වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පිරිමියකුටත් වඩා හයියක් ගැහැනියකට තියෙනවා කියලා
ප්‍රවීණ රංගන ශිල්පිනී
වීණා ජයකොඩි
දුර අහසින් මහ පොළොවට බැසවිත් ඔබත් මාත් අතර ජීවත්වන සිනමා නිළියක වේ නම් ඒ ඇයයි. වීණා ජයකොඩි නම් ඇය සිනමාවේ හා පුංචි තිරය මත මැවුවේ මේ මහපොළව මත ජීවත්වන ගැහැනුන්ගේ ජීවිතයයි.
සුවහසක් කාන්තා චරිත වලට සිය ජීවිතය තුළින් විසල් ආදර්ශයක් සපයන වීණා, පරාජය ඉදිරියේ බිඳවැටී තැලී පොඩිවනවා වෙනුවට පරාජය ජීවිතයේ මහරු අත්දැකීමක් කරගන්නේ කෙසේදැයි ඇය තමන්ගේ ජීවන තතු පවසන ‘මතක මංපෙත‘ හරහා ඔබට පවසා සිටිනවා.
සන්ධ්‍යා පීරිස් වීණා ජයකොඩි වෙන තැනින් අපි කතාව පටන් ගනිමු
මගේ උප්පැන්න සහතිකයේ තිබුණු නම වර්ජිනියා සන්ධ්‍යා පීරිස්. මගේ තාත්තා පීරිස්. අම්මා ජයකොඩි. මාව සිනමා නිළියක් කරන්න ආසාව තිබුණෙ මගෙ අම්මාටයි. මගේ අම්මා 60 දශකයේ සිංහල සිනමාවේ ජනපි‍්‍රය නිළියක්. මම සිනමාවට සම්බන්ධ වෙන කාලෙ සන්ධ්‍යා කියල කෙනෙක් සිනමාවෙ හිටියා. අලුතෙනුත් සන්ධ්‍යා කෙනෙක් ආවා. මේ හේතුව නිසාත් වර්ජිනියා කිව්වහම ඒක ටිකක් බටහිරට බර නමක් නිසාත් අම්මා මාව වීණා ජයකොඩි කියන නමින් සිනමාවට සම්බන්ධ කළා. ඔය විදිහටයි වර්ජිනියා සන්ධ්‍යා පීරිස් වීණා ජයකොඩි විදිහට සිනමාවට ආවේ.
නිළියක් වෙන්න මේ දුවණියට කිසිම කැමැත්තක් තිබුණෙ නැතිද?
මාව කුසේ ඉන්නකොටත් අම්මා හිතල තියෙන්නෙ මෙයා දුවෙක් වුණොත් සිනමා නිළියක් කරනව කියලයි. මාව ලැබෙන්න ඉන්නකොට අම්මා බලපු චිත්‍රපටයක හිටි සන්ධ්‍යා කියන නිළියගෙ නම තමයි මට තියල තියෙන්නෙත්. මං හිතන්නෙ ඒ සන්ධ්‍යා රෝයි වෙන්නැති. මම පොඩිකාලෙ ඔය කිසිදෙයක් ගැන හිතේ තිබුණෙත් නැහැ, දැනුමක් තිබුණෙත් නැහැ. මගේ පවුලෙ හිටියේ අක්කයි, අය්යයි, මමයි, මල්ලියි. අක්ක හරිම තැන්පත් ළමයෙක්. මම වගේ දඟකාර කෙල්ලක් නෙවෙයි. ඒ ලක්ෂණ නිසාත් අම්මා හිතන්න ඇති මම තමයි සිනමාවට ගැළපෙන්නෙ කියල. ඒ නිසාම ඒ කාලෙ අම්මා මාව නැටුම් සංගීතය එහෙම ඉගෙන ගන්න යොමුකළා. අම්මා මාව සිනමාවට ගෙනිච්චේ මම බිලිඳු වියේදීමයි. ඒ අම්මා රඟපාපු අහංකාර ස්ති‍්‍රය චිත්‍රපටයේ බිලිඳීයකගෙ චරිතයට.
පාසල් සමයට සමුදුන් සැණින් වීණා සිනමාවට ආවද?
