ඉස්කෝලෙදි කාට හරි ගහනවා දැක්කම මට පුදුම බයක් ඇති වුණා.

ශෙලිනි ගුණවර්ධන
ඇයගේ විසි වැනි උපන් දිනය වෙනුවෙන් නිර්මාණ ප්‍රදර්ශනයක් අප්‍රේල් 09 දා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී
අප්‍රේල් 4, 2022

 

තැබූ තැනක සොර සතුරන් ගත නොහෙනා

එසැඩ මනාවක් වතුරෙන් වල නොහෙනා

කෝපවුවත් රජ මැතිඳුන් ගත නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

 

මිල මුදල්, වතුපිටි, ගෙවල් දොරවල්, යාන වාහන මේ සියලු භෞතික සැප සම්පත් සියල්ලම තාවකාලිකය. එහෙත් අප ඉගෙන ගන්නා දැනුම හා අධ්‍යාපනය මේ සියල්ලට වඩා ප්‍රබලය. මෙහි වටිනාකම මැනවින් වටහා ගත් අපේ මව්පියන් කුමන බාධක, හිරිහැර, අඟහිඟකම් තිබුණත් තම දරුවන්ට සිප්සතර ලබාදෙන්නට දිවා රෑ නොබලා වෙහෙසෙති. කොයි තරම් ආර්ථික ගැටලු තිබුණත් සෑම දරුවකුටම පාසල් අධ්‍යාපනය ලබාදීම යුතුකම හා වගකීමක් බවට රජය විසින් තීරණය කර ඇත්තේද ඒ නිසාමය. එක් පාසලක් තැනීමෙන් සිර ගෙවල් දහයක් වැසීමට තරම් ප්‍රබල බව පවසන්නේ ද අධ්‍යාපනයේ වටිනාකම තව තවත් තහවුරු කරමිනි.

එහෙත් මේ සමාජ සම්මතය තුළ පාසල් අධ්‍යාපනය සදහටම අහිමිවන දරුවෝ ද අප අතර වෙති. ඔවුන් පාසලක සෙවණක් පවා නොමැතිව කිසිම අකුරක් ලියන්නට කියන්නට නොහැකිව සමාජයේ අන්ත අසරණව විවිධ හැළ හැප්පිලි මැද ජීවන අරගලයක නියැලෙන්නේ මහත් අපහසුවෙනි. පාසල් අධ්‍යාපනය අහිමිවීම හමුවේ සියල්ල බිඳ වැටුණු දරුවෙක් මුහුණ දෙන මානසික පීඩනය සුළු පටු නොවේ. එසේම එය මව්පියන්ට ද විශාල බරකි. අනාගතයේදී ඔවුන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි කාටවත් කියන්නට නොහැකිය.

තම පාසල් ජීවිතය කුඩා කාලයේදීම අහිමිවීම ආශිර්වාදයක් කර ගත් දරුවකු උසස් අධ්‍යාපනය දක්වා ගමන් කිරීම අභියෝගාත්මකය. එසේම එම දරුවා සමස්ථ සමාජයටම ආදර්ශයකි. තවද ඇය ගැන අප පත්ඉරු අතර සටහන් පෙළක් තැබීම යුතුකමකි. මෙවර තරුණී මුල් කවරයෙන් හැඩවෙන්නේ එවැනි ආදර්ශවත් දියණියකගේ රුවෙනි. එසේම පිටු දෙකක් පුරා සටහන් තබන්නේ ද ඇයගේ අර්ථවත් ජයග්‍රාහි ජීවිත කතාවයි.

ශෙලිනී ගුණවර්ධන... ගනේමුල්ල වැලිපිල්ලෑවේ උපන් ඇය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාවැටීම ආශීර්වාදයයක් කරගත් දියණියකි. තවද ඇය උපතින්ම නිර්මාණශීලී දෑතක් හිමි යුවතියකි. තම පවුලේ එකම දියණිය ලෙසින් මව්පියන්ගේ ආදරය හා සෙනෙහස හමුවේ හැදුණු වැඩුණු ඇය වෙනස්ම අත්දැකීමක් ලැබූ දරුවෙකි. ගුරුවරුන් සැර කිරීම හා දරුවන්ට පහරදීම පිළිබඳ බියක් ඇතිවූ මේ දරුවා පළමු වසරේ සිට 9 වසර දක්වා පාසල් 10ක අධ්‍යාපනය ලබන්නේ මේ මානසික භීතිකාවට ගොදුරුවීමෙනි. එම මානසික ගැටලුවට කිසිම විසඳුමක් නොමැතිවීම හමුවේ ඇය පාසල් ගමනට තිත තබන්නේ මව්පියන්ගේ දෑසේ කඳුළු පුරවමිනි.

