අවුරුදු දෙකක් තිස්සේ ආදායමක් නැති අපි ජීවත් වෙන්නෙ කොහොම ද?

-මේරියන්ස් නලීන් පෙරේරා
ජූලි 7, 2021

 

කිසියම් අයකුට වයස් බේදයකින් තොරව මිනිසුන් ආදරය කරන්නේ නම් ඒ මිනිසා සැබෑ ලෙස ම සුන්දර මිනිසෙකි. එවන් සුන්දර මිනිස්සු ජනතා හදවත්හි සදාකල් රැඳී සිටිති. මිනිසත් කමින් පිරිපුන්ව ජනතා හදවත් තුළ සදා රැඳෙන ලෙස කලාවේ නියැලෙන එවන් වූ සුන්දර මිනිසකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රුවින් අද තරුණී කවරය සැරසෙනවා.

ඒ ඔබේ හද බැඳගත් මේරියන්ස් නලීන් පෙරේරා ය. තිස්තුන් වසරක ඔහුගේ සංගීත චාරිකාවේ ගහට පොත්ත මෙන් බැඳී ඇති ඔහුගේ නමත් සංගීත කණ්ඩායමේ නමත් බද්ධ කොට ඔහු ව හඳුන්වාදීම වඩා සරල යැයි අප සිතුවේ හඳුන්වාදීමේ දී විශේෂණ පද රාශියක් ඔහුට එක්කළ යුතු වූ බැවිනි.

නලීන් අයියා, ඉතිං කොහොම ද?

හොඳයි. හොඳයි, හොඳින් ඉන්නවා. බොහොම ස්තුතියි අපි ගැන සොයා බැලීමක් කරනවාට

එහෙම කියන්නෙ ඇයි? අපිට ඔයාලා ව අමතක වෙලා නැහැ. ඉතිං මේ දවස්වල ගෙදරට ම වෙලා හිටිය ද? අලුත් වැඩ මොකුත් කළා ද?

පොසොන්වලට බෞද්ධ ගීතයක් කළා. දුවටත් ගීතයක් කළා. ඊට අමතර ව නවක ගායික ගායිකාවන් කිහිප දෙනෙක්ටත් ගීත නිර්මාණ කළා.

 

පවතින තත්ත්වය ආර්ථිකයට ලොකු බලපෑමක් කළා නේද?

ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. පොඩි කාලයක් ද? අවුරුදු දෙකයි මාස දෙකක් අපි ගෙදර නෙ. ඔබ හිතයි මම කතා කරන්නේ මම ගැන මගේ ආදායම් අහිමි වීම ගැන කියලා. නෑ එහෙම නෙමෙයි මම කතා කරන්නෙ මා මෙන් ම ආදායම් අහිමි වූ සමස්ථ සාමාන්‍ය රට වැසියා ගැනයි. අපේ රටේ මාසික වැටුප් හිමියන් ඉන්නෙ ඉතා ම සුළුපිරිසයි. එයිනුත් රාජ්‍ය සේවකයො ඉන්නෙ ඉතා අල්ප ප්‍රමාණයක් මේ වෙලාවෙ ම අනිත් හැමෝම අසරණ වෙලා. මා වටා රැඳෙමින් ආදායම් මාර්ග සරි කරගත් මිනිසුන්ට අද මම පිළිතුරු දෙන්නෙ කොහොම ද? ඒ මිනිස්සු දුක කියන්නෙ මට ඒ අයගෙ දුක දැනෙන්නෙත් මට යි. තේරෙන්නෑ මේවට කොහොම ද උත්තර දෙන්නෙ කියලා.

ඔබ සහ ඔබේ එකමුතුව විසින් කළ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙත් නැහැ නේද?

ඒක තමයි කියන්නෙ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහල දැන් අපිව කූඩු කරලා. පසුගියදා උකස් බඩු කඩ අසල මිනිසුන් පෝළිම් ගැහිලා හිටියා කියල මාධ්‍ය වාර්තාකළා. ඒක තමයි සාමාන්‍ය මිනිසාගේ තත්ත්වය. අපි මොකද කරන්නෙ පිකටිං කරන්න ද?

අපිට එහෙම කරන්න බැහැ අපි මේ රටේ ඉන්න විනයානුකූල මිනිස්සුනෙ. අනෙක් කාරණය තමයි මම කතා කරන්නෙ මගේ ක්ෂේත්‍රය පිළිබඳව විතරක් නෙමෙයි. ගායනය, නර්තනය, නාට්‍ය, සිනමාව මේ ආදී සෑම කලා ක්ෂේත්‍රයක් ම සෑම කලා ශිල්පියෙක් ම මේ මොහොතේ පුදුම විදිහට අසරණයි. අපි ආණ්ඩුවෙන් පඩි ඉල්ලල නෑ. වෙනත් දීමනා ඉල්ලල නෑ. අපි අපි එකතුවෙලා සංවිධාන හදාගෙන අපි අපි වෙනුවෙන් හැමදාම උදව් කරගත්තා.

