කවි කියන්නෙම පණ තියෙන හැඟීම්

සැප්තැම්බර් 9, 2024

 

කවියකට යා හැකි දුර බොහොමයි. හදවතක් ආදරයෙන් පුරවන්න, කල්පනා ලොවක තනිකරන්න, වැළලී ගිය අතීතයක් නිසා හිතේ පුංචි රිදුමක් ඇති කරන්න වගේම හදවතක් තුළ වෙනසක් ඇති කරවන්න කවියකට පුළුවන්. ඉතින් එතැන තිබුණේ කවියක් විතරක්ම නෙවෙයි මිනිස් හිතකට බලපෑමක් ඇතිකරලිය හැකි බලවේගයක්. මේ විදිහේ කවි කෙනකුට ලියැවෙන්නේ හරිම කලාතුරකින්. "හදිසියෙම හෝ හෙමි හෙමින්" කියන්නේ කාලයකට පසුව තුෂාරිකා ඇන්තනී අතින් ලියැවෙන එවැනි කාව්‍ය සංග්‍රහයක්.

 

එය ඇගේ තෙවැනි කාව්‍ය සංග්‍රහයයි. 2018 දී පළ වූ "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට." 2020 දී පළ වූ "සිඹිමි කළුවර ප්‍රේමයෙන්" ඇයගේ කෘතීන් ය.

ඇය ඇගේ නවතම කෘතිය ගැන හඬ අවදි කළේ මේ විදිහට.

 

පොතක් කියන්නෙ හැම තිස්සෙම ඊළඟ පියවරක්. නිවැරදි සවිඥානික අදහස්වල එකතුවක්. කවියෙන් කියවෙන හැඟීම පිළිබඳ නිශ්චිත විනිශ්චයක් වගේ එකක්. මම හිතන්නෙ කවිය කියන විශාල විෂය පථය අධ්‍යයනය කරමින්, ඒ සම්බන්ධව සතතාභ්‍යාසයේ යෙදෙනවා නම් හොඳ කවියක් ලිවීමේ සතුට තමන්ට ලබාගත හැකියි. ඒ වගේම තමන්ගේ කවි කියවන පාඨකයා වෙතත් සාධාරණය ඉටු කළ හැකියි. ඇත්තටම මමත් හැමදාම උත්සාහ කරන්නෙ ඒ විදිහේ හොඳ කවියක් ලියන්න. මම හැමදාම කරන්නෙ ඒ හොඳ කවිය හොයමින් හෙමින් ගමනක් යන එක. මගේ ලිවීමෙන් මුලින්ම තෘප්තිමත් වෙන්නේ මම. එහෙම තෘප්තිමත් වීම තුළ තවත් කෙනෙක්ට මගේ කවි කියවන්න දෙන්න ඕ‍ෙන කියල මට හිතුණට පස්සෙ තීරණය කරනවා කවි පොතකට යන්න සුදුසු කාලය මේක කියලා. ගත වූ වසර හතරක කාලය අතරතුර එහෙම ලියපු කවි ටිකක් එකතු කරලා මගේ තුන්වැනි කාව්‍ය සංග්‍රහය කරන්න මේ වෙලාව හොඳයි කියලා මට හිතුණා. ඒ කවි, මුද්‍රිත පොතක් මතට ගෙන ඒම වෙනුවෙන් රසකතා ප්‍රකාශකයෝ වෙතින් මට අනගි සහයක් ලැබුණා.

 

මෙහි කවිවල වචන ගැන ඔබ දැඩි ලෙස උනන්දු වී ඇති බව පේනවා. යටිපෙළක් මතු කළ බවක් පේනවා.

ඇත්ත. ඇත්තටම මම කවියකට සුදුසුම වචනය මොකක්ද කියලා නිතරම උනන්දු වෙනවා. ඒක මම විතරක් නෙවෙයි කවි ලියන හෝ නිර්මාණකරණයේ යෙදෙන හැමෝම කරන දෙයක් වෙන්න ඕනෙ. ඇත්තටම විවිධාකාරයේ සංස්කරණවලින් පස්සෙ අවසානයෙදි අදාළ කවියට රහම අර්ථය ගෙන දෙන වචනය හමුවීම කවි ලියන්නකුගෙ ආත්මයම නිවන කාරණාවක්.

