වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
‘පුතා මැච් එකකට ගිහින් සෙල්ලම් කරලා ඉවර වෙනකම් ගෙදර බුදු පහන නිවෙන්නේ නැතුව පත්තු කරනවා...‘
නැවතත් අපට ක්‍රිකට් වසන්තය උදා වෙලා... පුංචි සිරිපොඳ වැටිලා ආයමත් ජයග්‍රාහී ගමනට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ පියවර තැබුවේ අභියෝග රැසක් මැද. මුළු රටම ආර්ථිකව කඩා වැටුණු මොහොතක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය තරමක මානසික සුවයක් ගෙනාවා. අප රට මුහුණ දී ඇති අභියෝගයට පිළිසරණක් ලබා ගන්න ජාත්‍යන්තරයට පුංචි පණිවුඩයක් දෙන්න අපට හැකි වුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. ඒ පසුගියදා අවසන් වූ ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියයි.
මේ තරගාවලියේ දී අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යෑමට දායක වූ සුවිශේෂීම ක්‍රීඩකයා වුණේ පැතුම් නිශ්ශංකයි. තරගාවලිය මෙන්ම ක්‍රිකට් වාර්තා පොතේ අලුත් පිටුවක් පෙරළමින් වාර්තා රැසක් තැබූ පැතුම් පන්දු 147දී ලකුණු 137ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වූයේ ඔහුගේ දැවැන්ත පිති හරඹයෙන් ලොවම මවිත කරමිනි. ඒ ඔහු සනත් ජයසූරිය තබා තිබූ එක්දින වාර්තාව ද බිදිමිණි.
සිංහ කැන්ගරු තරගාවලිය තුළින් ලොවක් මවිත කළ පැතුම්ගේ ක්‍රීඩා කෞෂල්‍ය දෙස නැවුම් බලාපොරොත්තු දල්වා බලා සිටින දහසක් වූ අපගේ ක්‍රීඩා ලෝලීන් ඔහුගේ පෞද්ගලික තොරතුරු සොයන්නට වූයේ ඉන් පසුවය. සමාජ මාධ්‍ය ජාල පුරා පැතුම් පිළිබඳ විවිධ වූ සටහන්, ඡායාරූප පළ වෙද්දී ඔහුගේ දැවැන්ත සෙවණැල්ල වූ මව හා පියා ගැන ද සෑම මාධ්‍යයකම කතාබහටලක් වූයේ ඔහුගේ ආදර්ශවත් ගමන් මඟ සෑම දරුවකුටම පරමාදර්ශයක් සපයමිනි.
සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වර්තා කර ගනිමින් තරග බිමට පිවිසෙන පැතුම් වාර්තා පොත් අලුත් කරමින් කළ මේ පිති හරඹය තුළ ඔහු දක්වන හැකියාව ගැන ඔහුගේ මව සහ පියාට ඇත්තේ මහත් ආඩම්බරයකි. ඒ ආඩම්බරය තුළ සැඟවුණු සංවේදී කතාව ගැන මුලින්ම ඔහුගේ පියා වන සුනිල් සිල්වා සඳහන් කළේ අතීත සටහන් ගොන්නක් පිළිබඳ මතකය අවධි කරමිනි.