ඒ විතරක්ද අපි රටේ පවතින නොවිසඳෙන විරැකියා ප්‍රශ්නයටත් අපිට හැකි අයුරින් පිළිතුරු දෙනවා නේද? ඒ අයත් අපි වගේම ආණ්ඩුවෙන් පඩි ඉල්ලන්නවත් දීමනා ගන්නවත් ගිහින් නෑ. එහෙම වැඩ කරන අපි ගැන අද බලන්න කෙනෙක් නෑ. හැබැයි ගහන ගහන පදේට අපට නටන්න වෙලා තියෙනවා. හිතන්න එපා මම මේ සල්ලි ඉල්ලනවා කියලා. දීමනා ඉල්ලනවා කියලා. නෑ එහෙම නෙමෙයි. විධිමත් ක්‍රමවේදයක් හදල අපිට රට ඇරල දෙන්න හම්බකරගන්න හැටි අපි දන්නවා. අපිට ඉල්ලගෙන කන්න අවශ්‍ය නෑ. මම ටිකක් වැඩි පුර කියවනවා කියල හිතෙනවා ද මන්දා? එහෙම හිතන්න එපා. මම කතා කරන්නෙ මගේ හිතේ තියෙන දුකට. මාසික වැටුප් ගන්න මිනිසුන්ට මාස දෙක, තුනක් වැටුප් අහිමි වුණොත් කොහොම ද දැනෙන්නෙ කියල හිතල බලන්න. එතකොට අවුරුදු දෙකක් තිස්සේ ආදායම් නැති අපි කොහොම ද ජීවත් වෙන්නෙ. අපි හැමෝම හෙට දවසක් ගැන බලාපොරොත්තු ඇති ව ජීවත් වු මිනිසුන් ඒත් දැන් අපිට හෙටක් ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ. අපේ නම් දරුවො ලොකුයි. දෙයක් කිවුවම තේරෙනවා. දවසක් දෙකක් බඩගින්නෙ ඉන්න කිව්වොත් ඒත් ඉඳියි. ඒත් පුංචි දරුවො ඉන්න ගෙවල්වල එහෙම ඉන්න පුළුවන් ද? ඒ මව්පියන්ට මොන තරම් අසරණ කමක් දැනෙනවා ඇති ද?

පොසොන්වලට අලුත් ගීතයක් කළා කිව්වනෙ. අපිට ඒ ගීතය අහන්න පුළුවන් ද?

ඔව්. බෞද්ධ ගීතයක් කළා. සමාජයට ආදර්ශවත් පණිවිඩයක් ලබා දෙන ගීතයක්. ගීතය අහන්න ඒ විදිහට හිතන්න ඒ විදිහට හැදෙන්න කියලා මම මගේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. නලීන් පෙරේරා YouTube channel එකෙත් මේරියන්ස් YouTube channelඑකෙත් ගීතය තියෙනවා.

ඕනෑ ම කෙනකුට අහන්න පුළුවන්. අහල තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.

හදිස්සියෙම මේ විදිහෙ ගීතයක් කරන්න හිතුවෙ ඇයි?

මේ සමාජය ශෝධනය කළ යුතු මොහොතක්. සමාජය ශෝධනයට ලක් කළ යුතු අවස්ථාවක් ඒනිසා මිනිස්සුන්ට හැදෙන්න, මිනිස්සුන්ට හිතන්න දෙයක් කරන්න ඕනා

කියල හිතුවා. ඒ අනුව මේ ගීතය නිර්මාණය කළා.

සමාජ ශෝධනයක් අවශ්‍යයි කියල හිතන්නෙ ඇයි?

බලන්න අද සමාජය දිහා. මනුස්සයකුට පාරෙ යන්න පුළුවන් ද? පිටිපස්සෙන් ඇවිත් හප්පනවා. රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් ද?

ඊර්ෂ්‍යාකම් කරනවා. එක එක ලෙඩ දානවා. එකෙක් දියුණු වෙනකොට දාහක් කකුළෙන් අදිනවා. එකෙක් අලුත් බිස්නස් එකක් කරන්න හිතුවොත් අහල පහල ඉන්න හැමෝම ඒක කරනවා.

කෝ සමගිය, සමාදානය, සහජීවනය.

අදින් දශක දෙක තුනකට එහා අතීතය මේ තරම් නපුරු නෑ. ආත්මාර්ථකාමී නෑ. බලලෝභී නෑ. රටක් සමාජයක් ලෙස අපි පිටුපසට ගමන් කරන්න අවශ්‍ය නෑ. නමුත් සාමය, සමගිය, සදාචාරය ගොඩනගන්න නම් අපි ආපස්සට යා යුතුයි කියල මම හිතනවා. තව දුරටත් මේ ගමන ඉදිරියට යන්න බෑ. අපි අද ඉන්නෙ ඒ තරම්ම කුරිරු සමාජයක ඒ නිසා අපි අතීතයේ අපි ළඟ පැවැති යහගුණදම් වර්තමානය තුළ ස්ථාපනය කළ යුතුයි.