 

මම කවි ලියද්දි කිසිම විශේෂිත ඉසව්වක් ඔළුවෙ තියාගෙන ඉන්නෙ නෑ. මානව හැඟුමක් විතරයි ඒක එක මොහොතක. ඉතින් ඔබ කිව්ව යටිපෙළක් මතු කරන කාරණාව ගැන කියන කතාවත් ඇත්ත. ඕනෑම දෙයක් එකපාර කියන්න මම කැමති නැහැ. ඒක තමයි මගේ විදිහ. මට ලියැවෙන්නේ ව්‍යංගයෙන්. ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මම ලියන කවියක් පිටිපස්සේ කාගෙම හෝ අත්දැකීමක් තියෙනවා. සමහර වෙලාවට මම මිනිස්සු වෙනුවට ස්වාභාවික වස්තු තේමා කරගෙන ලියනවා. මම අහස ගැන ලියනවා කියලා හිතමු, ඇත්තටම මම ලියන්නේ අහස ගැනම නෙවෙයි. ව්‍යංගය තුළින් අපි ලියන කවිය මතට කියවන්නාව ඇදගන්න පුළුවන් වෙනවා කියල මම හිතනවා සහ ඒ තුලින් ඇත්තටම අපි නොහිතනා පැතිවලින් පාඨකයා අපේ කවිය එක්ක වෙනම ගමනක් යනවා. මම ඒකට හරි කැමතියි. කවියක අදහස විවිධාකාරව අර්ථ ගන්වන එක එක්තරා විදිහක ලස්සනක් වැඩක්.

 

අද සෝෂල් මීඩියා කවියට ලොකු තැනක් තියෙනවා. සෝෂල් මීඩියා නිසා මුද්‍රිත කවියට තිබුණ තැන අහිමි වෙලාද ?

 

ඔව්, අද සෝෂල් මීඩියාවල කවියට ලොකු තැනක් තියෙන එක ඇත්ත. මිනිස්සුන්ට දැනෙන හැඟීම් තමයි කවියෙන් ලියන්නේ. සමහර හැඟීම් සුන්දරයි වගේම සමහර ඒවා ආවේගකාරී වෙන්නත් පුළුවන්. ඉතින් මිනිස්සු තමන්ගේ හැඟීම් වෙනුවෙන් හිංසාකාරී ක්‍රම පාවිච්චි කරනවාට වඩා මම නම් කැමැතියි හැමෝම තමන්ගේ හැඟීම් කලාත්මක විදිහට පිට කරන එකට. කවියේ හෝ නිර්මාණයේ හොඳ නරක මත එය රඳා පවතින කාලය තීරණය කරාවි. සෝෂල් මීඩියා හරි ඉක්මනට ප්‍රතිචාර ලබන්නට පුළුවන් අවකාශයක්. ඒ වගේම හොඳ කවි කියවන්න ලැබෙන තැනක්. බොහෝ දක්ෂ අයගෙ නිර්මාණ දැක ගන්න ලැබෙනව වගේම හොඳ සංවාද පවා දකින්නට ලැබෙනවා සාහිත්‍ය ලියවිලි සම්බන්ධයෙන්.

 

ඒ වගේම සෝෂල් මීඩියා නිසා මුද්‍රිත කවියට තිබුණු තැන අහිමි වුණා කියලා කියන කතාව නම් මම පිළිගන්නෙ නැහැ. සෝශල් මීඩියා නැති කාලෙක වගේම අදත් මුද්‍රිත කවියට තියෙන තැන ඒ විදිහටම තියෙනවා කියලා මම හිතනවා. මිනිස්සු වැලි මත පවා අකුරු ලියපු කාලයක් තිබුණා. ඒ ගමනේම එක තැනක් තමයි මේ සෝෂල් මීඩියා කියන්නෙ. ඒක තාක්ෂණයේ දියුණුව මත අද හැමෝටම අත ළගම තියෙන තවත් එක මෙවලමක් විතරයි. ඒ උපකරණයෙන් ලෝකය විනාශ කරන නොයෙක් දේ අතර එවන් විනාශයකට නොයා කවියක් ලියන්න තීරණය කරන එක කොයි තරම් ලස්සන වැඩක්ද? මුද්‍රිත කවිය වෙත යන ගමනක් තියෙන කිසිවෙක් සෝෂල් මීඩියා මත නවතින්නැති බව මම හිතනවා. ඒ නිසා සෝෂල් මීඩියා කියන්නෙ, මුද්‍රිත කවියට තව ටිකක් ඔපයෙන් අඩියක් තියන්න සහයෝගය දෙන්න ආව අවකාශයක් කියලයි මට නම් හිතෙන්නෙ.

 

එය තව තව මුද්‍රිත කවිය ඔප නංවන්නට හේතු වෙන කාරණාවක් කියලත් මට හිතෙනවා. ඒ දිහා ඇත්තටම සුඛදායකව බලන්න මම කැමතියි. කවදාවත් අපි වෙසෙන සමාජයට මොනතරම් අලුත් දෙයක් ආවත් මුද්‍රිත කවියට තිබෙන වටිනාකම වෙනස් නොවන බව මං විශ්වාස කරනවා.