දියණියක රත්නයක් බව භාරතයට ඔප්පු කළ ලතා මංගේෂ්කාර්

පෙබරවාරි 14, 2022

 

1955 වසරේ ජූනි 24 වැනි දින ගීතවත් සැඩසුළඟක් මව්බිම නලවමින් හමා ගියේය. “ ශ්‍රී ලංකා.... මා ප්‍රියාදර ජයභූමී “ ගී නාදයෙන් ඇසූවන් ගේ දෙසවන් වීණාවක තත් මෙන් සුසර වෙයි. සැඩසුළං සිනමා පටයේ විනාඩි 5.54ක් පුරා ඉහළ ස්වරයකින් ගැයෙන දේශාභිමානී ගීතයේ අවසන් පදය වන “ එනු එනු පිබිදී “ ගී පද ඇසෙන විට රෝම කූප දේශ වාත්සල්‍යයෙන් නැඟී සිටියි.

හෙළ දේශාභිමානී ගීතාවලියේ මුදුන් මල්කඩක් වැනිවූ මේ ගීතය එදා මෙදා රාව ප්‍රතිරාව නැංවෙයි. මතුදාට ද වෙනසක් නැත. පුදුමයක් නොවේ ඒ හඬ භාරතයේ ගීත කෝකිලාවගේය. ඉදිකටුවක්වැටණත් ඇසෙන ගණනට පරිසරය නිහඬ කළ හැකි මන මෝහනීය හඬින් ලොවම නළවන මේ ලොව සියලු සංගීත භාණ්ඩවල මිහිරි නාදයන් සංකලනය වූ ඒ හඬට කුමන පසුබිම් සංගීතයක්ද ? ලතා මංගේෂ්කාර් ඒ නාමය ම සංගීතයකි. . සංගීත කලාව පවතින තුරු ලතා මංගේෂ්කාර් ගී රාවය දෝංකාර දෙන බව නිසැකය. ඒ දුලබ හඬ අපේ තිරයට එක් කිරීමේ ගෞරවය හිමි වන්නේ සැඩ සුළං සිනමා පටයේ අධ්‍යක්ෂ ටි. සෝමසේකරන්ටය. මුලින් ලතා ට සැඩ සුළං සිනමා පටයට ගීය ගැයීමට ඇරියුම් කළ විට ඇය මඳක් පසු බෑවාය. වෙනත් භාෂාවක ගී ගැයීම තරමක අභියෝගයක් වීම ඊට හේතුවය. එහෙත් අපේ පළමු දමිළ සිනමා පට අධ්‍යක්ෂවරයා ටී. සෝමසේකරන් මහතා පසු බෑවේ නැත. කොණ්ඩය කැපීමටත් මදුරාසියට යන තරම් ධනවතකු වූ ඔහු ලතා ගේ රුචි අරුචිකම් ගැන සොයා බැලීය. බොහෝ කාන්තාවන් මෙන් ලතා ද සුවඳ විලවුන් හා චොකලට්වලට ඇලුම් කළාය. ඒ ලතා අලුතින් ම ප්‍රංස වෙළෙඳ පොළට පැමිණි ඉහළම පෙළේ විලවුන් වර්ගයක් ගැන විපරමින් සිටි කාල පරිච්ඡේදයකි. සෝමසේකරන් මහතා ඒ විලවුන් බෝතලයක් රසික තිළිණයක් ලෙසින් ලතාට යැව්වාය. ඉන්පසු ඇතිවූ මිත්‍රත්වය නිසා සැඩසුළං සිනමා පටයට ගීතයක් ගැයීම ලතාට ප්‍රතික්ෂේප කළ නො හැක්කක් විය. අධ්‍යක්ෂවරයා ලතාට ඒ ගීතය පුහුණු කරවීමට අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා බොම්බායට ( මූම්බායි පුරවරයට ) යවන ලදී. “ශ්‍රී ලංකා “ ගීයත් “ඉදිරියටා යමු“ ගීයත් එකම තැටියක දෙපැත්තක ගීත දෙකක් ලෙසින් පටිගත කෙරිණි. ලතාව බොම්බායේ සිට ගීතය පටිගත කිරීමට මදුරාසි චිත්‍රාගාරයට ගෙන්වා ගන්නා ලද්දේ විශේෂ ගුවන් යානයකිනි. ලතා තම අසල් වැසි රට වෙනුවෙන් ගැයූ ගීයට මුදලක් අය නො කළාය. එහෙත් ඒ වෙනුවට රුපියල් අසූ දහසක් වැය කොට ඇය ගේ ප්‍රියත ම චොකලට් වර්ගයක් තිළිණයක් ලෙසින් ලබා දීමට සෝමසේකරන් මහතා අමතක කළේ නැත.