එතැනින් ශෙලිනීගේ ගමන අවසන් නොවෙයි. ඇය නැවතත් ජීවිතය ලබන්නේ එයින් පසුවය. නිවසේ සිට පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට තීරණය කරන්නේ ඇයගේ ආදරණී මව්පියන්ය. වසන්තා රාණි ගුණවර්ධන ශෙලිනීගේ මවයි. ඇය ගුරුවරියකි. පරිගණක විෂයය හා ඉංග්‍රිසි විෂය ඉගැන්වූ ඇය අධ්‍යාපන වසර ගණනාවක අත්දැකීම් ලැබූ ආදරණීය ගුරු මවකි. ඇය තම නෙත්දෙක තරම් ආදරය දැක්වූ දියණියගේ කඩා වැටීමට සවිය දුන් මවකි. මවගෙන් ලැබූ පන්නරය හමුවේ ඇය ආ දුෂ්කර වූ ගමන ගැන ශෙලිනි අපට ආවර්ජනය කළේ මහත් සතුටිනි.

"මම ඉපදුණේ 2002 වසරේදී. මේ අප්‍රේල් මාසේ 08 වැනිදාට අවුරුදු 20ක් වෙනවා. පුංචි කාලේ මම ළදරු පාසල් 5 - 6කට ගියා. එහෙම යන්න වුණේ අම්මාගේ රැකියාව නිසා.

 ඊට පස්සේ මුලින්ම කඩවත ධර්ම දර්ශී කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ 5 වසර වෙනකම් ගියා. නමුත් එක දිගටම යන්න ලැබුණේ නැහැ. බය වුණාම පාසල් දවස් ගණනක් යන්න නැතුව ඉන්නවා. කාටහරි ගහනවා දැක්කොත් මම සෑහෙන්න බය වෙනවා. ගුරුවරයෙක් පුංචි සැර කිරීමක් කළත් පුදුම විදිහට මට ඒක දැනෙනවා. එහෙම වුණාම බයට ටිකක් ලකුණු අඩුවෙනවා. කොහොම හරි පහේ පන්තියෙන් පස්සේ මම ඉස්කෝල දහයකට විතර ගියා. දහය පංතියට විතර යද්දි මට පාසල් ගමන හොඳටම එපා වුණා. මම ගෙදර ඇවිත් කිව්වා මට ආයෙත් ඉස්කෝලේ යන්න බැහැ කියලා. හැබැයි මගේ අම්මයි තාත්තයි මට බල කළේ නැහැ. මට ඉස්කෝලෙ යන්න ආසාව තිබුණා. නමුත් බයවීමත් එක්ක ලකුණු අඩු වෙනවානේ... එතකොට පාසල් යන්න එපා වෙනවා.

ඊට පස්සේ තමයි ගෙදර ඉඳන් ඉගෙන ගැනීම පටන් ගත්තේ. මම කොහෙවත් පංති ගියෙත් නැහැ. විෂයයන් තුනකට විතරක් ගුරුවරු ගෙදරට ඇවිත් ඉගැන්නුවා. මම සාමාන්‍ය පෙළ විෂයයන් නමයම එක පාරින් සමත් වුණා. සංගීත විෂයට විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා. අනෙක් විෂයයන් වලටත් සම්මාන තියෙනවා. මම උසස් පෙළ ගණිත විෂයය කරන්න සුදුසුකම් තිබුණා.

මම උසස් පෙළ වෙනුවට හරිත විශ්ව විද්‍යාලයේ (NSBM) මූලික අධ්‍යාපනයට යොමු වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විභාගය තිබුණේ. ඒ විභාගය මට හොඳින්ම සමත් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම දෙවැනි අදියරේදී කිසිම විෂයයක් අසමත් නොවී හොඳටම සමත් වුණා. උසස් පෙළට සමාන්තරව හරිත විශ්ව විද්‍යාලයේ පදනම් විභාගය ඉහළින්ම සමත් වුණාට පස්සේ දැන් මම ඉන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ. වානිජ කළමනාකරණය තමයි මම තෝරා ගත්තු විෂයය. මේ වෙනකොට පළමු වසරේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ. මම හැම විෂයයක්ම හොඳටම සමත්. දැන් මේ දවස්වල කරන්නේ දෙවැනි වසරේ විෂයයන් Online ක්‍රමයට හැදෑරීම. ජුලි මාසේ තමයි විභාගය තියෙන්නේ.

