මියගිය ප්‍රේමයක ආත්මීය වේදනාව විරාගයේ සරෝජනී

මැයි 5, 2025

 

ශ්‍රියානි අමරසේනගේ දේහ ලක්ෂණ, මුහුණේ හැඩ තල, සිනහව, කටහඩ පැහැදිලිවම අපේ සමස්ත නිළි පරපුරෙන් වෙන්කොට පෙනෙන සුවිශේෂත්වයකි. එකී ලක්ෂණ නිසාම ශ්‍රියානී අමරසේන සිංහල සිනමාවේ ‘අහිංසකාවි’ ලෙස ස්ථාන ගත කිරීම රංගන ශිල්පිනියක ලෙස ඇය කිසියම් රාමුවක සිර කර තැබීමක් ලෙස මම දකිමි. අතිශයින් ජනප්‍රියවාදී චිත්‍රපට හැදු සිනමාකරුවන් මෙන්ම සිනමාව තුළින් ජීවිතය හා මනුෂ්‍යත්වය සංකිර්ණ ලෙස සාකච්ඡා කළ සිනමාකරුවන්ගෙ ද ඇසට හසු වූයේ මේ ‘අහිංසකාවියම’ ය.

 

ශ්‍රියානී අමරසේනට සියුම් රංගනයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලද චම්පා (ගොළු හදවත), සුන්දරී (දෑස නිසා), සරෝජනී (විරාගය), අනුලා (මහ ගෙදර), විනීතා (අහසින් පොළොවට චිත්‍රපට තුළද අපට හමුවන්නේ බෙහෙවින් නිවුණු ගැහැනියකි. ඒ චරිතද අහිංසක, නිවුණු උපේක්ෂා සහගත, කරුණාබර, දයාබර ගැහැනුන්ය. ශ්‍රියානි ඒ භූමිකා කිසිදු ආයාසයකින් තොරව සාර්ථක ලෙසම නිරූපණය කළාය. ඒ අතරින් ශ්‍රියාණිගේ සාත්වික අභිනයන් සූක්ෂ්මව මතු කර ගත් චිත්‍රපටය තිස්ස අබේසේකරගේ ‘විරාගය’ යයි.

 

සරෝජනීගේ අභ්‍යන්තර මනෝභාවයත් සූක්ෂ්මව මතුවූ දෙකක් ‘විරාගය’ චිත්‍රපටයේ එයි. ඒ අරවින්දගෙ පියා අසනීප වු පසු ඔහුගේ ගෙදර කටයුතුවලට උදවු කරන්නට ආ සරෝජනීට හදිසියේ සිරිදාස මුණගැසීමත්, ඒ අවස්ථාවේදී ඔහුගේ වදන් හමුවේ ඇය මුහුණ දුන් අපහසුතාවට ඇය මුහුණ දුන් ආකාරයයි. සරෝජනී අරවින්ද හා විවාහ වන්නට කැමැත්තෙන් සිටියදී සිරිදාස ඒ බවක් නොතකා ඇය විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව හැසිරෙයි.

 

දිනක් සරෝජනී මේනකාගේ දරුවා සමඟ ආලින්දයේ කිසිවක් කරමින් සිටියදී තිරික්කලයකින් ඒ දෙසයට එන සිරිදස දකී.

 

ඇගේ මුහුණ අකුණු ගසන අහසක් මෙන් එකවරම සංකීර්ණ හැගීම්වලියකින් පිරී යයි. ඇය වහා ඔහු දැක නැඟිටින්නේ අපහසුතාවකට මුහුණ දෙන්නට සිදුවේ දොයි යන අවිනිශ්චිතය පෙරදැරි කොටගෙනය. අනතුරුව මුළුතැන්ගෙය දෙසට ගොස් සිරිදාස එන බව මේනකාට කියයි.

 

තිරික්කලයෙන් බැසගත් සැනින් සිරිදාස වේගයෙන් ඇවිදගෙන කෙළින්ම මුළුතැන්ගේ දෙසට ගොස් අනතුරුව කතා කරන්නේ කෙළින්ම සරෝජනි දෙස බලාගෙනය. එහිදි සිරිදාස හා මේනකා සමඟ ඇතිවන කතාබහ අතරතුර ඔහු ඇය දෙස බලා එල්ල කරන වදන් නිසා මුහුණ දෙන අපහසුතාවන් සාත්වික අභිනය මඟින් පිළිබිඹු කිරීමට දක්වන සමත්කම නිසා ඇගේ යටි සිත කියවා ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයාට හැකි වෙයි.

 

සිරිදාසගේ වචන සහ බැල්ම දරාගන්නට බැරි තැන ඇය,

 

‘තාත්තාගේ බෙහෙත් දෙන්න වෙලාවත් කිට්ටු වුණා’ කියමින් එතැනින් පලා යන අතරේද ඇය යටැසින් අරවින්ද දෙස බලයි. ඇගේ මුහුණේ ඇත්තේ සිරිදාස කෙරෙහි නුරුස්නා බවක්ම නොවේ.

 

සිහින් සිනාවක්ද ඇගේ දෙතොලේ ඇත. කෙසේ වෙතත් ඔහුගේ වචන අරවින්ද ඉදිරියේ පිටවීමද ඇයට ප්‍රශ්නයකි. අරවින්ද හා විවාහ වන්නට සිටියද ඇය සිරිදාසට අකමැතිම නොවේ යැයි ඒ හැඟීම අපට දනවයි.

