වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පොඩි කාලේ ඉඳන්ම ලොකූ සංවරයි
දුනිත් වෙල්ලාලගේ ....එසේ කියූ පමණින්ම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීනට අමුතුවෙන් හඳුන්වා දියයුතු අයකු නොවේ. ක්‍රිකට් පිටියේ පිපී සුදිළෙන තාරුණ්‍යයේ ගුණ සුවඳ තවරාගත් දුනිත් අද වනවිට ඔහුගේ දස්කමින් රටක් බබළවමින් සිටින්නේය. මේ දිනවල ශ්‍රී ලංකාවේ නම ක්‍රිකට් ක්‍රීඩාවේ කියවෙද්දී දුනිත්ගේ නමද ඒ සමඟ කියැවෙයි. පසුගියදා නිමාව දුටු මොබිටෙල් - සන්ඩේ ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් තරු අභිෂේකයේදී වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දෝත දරා ගත්තේද දුනිත් විසිනි. මේ දුනිත් සහ දුනිත්ගේ ජීවිතය ගැන ඒ උත්තරීතර අම්මා හර්ෂනී කාංචනා ප්‍රනාන්දු මහත්මිය තරුණී සමඟ කී කතාවයි.
පවුලේ වැඩිමල් පුතා මේ ලෝකයට ආ සතුටුම දවස පිළිබඳ අතීතය මෙනෙහි කරමින් මේ කතාව අරඹමු.
එදා තමයි අපේ ජීවිතේ සතුටුම දවස. හරියටම 2003 ජනවාරි මාසයේ නව වැනිදා. ලොකු පුතා උපන්නේ කොළඹ නවලෝක රෝහලේ. එදා මහත්තයටයි මටයි සතුට දෝරෙ ගලාගෙන ගිය දවසක්. කැදැල්ලකට දරුවෙක් එකතු වෙනවා කියන්නේ ජීවිතේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක්. ලොකු පුතා අපිට ඒ සතුට අරන් ආවා. එහෙම අපේ ලෝකෙට ආපු ඒ ආදරණීය දරු පැටියට අපි නම තිබ්බේ දුනිත් කියලා. කාලයාගේ ඇවෑමෙන් දුනිත් අනිත් ළමයි වගේම ලොකු වුණා. දුනිත් පුංචි කාලේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩාක් ආසාවෙන් හිටපු කෙනෙක්.තාත්තා ක්‍රිකට් මැච් බලන කොට පුංචි දුනිත් ඔඩොක්කුවට වෙලා ඒ මැච් දිහා බලන් ඉන්න හැටි මට අද වගේ මතකයි. කාලයක් ගතවෙනකොට දුනිත් පුතා ක්‍රිකට්වලට ඇබ්බැහි වුණා වගේද කියලත් මට හිතෙනවා.
පුංචි කාලෙ ඉඳලම එයාට තිබුණේ හරිම සංවර ගති ගුණ. කොයි වෙලාවකවත් කලහාකාරී විදියට හැසිරිලා නැහැ. නිස්කලංකයේ පාඩුවේ කාලය ගත කරන්න තමා දුනිත් හැමවෙලාවෙම කැමති. එදා ඉඳන් අද වෙනකල්ම එයාගෙ ඒ ගතිගුණ වෙනස් වෙලා නෑ.
දුනිත් ක්‍රිකට් එක්ක එකතුවුණ කාලය ගැන මතකය කොහොමද ?
පුංචිම කාලේ ඉඳන්ම එයා ක්‍රිකට් එක්ක හිටියා තාත්ත එක්ක නිතරම ක්‍රිකට් බැලුවා. ඒත් ලොකුවටම ක්‍රිකට් ගහයි කියල අපි කවුරුත් හිතුවෙ නැහැ.පොඩිකාලේ ඉස්කෝලේ දී එයා ක්‍රීඩා කිහිපයකට තෝරාගෙන තිබුණා. යන්න ඕනෙ ක්‍රීඩා මොනවද කියල දුනිත් මගෙන් ඇහුවා. ඒ වෙලාවේ තමා මම කිව්වේ මම. කිසිම ක්‍රීඩාවක් ගැන දන්නෙ නෑ. තාත්තා දන්න ක්‍රිකට් ගහන්න යන්න කියල. ඒ විදියට තමා ලොකූ ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ.
