කැන්ගරු දේශයේ පාර්ලිමේන්තුවට ගිය අපේ කැසෙන්ඩ්‍රා

මැයි 30, 2022

 

ඔස්ට්‍රේලියාවේ 47වැනි පාර්ලිමේන්තු ෆෙඩරල් මැතිවරණය මැයි 21 වැනි දින පැවැත්වීය. පාර්ලිමේන්තු සාමාජිකයන් තෝරාගන්නා එම මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන් නියෝජනය කළ ලිබරල් පක්ෂය පරාජයට පත්කරමින් කම්කරු පක්ෂය ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා වන්නේ කම්කරු පක්ෂ නායක ඇන්තනී ඇල්බනීසියා ය.

 

ඇන්තනී ඇල්බනීසියා ගේ කම්කරු පක්ෂය සඳහා ආසන 72 ක් හිමි වී ඇති අතර මොරිසන්ට හිමිව තිබෙන්නේ ආසන 52කි. මේ පක්ෂ දෙකම නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් තරග වැදුණු අතර මේල්බර්න් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් කම්කරු පක්ෂයෙන් තරග වැදුණු කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු නම් 34 හැවිරිදි තරුණිය ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි. ඈ සමඟ තරගකර පරාජයට පත් වී ඇත්තේ රංජ් පෙරේරා නම් තවත් ශ්‍රී ලාංකිකයෙකි.

1988 දී ලංකාවේ උපත ලබා ඇති කැසෙන්ඩ්‍රා 1999 දී එනම් ඇයට අවුරුදු 11 දී සිය මාපියන් සමඟ ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත.

ඔස්ට්‍රේලියානුවන්ට අනුව නම් කැසෙන්ඩ්‍රා සාඩම්බර සංක්‍රමණිකයෙකි. ඇය වෘත්තියෙන් පේස්ට්‍රි අරක්කැමියෙකි. සහයක් අවශ්‍යම සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්නියකි. පවුලේ අය සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණි තැන් සිට මෙල්බර්න් ඇගේ නිවහන විය. එසේ පැමිණීමෙන් පසු ඇගේ මාපියෝ ඇයට අගනා උපදේශයක් දී ඇත. එනම් කිසි විටෙකත් කිසිවක් සුළු කොට නොගන්නා ලෙසයි. ඒ උපදෙස් අනුව ඇය අද දක්වාම ආරක්ෂා කරන සාරධර්ම තුනක් ඇත. ඒ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ කෘතඥතාවයි.

සාධාරණව කරන දවසේ වැඩකටයුතු සඳහා සාධාරණ දිනක වැටුපක් ලැබිය යුතුවාක් මෙන්ම ප්‍රජාව වෙනුවෙන් කැපවීමේ වැදගත්කම ද මාපියන් ඇයට ඉගැන්වූහ.

ඇය නව යොවුන් වියේදී ම එධධතඪඥඵ ච්චදඤඥදධදඨ ර්‍ථතචලච හි රැකියාව කිරීමට පටන් ගත් අතර, වසර 15 කට ආසන්න කාලයක් බේකරි කෑම සැකසීම, සමාජයට සේවය කිරීම සහ ජීවිත කාලය පුරාම මිතුරන් ඇති කර ගත්තාය.

ඇය දැන් සිල්ලර හා ක්ෂණික ආහාර කර්මාන්තයේ කම්කරුවන් නියෝජනය කරයි. වසංගතය පුරා වෙහෙස නොබලා වැඩ කළ, ඇගේ හිටපු සගයන්ගේ වැටුප් සහ වරප්‍රසාද හා අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමට සටන් කරයි. ඇය ඉංග්‍රීසි කතා නො කරන පසුබිම්වලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

ඇය හෝල්ට් හි අපේක්ෂිකාව වීමට තීරණය කළේ හෝල්ට් සඳහා වඩා හොඳ අනාගතයක් ලබා දිය හැක්කේ කම්කරු රජයකට පමණක් බව විශ්වාස කළ නිසාය.

ජයග්‍රහණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයන් වෙනුවෙන් පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාවක් වන 'ඒභඵලංකා' රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළේය.

"මම ලංකාවෙන් ආවෙ අවුරුදු 11 දී. ඒ මගේ අම්මයි, තාත්තායි, මල්ලියි එක්ක. ඊට පස්සෙ අපි මෙහේ ඉස්කෝලේ ගියා. අපිට වැඩියෙ සල්ලි තිබුණෙ නෑ. මගේ මාපියන්ට සල්ලි ලැබෙනකම් ඒ කාලෙ ජීවිතේ හරිම අමාරු වුණා. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා මමයි. ලංකාවම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කතා කළ හැකි නිසා මෙය ලාංකිකයන් ආඩම්බර විය යුතු දෙයක්. මම ඔස්ට්‍රේලියාව නියෝජනය කළත් මගෙ ඇඟේ දුවන්නෙ ශ්‍රී ලාංකික ලේ. මම කැමැතියි සාධාරණ ඔස්ට්‍රේලියාවක් දකින්න. ඔබ මෙහි ඉපදුණත් නැතත් හැමෝටම සමානව සලකන ඔස්ට්‍රේලියාවක් දකින්න. අපි ජීවත් වෙන්නෙ අවස්ථාවන් ගොඩාක් තියෙන රටක. ඒ නිසා අපි ඉස්සරහට යන්න ඕනෙ. මම කරන හැම කතාවක් අවසානයේම මේක කියනවා. මම, මං වගේම ඉන්න ජනතාව වෙනුවෙන් හඬ නඟනවා. මගේ පවුල වගේම ඔබේ පවුලත් පස්සට අදින්නෙ නෑ. මම බලාපොරොත්තු වෙනවා ඔක්කොම එක වගේ ඉන්න ඔස්ට්‍රේලියාවක් හැදෙයි කියලා. ඔබ ඔබේ මනසට ගත්තොත් 'මට පුළුවන්' කියලා ඔබට කිසිම දෙයක් බැරි වෙන්නේ නෑ. මම හිතන්නෙ මේක මට ලැබුණු හොඳ අවස්ථාවක්. මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා සහතික වෙනවා."

කැන්ගරු දේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ කැසෙන්ඩ්‍රා එහි හිඳ නඟන හඬට හෙට දිනයේ දී ඔබටත් සවන් දිය හැකි වේවි. අපි ඇයට සුබ පතමු.

 

අන්තර්ජාලයෙනි.