කොම්පෝස්ට් පොහොර ගෙදරදී ම හදාගනිමු

මැයි 31, 2021

 

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුපුරුදු ජාතියක් වූ අපි දශක කිහිපයක් තිස්සේ විවිධාකාරයේ රසායනික පොහොර භාවිතයට පුරුදු වී සිටින්නෙමු. එපමණක් නොව ඒ රසායනික පොහොර භාවිතයේ ආදීනව ද මේ වනවිට හරි අපූරුවට අත් විඳිමින් සිටින්නෙමු.

 

එබැවින් වර්තමානයේ දී මේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමට අපට සිදුවී තිබේ. ඒ වෙනුවට කාබනික

පොහොර සකසා ගැනීම වඩාත් හිතකරවන අතර ඒ සඳහා යම් දැනුමක්, සහයෝගයක් ලබාදීමයි අපේ මේ වෑයම.

කාබනික පොහොර එහෙමත් නැතිනම් කොම්පෝස්ට් ඔබට ද ඔබේ ගෙවත්තේදීම නිෂ්පාදනය කරගත හැකිය. ඒ ඔබේ

ගෙවත්තේ වගා කරනු ලබන මල්, පලතුරු, එළවළු ආදී වගාවන් සඳහා භාවිතය වෙනුවෙනි. ඊට අමතරව ඔබට ස්වයං

රැකියාවක් එහෙමත් නැතිනම් කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් ලෙසින් ද මේ කොම්පෝස්ට් සකසා අලෙවි කළ හැකියි.

ඉතින් ඒ කිනම් කාරණාවකට වුවද කොම්පෝස්ට් සැකසීම පිළිබඳ ඔබ ක්‍රමවත්ව දැනුවත් විය යුතු වේ. සාමාන්‍යයෙන්

ක්‍රම කිහිපයකටම ඔබට මේ කොම්පෝස්ට් සකසා ගත හැකියි. එනම්,

1. වළ ක්‍රමය

2. ගොඩ ක්‍රමය

3. බඳුන්ගත/බැරල් ක්‍රමය

4. කෝටු රාමු ක්‍රමය

 

ආදී ක්‍රම කිහිපයක්ම වැඩි දෙනකු අතර ජනප්‍රියව ඇත.

 

කොම්පෝස්ට් සෑදීමට අවශ්‍ය දෑ

 

ඔබේ ගෙවත්තෙන් පහසුවෙන්ම මේ සඳහා අමුද්‍රව්‍ය සපයාගත හැකියි.

එනම් ගෙවත්තේ ශාකවලින් වැටෙන පත්‍ර, අමු

ශාක පත්‍ර, මුළුතැන්ගෙයින් ඉවතලන එළවළු, පලතුරු ආදී දිරායන දේවල්, ලී කුඩු, ගෙවත්ත හෝ නිවෙස අතු ගා ඉවතලන කුණුරොඩු, සත්ත්ව අපද්‍රව්‍ය ආදිය මේ සඳහා එකතු කළ හැකියි. ඊට අමතරව තරමක් ඝනකම් කළු පැහැති ඉටි රෙද්දක්, කලින් නිෂ්පාදනය කළ කොම්පෝස්ට් යම් ප්‍රමාණයක්, ජලය සහ

එප්පාවල රොක් පොස්පේට් යම් ප්‍රමාණයක් ද මේ සඳහා සපයාගන්න.

 

එකතු නොකළ යුතු දෑ

 

ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ලම ඔබට මේ කොම්පෝස්ට් නිෂ්පාදනයට එකතු කරගත හැකි වුවත් ඒ සඳහා එකතු නොකළ යුතු දේවල් ද කිහිපයක් පවතී.

එනම් මස්, මාළුවලින් ඉවතලන කොටස්, ඇටකටු, කිරි නිෂ්පාදන, රෝගී වූ පැළෑටි, ප්ලාස්ටික්, පොලිතීන්, ටින් වැනි නොදිරන ද්‍රව්‍ය සේම මුළුතැන්ගෙයින් ඉවතලන අළු ද මෙයට එකතු නොකරන්න. මන්ද අළුවලින් කොම්පෝස්ට්වල ක්ෂාරීය බව වැඩිකරන අතර එමඟින් ඔබ සකස් කරනා කොම්පෝස්ට්වල ප්‍රතිඵලදායි

ස්වභාවය අඩු වේවි.

