විදුලි බිලට සහනය දෙන ක්‍රම දැනගෙන ලයිට් දාමු

අගෝස්තු 25, 2021

 

හිතට බරක්වන විදුලි බිලට සහනයක් එක් කළ හැකි නම්....

Invertor තාක්ෂණයෙන් යුතු උපකරණ විදුලිය රැක දෙයි

 

 

සමහරකුගේ රැකියාවන් අහිමි වී ඇත. තවත් අයෙක්ට ලැබෙන්නේ වැටුපෙන් අඩකි. මූලීක වැටුප පමණක් ලැබෙන අය ද මේ අතර වෙති. අතට සල්ලි ලැබෙන්නේ මෙලෙසින් වුවත් වියදම්වල නම් අඩුවක් නැත. ඒ නිසාම මාසික වියදම් අතරට එක්වන විදුලි බිල ඔබේ හිතට බරක් බව නොකිවමනා ය.

විදුලි උපකරණ සීරුවට පරිහරණය කරමින් විදුලි ඒකක ගණන අඩු කර ගත හැකි නම්..... මුදල් පසුම්බියට ලැබෙන සහනය ඔබට තදින් ම දැනෙනු ඇත.

අපි මේ ඔබට කියන්නේ ඒ සහනය උදාකරගත හැකි පිළිවෙතයි.

 

Invertor තාක්ෂණය

 

Invertor තාක්ෂණයෙන් යුතු විදුලි උපකරණ තරමක් මිලෙන් වැඩි වුවත් එය විදුලි බිලට සහනයක් ගෙන දෙයි.

 

ශීතකරණය

 

ඕනෑම නිවෙසක පාහේ දක්නට ලැබෙන අද වන විට ගෘහණියට නැතිවම බැරි ශීතකරණය ඔබේ විදුලි බිලට බරකි. නැතිව ම බැරි විදුලි උපකරණයක් භාවිත කරමින් විදුලි බිල අඩු කරගැනීම ගැටලුවක් වන්නට ඇති.

පළමුව නිවෙසේ ඇති සියලුම විදුලි උපකරණ නිවෙසේ සිටින සාමාජිකයන් ගණනට ගැළපෙන ධාරිතාවකින් යුතු ඒවා විය යුතුය.

තනි දොර ශීතකරණයකට වඩා දොර දෙකේ ශීතකරණයකට වැයවන විදුලි ඒකක ගණන වැඩිය. මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය වාර ගණනක් ශීතකරණයේ දොර ඇරීම වැසීම අනුව මසකට විදුලි ඒකක 20 - 30 ත් අතර ප්‍රමාණයක් වැයවන බව ගණන් බලා තිබේ. දොර දෙකේ ශීතකරණයකට විදුලි ඒකක 50 -70 ත් අතර ප්‍රමාණයක් වැය වේ.

මෙය නිෂ්පාදනයේ විවිධත්වය අනුව එහා මෙහා වේ.

එසේම ශීතකරණය අරින වහන වාර ගණන අනිවාර්යයෙන් ම විදුලි බිලට බලපෑම් කරයි.

ආහාර පිසීමට පෙර පිසින්න ගන්නා දේවල් මොනවාදැයි සිතන්න. ශීතකරණයේ දොර ඇරගෙන ඒ ගැන හිතන්න එපා. එහි ඇති එළවළු කූඩයම පිටතට ගන්න.

දරුවන් නිතර නිතර ශීතකරණයේ දොර අරින නිසා එය ලොක් කර තැබීම කළ හැකියි. ශීතකරණයේ බීඩීං එකෙහි ගැටලු ඇත්නම් ඒ පිළිබඳ වහාම සොයා බැලිය යුතුයි.

එය අපිරිසුදුව ඇත්නම් ළා රස්නේ වතුරින් හොඳින් පිස දමන්න. එවිට කුණු දූවිලි, තෙල් ගතිය ඉවත් ව යයි.

 

විදුලි ඉස්ත්‍රික්කය

 

මේ විදුලි බිලට බලපෑම් එල්ල කරන තවත් උපකරණයකි. එදා භාවිත කළ බරැති විදුලි ඉස්ත්‍රික්ක නම් දැන් ඒවා ඉවත් කරන්න කාලයයි. මේවාට අධික ව විදුලිය වැය වේ. ඒ වෙනුවට දැන් වෙළෙඳපොළේ ඇති බර අඩු විදුලි ඉස්ත්‍රික්ක භාවිතයට ගන්න.

සතියක් තුළ අඳින්න සැලසුම් කරන ඇඳුම් සියල්ල එකවර මැද තබා ගන්න. මෙය ඔබේ කාලය, මුදල් ආදී සියල්ල ඉතිරි කරවයි.

 

රයිස් කුකරය

 

ළිප්වල බත පිස ගැනීම වෙනුවට දැන් බොහෝදෙනා පුරුදුව සිටිනුයේ ඒ සඳහා රයිස් කුකරය භාවිත කිරීමටයි.කාර්යක්ෂමව බත පිස ගැනීමට ගන්නා රයිස් කුකරය අනිවාර්යයෙන් ම ඔබේ පවුලේ සාමාජිකයන් ගණනට ගැළපෙන එකක් විය යුතුයි.

 

විදුලි බිල සඳහා ඒකක ගණනයේ දී

 

පහත සමීකරණය ආශ්‍රයෙන් ඔබට විදුලි ඒකක වැයවන අන්දම පිළිබඳ දළ අදහසක් ගතහැකි වේවි.

 

උපකරණයේ ජවය×පාවිච්චි කරන පැය ගණන/1000

 

මෙහිදී උපකරණයේ ජවය යන්නට එම උපකරණයේ සඳහන් කර ඇති කිලෝ වොට් ගණන ආදේශ කරන්න. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකහමාරක් පමණ පිසගත හැකි ප්‍රමාණයේ රයිස් කුකරයක් වොට් 1000 ක පමණ ප්‍රමාණයකින් යුතුයි.

එහිදී බත පිසෙන්නට විනාඩි 20 ක් පමණ ගත වේ. ඒ අනුව වොට් 1000×0.33/1000 මෙහිදී පිළිතුර වන්නේ 0.33 කි.

ඒකක 1/3 කි. රයිස් කුකරය තෙවරක් භාවිත කරද්දී ඒකක 1ක් වැය වේ. මෙය සෙසු විදුලි උපකරණවලට ද ආදේශ කර බලා ගත හැකිවේ.

මේ කරුණු කාරණා එක් මසක දී අත්හදා බලන්න.

ඔබට ම අවබෝධ වේවි විදුලි බිලට යම් සහනයක් එක් කරන්නට ඔබ සමත් වූ බව.

 

 

උපදෙස්:
විදුලි අධිකාරි සුරංග සිල්වා