“ ඇත්තටම මට ලොකු හීනයක් තිබුණා. ශී‍්‍ර ලංකා පිලේ ක්‍රීඩකයෙක් වෙන්න... හැබැයි අපේ පවුලේ තිබුණු ආර්ථික ගැටලු ප්‍රශ්න නිසා ඒ හීනය සැබෑ කරගන්න බැරි වුණා. මම උත්සාහය අතහැරියේ නැහැ. කොහොමහරි මගේ ඉලක්කයට යන්න ඕනේ කියලා හිතලා කළුතර නගර සභාවේ ක්‍රීඩා සහායකයෙක් වුණේ ක්‍රිකට් පිස්සුව නිසාමයි. පස්සේ මම පුහුණුකරුවෙක් වුණා. මේ කාලේ දී තමයි මට නිලන්ති හම්බ වුණේ. අපි විවාහ වුණාට පස්සේ අපට පුතා ඉපදුණාම හුඟක් සතුටු වුණා. මට සැබෑ කර ගන්න බැරි වුණු හීනය සැබෑ කරගන්න පුතාව ගේනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. එහෙම හිතලා තමයි පැතුම් නිශ්ශංක කියලා නම තිබ්බේ. මට තේරුණා පුතා පුංචි කාලේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි කියලා. එයා බහ තෝරන කාලේ අවුරුදු දෙකේ දී තමයි බැට් එකක් අල්ලන්න පුරුදු කළේ. මොන්ටිසෝරි යද්දී පුතා හොඳට සෙල්ලම් කරනවා. ඉතින් පුංචි කාලේම මම පුතාව ග්‍රවුන්ඩ් එකට එක් කරගෙන යනවා. එහෙම එක්කරගෙන යනකොට තමයි සුනිල් සර් හම්බ වුණේ. සර් පුතා සෙල්ලම් කරනවා දැකලා තමයි මට කතා කළේ.”
මෙලෙසින් දක්ෂ ලෙස ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරන කොලු පැටියා වූ පැතුම්ට සුනිල් සළුවඩන ක්‍රීඩා උපදේශකවරයා හමුවීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ පළමු පියවරයි. පැතුම්ගේ කී‍්‍රඩා දිවියේ අත්තිවාරම බවට පත් වූ ඔහුගේ හමුවීම ගැන සුනිල් සළුවඩන මහතා අපට සඳහන් කළේ මෙලෙසිනි.
“ මම පැතුම් මුලින්ම දැක්කේ අවුරුදු හතරෙදි විතර. දවසක් පුංචි කොලු පැටියෙක් තාත්තත් එක්ක ඇවිත් ෆ්රැක්ටිස්
කරනවා. දැකපු දවසේම මට තේරුණා මේ දරුවා ලොකු ගමනක් යනවා කියලා. මම පැතුම්ගේ තාත්තාවත් දන්න නිසා ටිකක් කතා කළා. කතා කරලා පුතාව කළුතර විද්‍යාලයට ඇතුළත් කරගන්න උදව් කළා. ඒ කාලේ හැටියට දරුවෙක් කළුතර විද්‍යාලයට ඇතුළත් කිරීම තරමක් අසීරුයි. හැබැයි ඔහුගේ තිබුණු හැකියාව දවසින් දවස වැඩි වුණා. පැතුම් හැමවෙලාවෙම ක්‍රීඩාව ගැන විතරයි හිත යොමු කළේ. එයා පුංචි කාලේම අපේ විද්‍යාලේ 13 පහළ කණ්ඩායමට ක්‍රීඩා කළේ අවුරුදු දහය තරම් වයසේදී. ඒ කාලේදීම එයාට වඩා වයස වැඩි අයටත් වඩා හොඳට සෙල්ලම් කරනවා. එයාගේ විශේෂත්වය තමයි වැඩිය කතාබහක් නැහැ. හැම දෙයක්ම දරාගෙන ක්‍රීඩා කරන එක. ඇත්තට පැතුම්ගේ් මව්පියන්ට ආර්ථික ගැටලු තිබුණා. ඊට පස්සේ එයා සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ තමයි කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වුණේ.”
පැතුම් ඉසිපතන විද්‍යාලයට පැමිණි පසු ඔහුගේ දෙවැනි පුහුණුකරු බවට පත් වන්නේ ප්‍රදීප් නිශාන්ත මහතායි. ඔහු ද පැතුම්ගේ ගමනට යෝධ ශක්තියක් වූයේ නිරතුරුවම මඟ පෙන්වමිනි. දකුණතින් පිත්ත හසුරුවන, හුරුබුහුටි පෙනුමකින් යුතු පැතුම් වයස අවුරුදු 24ක තරුණ්‍යයේ සිටියත් ඔහුගේ මව ඔහු ගැන සොයා බලන්නේ උතුරා ගලන දරු සෙනෙහසිනි. ඒ මව් සෙනෙහස තුළ පැවැති හැඟීම් ඇය වචන බවට පෙරළුවේ මෙලෙසිනි.
“ පුතා කොයිතරම් ලොකු වුණත් මට තවමත් පුදුම ආදරෙයි.. එයා ගෙදර ඉන්න දවසට මම කවන්න ඕනේ. ඒ තරමට සමීපයි. පුතාගේ ජයග්‍රහණය ගැන නම් හිතේ තියෙන සතුට කියාගන්න බැරි තරම්. පුතාගේ තාත්තා නම් එයා සෙල්ලම් කරන හැම තරගයම බලන්න යනවානේ..... මහන්සිවෙලා මම අසනීප වෙයි කියලා බයට පුතා මම මැච් බලන්න යනවාට නම් කැමැති නැහැ. හැම දෙයක් පිටිපස්සේම ඉන්නේ තාත්තා තමයි. පුතාට ඒ විශ්වාසය තියෙනවා. අපි වගේම පුතත් සෑහෙන්න දුක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. ඒකේ ප්‍රතිඵල අද තියෙනවා. බුදුන්ට පහන තියලා හැමදාම මම ප්‍රාර්ථනා කරන්නේ පුතාට යහපතක් වෙන්න කියලා. පුතාටත් ඒ විශ්වාසය තියෙනවා. හැමදාම ගෙදරින් පිටත් වෙන්න කලින් පුතාට බුදුන් වඳින්න මල් පහන් ලෑස්ති කරන්න ඕනේ. එයා මැච් එකකට ගිහින් පිට ඉන්නවා නම් මට කතා කරලා කියනවා බුදු පහන තියලා ගණ දෙවියන්ට හඳුන්කූරු පත්තු කරන්න. ගෙවල් ළඟ තියෙන කෝවිලට ගිහින් මල් තියලා වඳින්න කියලා. මම ඒ පිළිවෙත් ඒ විදිහටම කරනවා. පුතා මැච් එකකට ගිහින් සෙල්ලම් කරලා ඉවර වෙනකම්ම මම ගෙදර බුදු පහන නිවෙන්නේ නැතුව පත්තු කරනවා. මෙහෙම කරන බව දන්න නිසා පුතාගේ හිතට ලොකු හයියක්. නුවර දළදා මාළිගාව වඳින්න යන්න පුතා හරිම කැමැතියි. සමහර වෙලාවට අපිත් එක්ක යනවා. එහෙම නැත්නම් එයා තනියෙන් යන වෙලාවලුත් තියනවා.”
සුනිල් හා නිලන්තගේ කැදැල්ලේ පළමු සාමාජිකාව දියණියකි. ඉන් පසුව 1998 වසරේ දී මැයි 18 දින පැතුම් උපදින්නේ මේ කැදැල්ලට බලාපොරොත්තු ගොන්නක් දල්වා ගෙනයි. මව්පියන්ගේ පැතුම් සඵල කරමින් පැතුම් ක්‍රීඩා පිටියේ වාර්තා තබමින් සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන නව පැතුමක් බලාපොරොත්තුවෙන් ක්‍රීඩා පිටිය වෙත පේ්රක්ෂකයන් කැඳවාගෙන එන්නට ඔහු ඇතුළු කණ්ඩායම නැවතත් හැකි වී තිබේ. ඒ නැවුම් බලාපොරොත්තු සඵල කරමින් නැවත වරක් අප රටට ලෝක කුසලානය රැගෙන එන්නට හැකියාව ලැබෙනු ඇතැයි සැමගේ පැතුම වී තිබේ.