 

අනුගමනය කළ යුතු පියවර

 

1. ඔබට සොයා ගත හැකි අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ මේ සඳහා යොදා ගත හැකි ඉඩකඩ ප්‍රමාණය සලකා බලන්න. අනතුරුව

ඒ අනුව ඉහත දැක්වූ ක්‍රම හතරෙන් ඔබට වඩාත් ගැළපෙන ක්‍රමය තෝරා ගන්න.

2. ඔබ තෝරාගත් ක්‍රමය අනුව පළමුව කළ යුත්තේ ස්ථානයක් වෙන් කිරීමයි. එම ස්ථානය දැඩි හිරුඑළිය පතිත නොවන,

මධ්‍යම ප්‍රමාණයේ විසරිත හිරු එළියක් සහිත, ජලය එක්රැස් නොවන, ඔබේ ගෙවත්තේ තරමක් උස් ස්ථානයක් මේ සඳහා

තෝරාගන්න. එවැනි ස්ථානයක් නොමැති නම් ඉහත අවශ්‍යතාවන් සපිරෙන පරිදි අදාළ ස්ථානය සකසා ගන්න.

3. මේ කිනම් ක්‍රමය අනුගමනය කළද අමුද්‍රව්‍ය ඇතිරීමේ දී මුලින්ම කළ යුත්තේ වියළි ද්‍රව්‍ය එනම් පිදුරු, වියළි පත්‍ර, කඩදාසි

ආදිය අතුරා ගැනීමයි.

4. දැන් අමු ශාක පත්‍ර, සත්ත්ව අපද්‍රව්‍ය කොටස් තට්ටු වශයෙන් එළා ගන්න. මේ තට්ටු අතරට කැබලිවලට කපාගත් කෙසෙල් කඳන් කැබලි තට්ටුවක් ද අතුරන්නට අමතක කරන්න එපා. තට්ටු දෙකක් අතරට එප්පාවල රොක් පොස්පේට් ද

සාමාන්‍ය ප්‍රමාණයක් උඩින් අතුරන්න. මෙහිදී,

* වළ ක්‍රමය - වළ පිරී අඩි 02 ක් පමණ උස්වන පරිද්දෙන් ද,

* ගොඩ ක්‍රමය - අඩි 05 ක් ඉක්මවන සේ ද, (දිග, පළල තමා සතු

අමුද්‍රව්‍ය ප්‍රමාණයට - දළ වශයෙන් පළල අඩි 04 ක් පමණ)

 

* බැරල් හෝ බඳුන් ක්‍රමය - බැරලය හෝ කොම්පෝස්ට් බඳුන

පිරෙන තෙක්,

* කෝටු ක්‍රමය - කෝටු රවුම පිරී යන තෙක්

මේ අමුද්‍රව්‍ය තට්ටු වශයෙන් ගොඩ ගසාගන්න. ඒ අතරතුරේ තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා වරින්වර ජලය ද

යෙදිය යුතු වේ.

5. අමුද්‍රව්‍ය ගොඩ ගසා අවසන් වූ පසුව සියල්ලටම ඉහළින් කළු පැහැති ඝන ඉටි රෙද්දකින් හෝ පොලිතීන් ආවරණයකින්

වසා දමන්නට අමතක නොකරන්න. මෙහිදී කොම්පෝස්ට් හොඳින් සෑදීම සඳහා වාතාශ්‍රය ද අවශ්‍ය වේ.

එබැවින් ඔබ ගොඩගසාගත් අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම වැසී යන පරිදි ආවරණය නොකරන්නටත් වගබලාගන්න.

ඔබ කොම්පෝස්ට් සැකසීමට බැරලයක් හෝ බඳුනක් භාවිත කරන්නේ නම් එය උඩින් වසා දමා පැත්තෙන් අඟල් 3 x 3 ප්‍රමාණයේ ත්‍රිකෝණාකාර සිදුරු සාදාගන්න. කොම්පෝස්ට් සකසනා ප්ලාස්ටික් බඳුන්වලද තරමක් විශාල රවුම් සිදුරු සාදා ගත හැකිය.

මෙහිදී ගොඩ ක්‍රමය, බඳුන් ක්‍රමය, කෝටු රාමු ක්‍රමය යන ක්‍රම තුනටම ගොඩ ගැසූ අමුද්‍රව්‍යවලට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා ගත හැකියි. නමුත් වළ ක්‍රමයේ දී එය අසීරු බැවින් වළ ක්‍රමය යනු කොම්පෝස්ට් සැකසීමට එතරම් උචිත ක්‍රමයක් නොවේ.