සිංහල ගීතාවලියේ එකම එක ගීතයක් හෝ ලතා මංගේෂ්කාර් ගේ හඬින් එසේ සුමධුර විය. ඒ මෝහනීය හඬ බොලිවුඩයේ නින්නාද වන්නට ගත්තේ මීට දශක අටකට පමණ පෙරදීය. ඒ ඉතිහාසය බොලිවුඩ් සිත්තමක් මෙන් ම විචිත්‍රය.

“අයේගා.. අයේගා..“ සුගායනය ඇසුණේ සුවිසල් බොම්බේ ටෝකීස් චිත්‍රාගාරයෙනි. අඩි පහක් හා එක් අඟලක් පමණක් උස සිහින් සිරුරක් ඇති තරුණියක සහ තරුණ අධ්‍යක්ෂවරකු “ පැමිණේවි. පැමිණේවි “ යන අරුත් ඇති ගීතය පටිගත කිරීමේ සටනකය. පුනරුප්පත්තිය ගැන කියැවෙන අද්භූත රසය කැටිවුණු සිනමා පටයට අවශ්‍ය වී ඇත්තේ ද අද්භූත රසය ගෙන දෙන ගායනයකි.

මයික්‍රෆෝනයට අඩි 20 ක් ඈතින් සිට ගීතයේ එක් පද පේළියක් ගයන තරුණිය ඊළඟ පේළිය ගැයීමට අඩි කිහිපයක් ඉදිරියට පැමිණියාය.

එසේ කළේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි මහා මන්දිරයක දෝංකාර දෙන ගී රාවය ලබා ගැනීමටය.“ අයේගා අයේගා “ මහල්“/ මෙහෙල් ( Mahal -1949), සිනමා පටය තිරගත වීමත් සමඟ භාරතය පුරා රැව් පිලි රැව් දුන්නාය.

 

 ඒ නැවුම් හඬේ හිමිකාරිය කවුරුන්දැයි රටම සෙව්වේය. ඇය දීනානාත් මංගේෂ්කාර් නම් මරාති වේදිකා නළුවා ගේ ගායකයා ගේ වැඩිමල් දියණිය ය. 1929 දී උපන් ලොකු දෝණිට මංගේෂ්කාර් යුවළ හේමා නම තැබුවේය. මීනා, ආශා, ඌෂා හා හ්‍රිදයනාත් හේමා ගේ බාල සොයුරු සොයුරියන් විය. මංගේෂ්කාර් පවුලේ හේමා පියා ගේ වේදිකා නාට්‍යයක ලතිකා ලෙස රැඟූ පසුව ලතිකා ලෙස ද ලතා ලෙස රැඟූ පසුව ලතා බවට ද පත් විය.

දියණිය නිළියක කිරීමට පියා මුලින් සිහින මැව්වාය. එහෙත් කුඩා ලතා ගේ මනාපය තිබුණේ ගායනයටය. ඇය වයස අවුරුදු පහේදී පියාගෙන් පළමු සංගීත පාඩම උගත්තාය.

ඇය ගේ ගායන හැකියාව හඳුනාගත් පියා ඇය නිළි ගායිකාවක කිරීමට වෙහෙසුණේය. ලතා පාසල් යැවුව ද පාසලට ගියේ එකම එක දවසකි. නැඟණිය ආශා පාසලට රැගෙන යාම පාසලෙන් තහනම් කළ නිසා ලතා පළමු දව‍සේම පාසලට ආයුබෝවන් කීවාය.

