවටනයක් විදිහට ඒ වාහනයේ ආකෘතියක් තියාගන්න ආස අය ඉන්නවා. ඒ නිසා බස් විතරක් නෙවෙයි මම අනිත් වාහන ආකෘති පවා හදලා දෙනවා. ඒවටත් ලොකු ඉල්ලුමක් තියෙනවා.

 

ඕනෙම වාහනයක් පෙන්නුවත් ඒ විදිහටම හදන්න පුළුවන්කම තියෙනව ද?

 

ඔව්, මට ඕනේම වාහනයක් හදන්න පුළුවන්. කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම හදනවා. සියුම් තැන් ගැන පවා මම ගොඩක් සැලකිලිමත් වෙනවා. මගේ මේ වාහන ආකෘති හදන්න යන අමුද්‍රව්‍යත් එක්ක මිල ටිකක් වැඩියි. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ඒක දරන්න ටිකක් අමාරුයි. ඉතින් වැඩි දෙනෙක්ගේ ඉල්ලීම නිසා මම ඊට වඩා ටිකක් අඩු මුදලකට දෙන්න පුළුවන් විදිහට මේවා නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

බස් ආකෘතියක් හදන්න කොපමණ කාලයක් යනව ද?

 

එක බස් එකක් හදන්න සතියක වගේ කාලයක් යනවා. මාසෙකට ඕඩර්ස් 5 - 6ක් වගේ එනවා. ඒ නිසා මාසෙකට 4ක් වගේ තමයි මට නිර්මාණය කරන්න පුළුවන්. බස් එක හදන්න කලින් පතරොම මම හදාගන්නවා. පරිගණකයෙන් සොෆ්ට්වෙයා භාවිත කරලා අවශ්‍ය මිනුම්වලට අනුව පතරොම සකස් කරන්නේ. ඊට පස්සේ බ්ලොක් එකක් හදලා අතින් කපලයි හදන්නේ. බස් ආකෘතිය සඳහා ෆෝම් බෝඩ් කියන ප්ලාස්ටික් බෝඩ් එක තමයි මම යොදාගන්නේ. ඩිසයින් කරගෙන ස්ටිකර් කරගන්නවා. රෝදත් රබර්වලින් මම අතින් නිර්මාණය කරන්නේ. වයරින් සහ ලයිට් සෙට් එක මමයි කරන්නේ. මුලින් වයරින් එක සහ රිමෝට් කොන්ට්‍රෝලින් ගැන මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. සැමියා මට ඒක කරන විදිහ කියලා දුන්නා. ඒ නිසා දැන් මට ඒ දේවලුත් තනියම කරගන්න පුළුවන්. මේක තමයි මගේ වෘත්තිය.

 

මේ හැමදේටම උදව් කරන සැමියා ගැනත් කියමු.

 

මගේ සැමියා ප්‍රසාද් බණ්ඩාර. ඔහු මූල්‍ය ආයතනයක සේවය කරනවා. එයාගේ උදව්ව නිසයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. හැකියාව තිබුණාට කාගේ හරි උදව්වක් නැතුව මේ දේවල් තනියම කරගන්න අමාරුයි. එයා මට ලොකු හයියක් වුණා මේ ගමන යන්න. මේවා හදන්න අවශ්‍ය බඩු එයා තමයි හොයාගෙන අරගෙන එන්නේ. විවාහ වුණාට පසුවයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. අවුරුදු දෙකක් වෙනවා වාහන ආකෘති හදන්න පටන් අරගෙන. මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අක්කයි. අක්කා හෙදියක්. අයියා පෞද්ගලික ආයතනයක වැඩ. තාත්තා. ඒ.ඩබ්ලිව්. ජයසිරි, අම්මා ජී. අමරසිංහ එයාලාගෙනුත් මට සහාය ලැබෙනවා.

 

මේ ක්ෂේත්‍රයට කාන්තා පාර්ෂවය යොමු වෙනවා හරි අඩුයි. ඉතින් ඇයි කාන්තාවක් විදිහට මේ වගේ ව්‍යාපාරයක් කරන්න හිතුවේེ...

 

මම කලින් මූල්‍ය ආයතනයක වැඩ කරපු කෙනෙක්. මට ඕන වුණා මගේම දෙයක් කරන්න ඕනේ කියලා. මොකද තමන්ගෙම දෙයක් කරනවා කියන්නේ ඒක හරි නිදහස්. මට හැකියාව තිබුණේ ආකෘති හදන්න. ඉතින් මම ඒ හැකියාවෙන් ප්‍රයෝජනය ගත්තා. මම හිතන්නේ නැහැ ඕනෙම වෘත්තියකට ගැහැනු - පිරිමි භේදයක් තියෙනවා කියලා. මොකද අද වෙද්දි ව්‍යාපාර ලෝකය තුළ වැඩිවශයෙන්ම ඉන්නේ කාන්තාවෝ. කාගෙන්වත් යැපෙන්නේ නැතිව තමන්ගේ උත්සාහයෙන් ගමනක් යන්න පුළුවන් වීම ගැන මට ගොඩක් සතුටුයි.

 

ව්‍යාපාරය පැත්තෙන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනව ද?

ලංකාව වටෙන්ම Pn holdings කියන මගෙ යූටියුබ් චැනල් එක හරහා ඕඩර්ස් ලැබෙනවා. ගොඩක්ම ඕඩර්ස් ලැබෙන්නේ ඔන්ලයින් හරහා. ඉතින් ලංකාවට වටේටම බස් ආකෘති කුරියර් හරහා බෙදාහරිනවා. විදෙස්ගතව ඉන්න ලංකාවේ අයගෙනුත් මට ගොඩක් ඕඩර්ස් ලැබෙනවා. ඒ ගොඩක් අය එයාලගේ දරුවන්ව පුදුම කරවන්න තමයි මගෙන් මේ ආකෘති ගන්නේ. සෑහෙන ඕඩර්ස් එන නිසා මට තනියම වැඩ කරගෙන යන්න අමාරුයි. ඉතින් ඉදිරියේදී උදව්වට කිහිපදෙනෙක් ගන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.