 

6. අමුද්‍රව්‍ය ගොඩ ගසා දින 4 ක් 5 ක් ගත වූ පසුව එහි තෙතමනය පරීක්ෂාකර බලන්න. අවශ්‍ය නම් යළිත් ජලය දමා ගොඩ ගසා දමන්න. මේ ආකාරයට දින හතරකට, පහකට වරක් දිගටම තෙතමනය පරීක්ෂාකර බැලිය යුතු වේ.

 

7. දැන් ගොඩ ගසා සති තුනක් පමණ ගත වී ඇත. අනතුරුව එය විවරකර අඩක් දිරා ඇති ද්‍රව්‍ය හොඳින් පෙරළන්න. ඒ සඳහා ඔබට උදැල්ලක්, මුල්ලුවක් වැනි දෑ භාවිත කළ හැකිය. අමුද්‍රව්‍ය දිරායෑමේ ප්‍රතිශතය අඩුබව පෙනෙන්නේ නම් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිකර ගැනීම උදෙසා නැවත පැරැණි කොම්පෝස්ට් කොටසක් හෝ දිරාගිය ගොම කුඩු මෙයට එකතු කරන්න. ඇතැම් පිරිසක් මෙම දිරායාම ඉක්මන් කරවීම පිණිස යූරියා වැනි ද්‍රව්‍ය එකතු කරනු අසන්නට ලැබේ. නමුත් එලෙස යූරියා එකතු කිරීමෙන් ඔබ කාබනික පොහොරකින් බලාපොරොත්තුවන ප්‍රශස්ත තත්ත්වය ලබාගත නොහැක. ඒ වෙනුවට නයිට්‍රජන් බහුල ග්ලිඩිසීරියා කොළ, අතු, ගව මුත්‍රා ආදිය එකතු කරන්න.

එමෙන්ම ඔබ අමුද්‍රව්‍ය අතුරන මුල් අවස්ථාවේදීම එම අමුද්‍රව්‍ය කුඩා කැබැලිවලට කඩා හෝ කපා එකතු කරගන්නේ එය දිරායාම ඉක්මන් කරවීමට හේතුවක් වේවි.

 

 

8. මේ වනවිට ඔබ අමුද්‍රව්‍ය ගොඩ ගසා සති 08 ක්, එනම් මාස දෙකක් ගෙවී අවසන්. දැන් නැවතත් ගොඩ විවරකර හොඳින් පෙරළා මිශ්‍ර කරන්න. අනතුරුව පෙර පරිදිම අසුරා තබන්න.

නැවතත් සති හතරකින් එනම් තෙවැනි මාසයේ දී පෙර පරිදිම තුන්වැනි වරටත් පෙරළීම සිදු කරන්න.

 

මේ ආකාරයට නියමිත වේලාවන්හි දී අමුද්‍රව්‍ය ගොඩ පෙරළීමෙන්, මනාලෙස වාතාශ්‍රය ලැබීමෙන්, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හොඳින් ඇති වේ. එමෙන්ම මනා උෂ්ණත්වයක් පැවතීමත්, දිරායාම හොඳින් සිදුවීමට අවශ්‍ය තෙතමනය මනාව පවත්වාගෙන යාම වැනි කාරණා හේතු කරගෙන මාස 04 ක් 04 1/2 ක් වැනි කාලයක් තුළ ඉතාමත් හොඳ තත්ත්වයේ කොම්පෝස්ට් පොහොර තොගයක් සකසා ගැනීමට හැකියාව ලැබේවි.

මෙහි සඳහන්වන බඳුන් ක්‍රමය, වළ ක්‍රමය සහ කෝටු රාමු ක්‍රමය යන ක්‍රම තුනම සාමාන්‍ය ගෘහස්ථ කොම්පෝස්ට්

පොහොර අවශ්‍යතා පිරිමසා ගැනීමට සුදුසු වේ. එහෙත් ඔබ ව්‍යාපාරික මට්ටමින් සිදුකරනා කොම්පෝස්ට් නිෂ්පාදන

ව්‍යාපෘතියක් සඳහා ඉතා යෝග්‍ය වන්නේ ගොඩ ක්‍රමය බව මතක තබාගන්න.

 

මේ එක් එක් ක්‍රමයන්හි වාසි අවාසි පිළිබඳ ලබන සතියේ දී දැන ගනිමු.

 

උපදෙස්

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන

කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන

අංශයේ, උද්‍යාන අලංකරණය සහ

විසිතුරු මල් වගා පාඨමාලා උපදේශක,

කෘෂි විද්‍යාශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි