කුඩා ෆැලනොප්සිස් පැළවලට දින දෙකකට වරක් ජලය දැමිය යුතුය

උඩවැඩියා මල් ලෝකය
දෙසැම්බර් 27, 2021

 

ශ්‍රී ලාංකීය යුවතියන්ගේ මංගල දිනය වඩාත් ආකර්ෂණීය කරනා මලක් වූ ෆැලනොප්සිස් ඕකිඩ් ප්‍රභේදයේ නිජබිම් වන්නේ දකුණු සහ ගිනිකොන දිග ආසියානු වනාන්තරයි. ඊට අමතරව උතුරු යුරෝපීය රටවල්වල සහ උතුරු ආසියා,‍ ඇමෙරිකානු රටවල් ආදියෙහි ද අඩු සූර්යාලෝකය යටතේ මේ ඕකිඩ් ප්‍රභේදය හොඳින් වැඩෙනු ඇත.

ගනකම් පත්‍ර

 

සාමාන්‍යයෙන් ෆැලනොප්සිස් ශාකයේ ව්‍යාජ බල්බ (Pseudobulds) නොමැති අතර ශාකයට අවශ්‍ය ආහාර සහ ජලය ගබඩා කරගැනීම සඳහා ඉතා ගනකම් පත්‍ර දැකිය හැකියි. මෙම පත්‍ර තද කොළ පැහැයෙන් යුක්ත වේ. එමෙන්ම ෆැලනොප්සිස් ශාක මුල් වැඩි විෂ්කම්භයකින් ද යුක්තය.

 

දෙමුහුන් ප්‍රභේද

 

ඒක පාද (Monopodal) වර්ගයට අයත් මේ ෆැලනොප්සිස් ඕකිඩ්වල අපූරු දෙමුහුන් ප්‍රභේද දැකිය හැකියි. එනම් ඩොරිට්ස්, වැන්ඩා, රෙනන්තරා වැනි වෙනත් උඩවැඩියා ගණ සමඟ දෙමුහුන් කර ඩොරිටොනොප්සිස්, වැන්ඩනොප්සිස්, රෙනන්නොප්සිස් වැනි අන්තර් ගණ උඩවැඩියා වර්ග ද මේ ෆැලනොප්සිස් වර්ග අතර වේ.

 

ව්‍යාප්ත කිරීම

අපට වගාව සඳහා විශාල ෆැලනොප්සිස් පැළ සංඛ්‍යාවක් අවශ්‍ය වූ විටෙක ඇට මඟින් (Seed culture), පටක රෝපණයෙන් (Tissue culture) එම ක්‍රම දෙකෙහි මිශ්‍රණයකින් ලබාගත හැකියි. මෙහිදී එම පැළ නිෂ්පාදනය ජීවානුහරණ තත්ත්වයන් යටතේ විද්‍යාගාරයන් තුළදී සිදුකළ යුතු වේ. බෝතල් හෝ ෆ්ලාස්කු තුළ බෝ කෙරෙන මේ ෆැලනොප්සිස් පැළෑටි වසරක් පමණ ගත වන විට උඳුපියලිය කොළයක ප්‍රමාණයේ පත්‍රවලින් යුතු වේවි.

අනතුරුව බෝතල් හෝ ෆ්ලාස්කුවලින් පිටතට ගත් පැළ මාස හතරක පමණ කාලයක් සමූහ බඳුන්වල හෝ කුඩා මැටි පෝච්චිවල වගා කළයුතුය. එහිදී වගා මිශ්‍රණය ලෙස අඟුරු, උළුකැට මිශ්‍රණය භාවිත කරන්න.

 

නඩත්තුව

 

මුල් කාල වකවානුව තුළ මේ ෆැලනොප්සිස් පැළවල වර්ධනය සිදුවන්නේ ඉතාමත්ම සෙමෙනි. ඒවාගේම ඔබ මේ පැළෑටි වර්ෂාවෙන් ආරක්ෂා

 

කරගැනීම ද කළයුත්තකි. අවම වශයෙන් 60%ත් 70%ත් අතර සෙවණ සැපයීමද කරන්න.

 

ජල සැපයුම

 

කුඩා ෆැලනොප්සිස් පැළවලට දිනක් හැර දිනයක් ජලය සැපයීම ප්‍රමාණවත්ය. එහිදී දවසේ උදෑසන කාලය තුළ ජල සැපයුම කළයුතු අතර ඒ සඳහා දියර ඉසිනයක් භාවිත කරන්න.

මෙහිදී වගාවේ අවට පරිසරයේ තෙතමනය සහ වියළිබව සලකාබලා ජල සැපයුම පාලනය කරන්නටත් ඔබ වගබලාගන්න. එසේ නොවුණහොත් වගාවේ ජලය ප්‍රමාණය වැඩි වී කුඩා පැළ රෝගවලට බඳුන්වීමට ඉඩ තිබේ.

වගාවට පොහොර සැපයීම සහ බඳුන් මාරු කිරීම පිළිබඳ අපි ලබන සතියේ දී දැනගනිමු.

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