ඒක වර්තමාන වැඩිහිටි පරම්පරාවේ ඉන්න අපේ යුතුකමක් කියලයි මම හිතන්නෙ. මගේ මාධ්‍ය ගීතය ඒ නිසා මම මගේ මාධ්‍ය තුළින් ඒ යුතුකම ඉටු කරන්න උත්සාහ ගන්නවා. මට රටක් හදන්න බැරිවෙයි. ඔබේ පවුලේ විස්තර කියන්න.

මගේ බිරිඳ නිල්මිණී. දුව ස්වේතා. පුතා නිකිල්.

කොරෝනා සමය කාර්ය බහුල ජීවිතයක් ගත කළ ඔබේ පවුලේ අයට එකට ඉන්න ලැබුණු හොඳ අවස්ථාවක් නේද?

ඇත්තමයි. අපි ඉතා මිහිරි ජීවිතයක් ගත කළා. වෙලාවකට හිතෙනවා මේ විදිහට අපි හතර දෙනාටම එකට එකතු වෙලා ගෙදර ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක් කියලා. ආර්ථිකය දුර්වල වුණාට නිවෙස ඇතුළෙ සතුට, සැනසීම නම් දෝරෙ ගලනවා. දුවයි පුතායි දෙන්නාම දැන් රැකියා කරනවා.

අපි තුන්දෙනා නිවෙසේ රැඳීමේ සතුට අපිටත් වඩා දැනෙන්නේ මගේ බිරිඳ නිල්මිණීට කියලා මම හිතනවා. දැන් රට ටිකෙන් ටික විවෘත වෙලා තිබෙන නිසා පුතා වැඩට යනවා. තව ටික දවසකින් දුවත් යයි. එතකොට තමයි පාළුව ඉවසන්න බැරි වෙන්නෙ.

පුතා සහ දුව මොන වගේද?

නිකිල් පුතා අක්කා එක්ක බලද්දී ටිකක් නිශ්ශබ්ද චරිතයක්. දුව ස්වේතා ගෙදර ඉන්නවා නම් ඉතින් සින්දුව ම තමයි. කොහොම වුණත් ඉතින් කියන්න තියෙන්නේ කොරෝනා සමය අපට ජීවිතය සහ යථාර්ථය පහදලා දුන්නා. සතුට විඳින්න කියලා දුන්නා. ආදායම බිංදුව වුණත් වියදම් සීමා වීම නිසා අපි සතුටින් ජීවත් වුණා.

ඔබ ට ඔබේ රසිකයින්ට දෙන්න පණිඩිඩයක් තියෙවා ද?

තව මිනිසකුගේ කුසගින්න, වේදනාව නොදැනෙන තරමට අපි ආත්මාර්ථකාමී ජාතියක් බවට පත්වෙලා. ඒ නිසා රටක් වශයෙන් අපි හැමදාම එක ම තැන. ගොඩනැඟිලි, මහා මාර්ග ඉදිවුණාට වැඩක් නැහැ. ඒ මාර්ගයේ යන්න තරම් විනයානුකූල මිනිසුන් පිරිසක් රටේ බිහි නොවෙනවා නම්, ගොඩනැඟිලි ඉදිකරල වැඩක් නෑ එයින් ප්‍රයෝජන ගන්න ඒවා මතු පරපුරට ආරක්ෂා කරල දෙන්න තරම් පරාර්ථකාමී හදවතක් මිනිසුන්ට නොමැති නම් ඒ නිසා අපි අපි ගැන හිතල වෙනස් වෙමු. ආත්මාර්ථයෙන් දරුවන්ගෙ හිත් දූෂණය නොකරමු.

බොහෝදෙනෙක් අනුගමනය කරන්නෙ කකුළුවාගේ න්‍යාය. උන් ඇදේට යනවා. පැටවුන්ට කෙළින් යන්න කියනවා. ඉතිං උන්ට කෙළින් යන්න පුළුවන් ද? ඒ නිසා අපි ආදර්ශමත් වෙමු. එතකොට අපේ දරුවො අපි දිහා බලල හැදෙයි. එවිට අර කාලෙකට ඉහත කියපු විදිහට සුන්දර මුතු ඇටය, ආගන්තුක සත්කාරයේ පරමාදර්ශී රට බවට ලෝකය තුළ නැවතත් අපිට පිළිගැනීමක් ලැබෙයි. අපි ව අගය කරයි. ඒ නිසා මම හැමෝගෙන් ම ඉල්ලා සිටිනවා. අපි අදහන ආගම අනුව ධාර්මික ජීවිතයක් විනයානුකූල ජීවිතයක් ගත කිරීම සඳහා අපිට දී තිබෙන උපදෙස් අනුව අපි ක්‍රියා කරමු. අතීතයේ අප අතින් සිදු වූ වැරැදි අප කළ වැරැදි සියල්ල අමතක කරල අපි අලුත් වෙමු. අලුතින් හිතමු. පරාර්ථකාමී වෙමු. එවිට අපිට පුළුවන් සුන්දර රටක් මේ ලක් පොළොවෙ නැවතත් ගොඩනඟන්න. ඒ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා මම මගේ රසිකයින්ගෙන් සහ සමස්ත සමාජයෙන් ම ඉල්ලා සිටිනවා.

 

 

 ඡායා - ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.