මෙහෙම සෙල්ලම් කරනකොට දුනිත් අනෙක් ළමයින්ට වඩා කැපිල පේන විදියට දස්කම් පෑව. එදා හිතුණා මෙයා අතහරින්නේ නැතුව ක්‍රිකට් ගහයි කියල.
දුනිත්ගේ දස්කම් අම්මා දුටුව පළමුවෙනි දවස මතකද?
ඔව්. එයා පානදුර ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් මැච් එකක් ගැහුවා. ඒක බලන්න දුනිත්ගේ තාත්තයි මමයි ගියා.එදා දුනිත් හොඳට සෙල්ලම් කළා.තාත්ත තමයි අදටත් එහෙම කියන්නේ.මොකද මම ක්‍රිකට් දන්නෙ නැති නිසා.එදා ලොකූ සෙල්ලම් කරපු විදිය තාත්තා අගය කළා මට මතකයි.
එහෙම දස්කම් දක්වන දුනිත් අද රටක සිහින එගොඩ කරන තරුවක්.
ඔව්. ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. ඒත් ලොකුවට ඒක නොදැනෙන්නේ එයා මට පුතාම හින්ද වෙන්න ඇති. ඒවගේ රටක් කතා කරන පුතෙක් බිහිකොට හදාගැනීමට ලැබීම ගැන මම අදටත් සතුටුවෙනවා.
ලොකුපුතා ගෙදර ඉන්න වෙලාවට කොහොමද කාලය ගත කරන්නේ.
එයා කැමැතිම නිදහසේ පැත්තකට වෙලා ඉන්න. ගෙදර ඉන්න වෙලාවට ක්‍රිකට් ගේම් ගහන එකයි, ක්‍රිකට් බලන එකයි තමා කරන්නේ. ඒ වගේම මල්ලිලා එක්ක විනෝද වෙන්නත් එයා හරිම ආසයි.
කෑම බීම තෝරන කෙනෙක්දලොකූ.
නෑ කොහොමත් නෑ. එයා මම හදන ඕනෙම කෑමක් කනවා. ගොඩක් වෙලාවට පිටින් කන නිසා වෙන්න ඇති කොළ වර්ග, එළවළු කන්න ගොඩක් ආසයි. හැබැයි කවදාවත් අරක ඕනෙ මේක ඕනෙ කියල කරදරනම් නෑ.
පළමුවෙන්ම අන්තර්ජාතික තරගයක දුනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී මොකද හිතුණේ.
ඇත්තෙන්ම එදානම් අසීමිත සතුටක් වින්දා. මගේ පුතා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා නේද කියල දෑණුනම ඒ සතුට දෙගුණ වුණා.දැනටත් පුතා සෙල්ලම් කරනවා දැක්කම මට මැවෙන්නේ අර පුංචි ලොකූගේ රූපය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවක් දුනිත්ගේ තිබුණද?
ඔව්. ඒකනම් තිබ්බා. ක්‍රීඩාව ගැන එයා වැඩිපුරම කතා කරන්නේ මාත් එක්ක නෙවේ තාත්තා එක්ක
කොහොමද මල්ලිල දෙන්න එක්ක තියෙන සම්බන්ධය.
ඒ තුන්දෙනා හොඳම යාළුවෝ වගේ තමයි. හැබැයි ලොකූට මොනව හරි තරහ යන දෙයක් කළොත් ඉවරයි. ඒ තමා දුනිත්ගේ හැටි.
දුනිත් ඉදිරි ජීවිතය ගැන මොනවද ඔබතුමිය එක්ක සාකච්ඡා කරලා තියෙන්නෙ.
එයා හැමවෙලාවෙම කියන්නේ එයා කරන දේ හරියට කරන්න ඕන කියල. ක්‍රිකට් ගහන්න වුණත් දුනිත් ගොඩක් කැපවෙනවා. එයා මට හැමවෙලාවෙම කියන්නේ රටේ නම එයාගේ නම ළඟින් ලියන්න ඕනෙ කියල. මම හිතනවා ලොකුපුතා අපේ රටේ නම ක්‍රිකට් පිටියේ බබළවාවි. හැම අම්මා කෙනෙක්ම වගේම ඒ හැමදේම දිහා මං සතුටින් බලා ඉන්නවා.
ඡායාරූප - ශාන් රූපස්සර