ඉස්කෝලෙ යන කාලෙ ‘කොහොමද වැඩේ‘ සහ ‘හැංගි හොරා‘ යන චිත්‍රපට වල නැටුම් ජවනිකාවක් කරල තිබුණා. නමුත් මම වෘත්තිය මටට්මෙන් සිනමාවට එද්දී මට අවුරුදු විසි එකක් විතර ඇති. එතකොට මගේ විවාහයත් සිද්ධවෙලා. දරුවන් දෙදෙනකුත් හිටියා. ඒ වෙත්දි මම මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක කෙටි කාලයක් රැකියාවකුත් කරලයි හිටියෙ.
මට මතකයි අප්සරා චිත්‍රපටයෙ රඟපාල මට රුපියල් තුන්දාහක් ලැබුණා. අද කාලෙ හැටියට ඒක ලක්ෂ තුනක් වගෙයි. මම නිළියක් වෙන්නෙ වෘත්තිය මට්ටමෙන්
වීණා සිනමාවට පය තියන්නෙ ගාමිණී ෆොන්සේකා කියන රංගවේදියා සමඟ නේද?
මම ඉස්කෝලෙ යනකාලෙ ගාමිණී ෆොන්සේකාගෙ රසිකාවියක්. ගාමිණී, ටෝනි, සන්ධ්‍යා කුමාරි, ජීවරාණී ඒ අය තමයි ඒ දවස්වල අපේ සිනමා වීරයන් වීරවරියන් වෙලා හිටියෙ. අම්මා නිළියක් වුණාට සිනමාවෙ කට්ටිය සමඟ ළඟින් ඇසුරු කළේ නැහැ. ගාමිණී ෆොන්සේකා මගේ අම්මා සමඟ රඟපාලා තිබුණත් අපිට ලොකු සම්බන්ධකමක් තිබුණෙ නැහැ.
එහෙත් මගේ පළමුවැනි චිත්‍රපටයෙම ගාමිණී ෆොන්සේකා සමඟ රඟපාන්න ලැබීම ම වාසනාවක්. රඟපාද්දි මම ආධුනිකයෙක් වුණත් එතුමා මාත් ඔවුන්ගේම මට්ටමේ සිටින කෙනෙක් වගෙයි සැළකුවේ.
‑ඒ නිසා මම මේ රඟපාන්නෙ සිනමාවේ විශිෂ්ටයෙක් එක්ක කියල බයක් සැකයක් දැනුණෙත් නැහැ. අනික ඔහුත් එක්ක රඟපාන්න ලේසියි.
ඉන්පසුවත් මගෙ මොනව හරි හැකියාවක් තියෙනව නම් ඒ දක්ෂතා එළියට දාන්න පුළුවන් හොඳ චරිත මට දිගටම ලැබුණා.
හොඳම නිළිය ලෙස මට මගේ පළමුවැනි සම්මානය ලැබුණේ මනමාලි චිත්‍රපටයේ රංගනයට. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණී ෆොන්සේකා. අවුරුදු විසිගාණක වයසේ හිටි මට අවුරුදු හැටගාණක කාන්තාවකගෙ චරිතයක් රඟපාන්න මාව දිරිමත් කළේ එතුමායි. දිගටම මට ගාමිණී ෆොන්සේකා රඟපාන චිත්‍රපට වල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම මට විශ්විද්යාලයකට ගිහින් ඉගෙන ගත්තාට වඩා වටිනවා.
නිළියකව සිටි ඔබගේ මවගේ සෙවණැල්ල මේ ගමනට බලපෑවේ කොහොමද?
අපි පුංචිකාලෙ ඉඳන්ම තාත්ත අපිත් එක්ක හිටියෙ නැහැ.
අපේ අම්මා තාත්ත කෙනෙක් වගේ හම්බකරගෙන ඇවිත් හැමදේම දීලා අපිව ජීවත් කළා. ආච්චි අම්ම තමයි ගෙදරට වෙලා අපිව බලාගත්තෙ. මට අත්දැකීම් නැති තරුණ කාලෙ ප්‍රශ්නයක් ඇවිත් මම වැටුණ හැම මොහොතකම අම්මා මට ශක්තියක් වුණා. අතහරින්න එපා උඹට තව දුර යන්න පුළුවන් කියල මාව ඉදිරියටම රැගෙන ගියා. ගැහැනියක් කියන්නෙ ජීවිතයේ ප්‍රශ්න ඉදිරියේ පසුබට විය යුතු කෙනෙක් නෙවෙයි කියල මට කියාදුන්නෙ ඇයයි. ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පිරිමියකුටත් වඩා හයියක් ගැහැනියකට තියෙනව කියල මම අවබෝධ කර ගත්තෙ ඇය ඇසුරින්.
2020/11/04 තරුණි බලන්න