දීනානාත් ලතා ට වයස අවුරුදු 13 වෙද්දී හදිසියේම හදවත් රෝගයකින් මිය ගියේය. ලතා ට පියා ගේ තැන ගෙන දිරිය දියණියක වන්නට සිදු වූයේ ඉන් පසුවය. පියා ගේ මිතුරකුවූ විනායක් මාස්ටර් ගේ මාර්ගයෙන් ලතා ට මරාති සිනමා පටයක දෙකක ගැයීමට රැඟීමට ලැබිණි.

එහෙත් ලතා ගේ පළමු සිනමා ගායන අත්දැකීම රසවත් වූයේ නැත. ඇය 1942 දී කිති හසාල් නම් මරාති සිනමා පටයට ගැයූ “ නාචු යා ගාදේ ගීය “ සිනමා පටයේ අවසන් කප්පාදුවේදී ඉවත්කර තිබිණි.  පසුව පාහිලි මන්ගල - ගෞර් ( 1942 ) සිනමා පටයේ සුළු චරිතයක් රැඟීමටත් ගීයක් ගැයීමටත් අවස්ථාවක් ලැබිණි.

1945 දී විනායක් මාස්ටර් ගේ නාට්‍ය සමාගම සමඟ මංගේෂ්කාර් පවුලේ සාමාජිකයෝ මූම්බායි පැමිණියහ. ලතා ඉන්දියානු රාගධාරී සංගීතය හැදෑරීමට මුල පිරුවාය. විනායක් මාස්ටර් ගේ පළමු හින්දි සිනමා පටයවූ බාදි මා (1945 ) හි කුඩා චරිත දෙකක් ලතාටත් ආශාටත් ලැබිණි. මාස්ටර් ගේ මරණයෙන් පසු ලතා ට අත දුන්නේ සංගීත අධ්‍යක්ෂ ගුලාම් හෙයිඩර් විසිනි. ඇය ගේ හඬ රිදී තිරයට නැතිවම බැරි හඬක් වන බව ඔහු තරයේ විශ්වාස කළේය.

ඔහු ෂාහීඩ් සිනමා පටයේ අධ්‍යක්ෂ ශාෂාධාර් මුඛර්ජි වෙත ලතාව කැඳවා ගෙන ගියේ සිනමා පටයට ගීතයක් ගැයීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටීමටය. නිෂ්පාදකයා ඇය ගේ හඬ සිහින් වැඩි බව පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. දෛවයේ සරදම නම් සිහින් වැඩි යැයි පවසා ලතා ගේ හඬ ප්‍රතික්ෂේප කළ මුකර්ජි ගේ මිනිබිරියන් වූ කාජල්ට රාණි මුකර්ජිට ද ලතා පසුබිම් ගායිකාව වීමය.

මුඛර්ජි ගේ පිළිතුරෙන් කිපුණු ගුලාම් අනාගතයේදී තමන් ගේ සිනමා පටයට ලතා ගේ ගී හඬ මුසු කර ගැනීමට සිනමා නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් පෝලිම් ගැසී පැමිණ වැඳ වැටෙනු ඇති බව පැවසීය. එය පරම සත්‍යයක් විය. මජ්බූර් ( 1948 ) සිනමා පටයට ඇය ගැයූ දිල් මෙරා තෝඩා මුජේ “ ගීය ජනප්‍රිය විණි. ඇය එක් රැයකින් බොලිවුඩයේ ගීත කෝකිලාව වූයේ මැහල් සිනමා පටයට ගැයූ “ අයේගා “ සමඟිනි. දශක අටකට ආසන්න කාලයක් පුරා නිළි පරම්පරා ගණනාවකට ඇය ගී ගැයුවාය. වරක් බොලිවුඩ් තිරයේ පළමු සුපිරි තාරකාව වූ ශ්‍රී දේවිය පැවසුවේ ලතා මංගේෂ්කාර් ගී ගයනවා නම් තමන් ගේ රංගනයෙන් අඩක් ම සම්පූර්ණ වී ඇති බවය. ලතා ගේ කෝකිල නාදයෙන් සිය රංගනය මිහිරි කර නො ගත් තාරකාවක නැති තරම්ය. ඇය භාෂා 36 කින් ගීත තිස් දහසකට අධික ගණනක් ගැයුවාය. වැඩිම ගීත ගණනක් ගැයූ ගායිකාව ලෙසින් කලක් ඇය ගේ නම ගිනස් පොතට එක් වී තිබිණි.