 

මෙය තම පෙම්වතා ඉදිරියේ සිටියදී ඇය සමඟ විවාහක අපේක්ෂාවන් සිටින තරුණයකුගේ වචන ඉදිරියේ මුහුණු දෙන සංකීර්ණ මනෝභාවයකි.

 

‘විරාගය’ චිත්‍රපටයේ අවසාන භාගයේ අරවින්දට සරෝජීනී මුණගැහෙන අවස්ථාව අති සංවෙදී ලෙස ප්‍රේකෂකයා තුළ දනවන්නට අධ්‍යක්ෂවරයා දැරූ උත්සාහය සාර්ථක වන්නේ එහිදී අරවින්ද ලෙස සනත් ගුණතිලක මෙන්ම සරෝජිනී ලෙස ශ්‍රියානී අමරසේන වාචිකාභිනයෙන් මෙන්ම සාත්විකාභිනයෙන් පෑ පෙළහර නිසාය.

 

අරවින්ද දැඩි ලෙස රොගාතූරව හුදෙකලාව ඇඳක් මත වැතිර සිටියදී හදිසියේම ඔහු සොයා එන සරෝජීනී ඔහු දැක කම්පා වෙයි. ඇය පුටුවක් ඇද ඔහු සමීපයෙහි වාඩි වෙයි. අරවින්ද සෙමින් තම අතක් පොරෝනාව යටින් ගෙන එය සරෝජිනීගේ අතක් මත තබයි. ඇයද තම අතක් ඔහුගේ අත මත තබයි. ඒ අතේ එක් ඇඟිල්ලක අයගේ මංගල මුදුවය.!

 

‘මිනිස්සු කියන කතා සරෝජිනී විශ්වාස කරනවද..? ‘ ඔහු වේදනාවෙන් අසයි

‘බතී ගැනද.?’

‘ඔව්.... බතී ගැන .. බතීයි මමයි ගැන..’

‘නෑ.. අරවින්දට බෑ ගෑනියෙකුට ආදරේ කරන්න. අරවින්ද ආදරේ කරන්නේ දුරින් ඉඳගෙන..’

‘ ඒක සම්පූර්ණ ඇත්ත නෙවි’

‘ එහෙනම් අරවින්ද ඇත්තටම බතීට ආදරේ කළාද?

‘ආදරේ කළෙත් නෑ. නොකළෙත් නෑ.’

‘දුරින් ඉඳල ආදරේ කරනවා කියල මං කිව්වෙ ඒක තමයි..’

‘බතී ජිනදාසට ලියුම් ලිවුවා කීවම එයාට ඒ මිනිහා හමුවුණා කීවම මගේ හිතේ තරහකුයි ඉරිසියාවකුයි ඇති වුණා.’

‘එහෙම හිතෙන එක සාධාරණයි..’

‘සාධාරණ වෙන්නේ කොහොමද බතී මගේ දුවක් නෙවෙයි. මං හිතන්නේ මගේ හිතේ තරහකට වඩා ඇති වුණේ ඉරිසියාවක් ‘

‘අරවින්දට බතී එක්ක සම්බන්ධයක් තිබුණද?‘ සරෝජීනීගේ ගේ මුහුණෙ විමතියක්ද සියුම් වේදනාවක්ද නැඟෙයි.

‘සරෝජිනී කිවුව වගේ මං ඈතින් ඉඳන් බතීට ආදරේ කරල තියෙන්නේ ඒක මට තේරෙන්නේ දැන්’

 

‘නමුත් මිනිස්සු හිතන්නේ වෙනම දෙයක්... ඒවා වෙනස් කරන්න බෑ’

‘මං දන්නවා මිනිස්සූ කිවුව ඕප දූප කතා අහල මං හරියට දුක් වින්දා. දැන් උන් මට මොනව කිවුවත් කමක් නෑ. සරෝජිනී ඒ කතා විශ්වාස කරන්නේ නෑ නේද?’

 

‘නැහැ අරවින්ද. මං විශ්වාස කරන්නේ නැහැ’ ඇය හෙමින් ඉකි ගසයි. ඇය ආපසු යන්නට පෙර අසල වූ ලාච්චුවක තිබූ ලියුම් කවරයක් අරන් දෙන්නැයි අරවින්ද කරන ඉල්ලීම අනුව එය අතට ගත් සරෝජිනීගේ මුහුණේ කිසියම් තිගැස්මක්ද වේදනාවක්ද ඇති වෙයි. සරෝජිනී විසින් එවන ලැබූ එම ලිපියේ තිබුණේ ගෙදරට සොරා පැන ගොස් විවාහ වෙමුයි ඇය ඔහුට කළ යෝජනාවකි. සරෝජිනී එය කියවා කම්පා වෙයි. අරවින්දට නොපෙනෙන්නට ඉකි ගසා හඬයි.

‘සරෝජීනී මට එවුව ලියුම් ඔක්කොම පිච්චුවා. ඒත් මේ ලියුම පිච්චුවෙ නැත්තේ ඇයි කියල මටවත් තේරෙන්නේ නෑ.

‘සරෝජිනීට තිබුණු ආදරෙත් නැති වුණා. තාත්තත් අමතක වුණා. ඒත් මට ඔය ලියු අමතක වුණේ නෑ’ අරවින්ද එසේ කියද්දී සරෝජිනීගේ අභ්‍යන්තර වේදනාවද ප්‍රේක්ෂකයා තුළ සූක්ෂ්ම ලෙස දනවන්ට ශ්‍රියානී අමරසේන සමත් වෙයි.