මේ උපාධිය කරන අතරේ තව මම ඇක්වයිනාස් විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කළා. ඒ වගේම මම සංගීතයට හරිම කැමැතියි. මේ දවස්වල විශාරද විභාගයේ ප්‍රථම විභාගයටත් සුදානම් වෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම කරන්න මගේ හෙවනැල්ලවගේ ඉන්නේ මගේ අම්මායි තාත්තයි. ඒ අය කරන කැපවීම නිසා තමයි මට මේ තරම් මානසිකව වැටිලත් නැගිටින්න පුළුවන් වුණේ. මගේ පියා කිත්සිරි ගුණවර්ධන. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නා මං වෙනුවෙන් කරන කැපවීමට මම ඉගෙන ගත්තේ නැත්නම් ඒක ලොකු පවක්. ඒ නිසා මම පසුගිය සෑම දෙයක්ම අමතක කරලා ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලයේදී බාහිර වැඩවලටත් උපරිම කැප වෙනවා.” ඇයගේ අධිෂ්ඨානශීලී අදහස් තුළ ඇත්තේ ගැඹුරු අරුතකි. පාසල් ගමන සම්පූර්ණයෙන් කඩා වැටෙද්දී ඇය හඬා වැටෙනවා වෙනුවට තනිවම ඉගෙනමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ තිබේ. එසේම ඇයගේ නිර්මාණශීලීත්වය හෙළි කරමින් කුඩා කල පටන් දැක්වූ දස්කම් බොහෝය. නිවෙසේ ඉවත දමන කාඩ්බෝඩ් කැබැල්ල පවා ඇයගේ නිර්මාණයකට මෙවලමකි. එලෙසින් ඇය වසර ගණනක් කළ නිර්මාණ අතර බෝනික්කන්, බෝතල් කලා නිර්මාණ, කතිර මැහුම්, විවිධ වූ නිර්මාණ රාශියකි. ඒ සියල්ල එකතුකර ගනිමින් ඇයගේ විසිවැනි උපන් දිනය වෙනුවෙන් නිර්මාණ ප්‍රදර්ශනයක් අප්‍රේල් 09 දා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. උදැසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමාත්, කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්රික් රත්නායක මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වෙති. 'Shadow of Wisdom' නම් වූ මේ ප්‍රදර්ශනය සඳහා ඇය අතින් නිම වූ නිර්මාණ රැසක් දැක ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

ඇයගේ මේ ජයග්‍රාහී ගමනේ පෙර ගමන්කාරිය වන්නේ ඇයගේ ආදරණීය මව වසන්තාරාණී ගුණවර්ධන මහත්මියයි. ඇයට වසර 41දී උපන් ‍ෙශලිනී දියණිය ලොව එකම සම්පතයි. ඇය මේ තරම් දුරක් රැගෙන ආ ගමන්මඟ ගැන ඇය අපට පැවසුවේ සතුටු කඳුළු දෑසේ රඳවාගෙනය.

"මගේ මහත්තයයි, මමයි මේ දරුවා මේ තරම් දුරක් ගේන්න පුදුම කැපවීමක් කළේ. කිසිම දවස දරුවට තරවටු කළේ නැහැ. ඉස්කෝලේ යන්න බැහැ කියපුවිට අපි එයාට බල කළේ නැහැ. වෙන පාසලකට දැම්මා. ඒ වගේ විකල්ප ක්‍රම යොදාගෙන තමයි දරුවා මේ තරම් දුරක් රැගෙන ආවේ. අපි හැම වෙලාවෙම එයාව අගය කළා. එයා නිර්මාණශිලී දරුවෙක්. ඒ නිසා ඒ පැත්තට දිරිමත් කළා. එයා කරන නිර්මාණ අපි Frame කරලා දුන්නා. එහෙම කරපු නිර්මාණ එකතුවක් තමයි එයාගේ ප්‍රදර්ශනයට තියන්නේ."

වසන්තාරාණී හා කිත්සිරි දෙපළගේ සිහින මල්ඵල ගැන්වූණේ ඔවුන් තුළ ඉවසීමේ ප්‍රතිපලයෙනි. තම දරුවා පාසල් යන්නට බිය වන විට ඔවුන් ඇයව දරිමත් කළේ ජීවිතය ජය ලබන්නටය. පාසල් අධ්‍යාපනය තුළින්ම ඒ සිහින දකින්නට නොහැකි විට විකල්ප ක්‍රමයක් තුළින් ඇයට මඟ හෙළි කර දුන්නේ සියුම් ලෙසින් දරුවාගේ මානසිකත්වය හඳුනාගනිමින්ය. ඔවුන්ගේ උත්සාහය, කැපවීම තුළින් හා දරුවා ජයග්‍රහණය කරා රැගෙන ගිය අයුරු ඉතාම බුද්ධිමත්ය. දරුවා පාසල් යන්නට නොහැකි යැයි පවසන විට තරවටු කිරීම වෙනුවට ඔවුන් දරුවාට වෙනත් මඟක් තනා දුන්නේ ස්වාධීනව ජීවිතය ජය ගන්නටය. පාසල් නොයන, ඉගෙනීමට අදක්ෂ දරුවකු සිටින මව්පියන් දරුවා බලහත්කාරයෙන් පාසල් යැවීමට ගන්නා උත්සහයට වඩා අදාර්ශවත්ය. ඒ ආදර්ශය සමස්ථ මව්පියන්ටම වැදගත් පාඩමක් කියා දෙයි. එම පාඩම තම දරුවාගේ හැකියාව හඳුනාගැනීම හා දුර්වලතා හමුවේ නොසැලි බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් එම අසීරු ඉලක්කය ජය ගත හැකි බවයි.

 

 

ඡායාරූප - ශාන් රුපස්සර