භාරතයේ ගීත කෝකිල කිරුළ වරින් වර වෙනස් වෙද්දී ගීත කෝකිලාව යන කිරුළ සදා කල්හිම දරන්නට වරම් ලැබුවේ ලතා පමණි. සිනමාවේ සෑම අංශයකම පිරිමි ආධිපත්‍ය දරන යුගයක ලතා දිරියෙන් කැපවීමෙන් කිරුළ හිමි කර ගත්තාය. විදුලි පංකාවක්වත් නැතිව ගීත පටිගත කළ අවස්ථාවකදී උණුසුම වැඩි කමින් ඇය ක්ලාන්ත වූ අවස්ථා ද තිබිණි. ඒ

ඇය ගේ කැපවීමට සුළු නිදසුනක් පමණි.

ඉන්දීය ජාතික සම්මාන තුනකින්, ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරකින් ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලද ලතා ෆිල්ම් ෆෙයාර් සම්මානවලට ඉදිරිපත් නො වීමට තීරණය කළේ නවකයන්ට අත දීමේ අරමුණිනි. ඇය කෙතරම් නිහතමානී කලාකාරියක ද කිවහොත් කිසි විටක තමන් ගයන ගීතවලට සවන් නො දුන්නාය. ඒ ඇයට තමන් ගේම ගීතවල වැරැදි සිය ගණනක් ඇසෙන බැවිනි.

ලතා ගේ පටිගත තළ අවසන් ගීතය 2019 දී ගැයූ ඉන්දියානු හමුදාවට උපහාර පිණිස ගැයූ දේශාභිමානී ගීතයකි. වීර් සාරා (2004) ඇගේ ගී හඬ මුසු වූ අවසන් සිනමා පටයයි.

දේශපාලනය ඇය සිත් ගත් ක්ෂේත්‍රයක් නො වීය. එහෙත් 1999 සිට 2005 දක්වා ඇය රාජ්‍ය සභාවට තෝරාපත් කෙරිණි. එමෙන් ම ජීවිතයේ අවසානය දක්වාම ඇයට භාරත මාතාවට මෙන්ම සෑම රාජ්‍ය නායකයකු ගේම ගෞරවය හිමි විය. වරක් අග්‍රාමාත්‍ය නේරු ඉදිරියේදී “මේරේ වතන් කේ ලෝගොන් දේශාභිමානී“ ගීය ගයද්දී නේරුතුමා ගේ දෑසින් කඳුළු ගැලුවේය.

ලන්ඩන් නුවර රාජකීය ඇල්බට් ශාලාවේ ප්‍රසංගයක් පැවැත් වීමට වරම් ලද එකම ඉන්දියානුවා ඇය ය. ඉන්දියාවෙන් රටේ ඉහළම සම්මානය වන භාරත රත්න පමණක් නොව ප්‍රංශයෙන් ද එරට ඉහළම සම්මානය ඇයට හිමි විය.

කලල අවස්ථාවේම දියණියන් ප්‍රතික්ෂේප කරන සමාජයක ලතා සරසවි දේවිය වෙමින් දියණියක රාජ්‍යයකටත් වඩා වටිනා බව ඔප්පු කළාය. භාරතයට අහිමි වූයේ එරට වටිනාම ජාතික උරුමයකි. එරට අනන්‍යතාවයකි.

 

අන්තර්ජාලයෙනි