ගෘහ අභ්‍යන්තර අලංකරණයේ අංක එකේ සුන්දරිය මොන්ස්ටෙරා

ඔක්තෝබර් 10, 2022

 

විචිත්‍ර පත්‍රික වැලක් ලෙසින් නිවෙස ඇතුළත වඩාත් සොඳුරු කරන මේ දිනවල වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වන අපූරු ශාකයකි මොන්ස්ටෙරා (Monstera). බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අමෙරිකාව නිජබිම කරගත් මොන්ස්ටෙරා "සුන්දර රාක්ෂයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබේ.

තනි කොළ පැහැති මොන්ස්ටෙරා අපට සාමාන්‍යයෙන් දැකගත හැකි වුවත් වඩාත් ඉහළ ඉල්ලුමක් පවතින්නේ කහ හා සුදු වර්ණ මිශ්‍ර වූ වෙරීගේටඩ් වර්ග සඳහාය. එම වර්ග තායිලන්තයේ බෙහෙවින් ජනප්‍රිය අතර, අපට ලැබෙන්නේ ද තායිලන්තයෙනි. ඒ නිසා බොහෝ වගාකරුවන් මේ වෙරීගේටඩ් වර්ග තායි මොන්ස්ටෙරා ලෙසින් හඳුන්වයි.

මේවායේ මිල රුපියල් 20000ක් හෝ ඊට වැඩි මිස අඩු නැත. ඒ වගේම අපේ රටේදී සොයා ගැනීම තරමක් දුලබය. නමුත් තනි කොළ පැහැති මොන්ස්ටෙරා වර්ග සොයා ගැනීම පහසුය.

 

ලක්ෂණ

ඇරොයිඩ් පවුලේ මොන්ස්ටෙරා කුලයට අයත් ශාක විශේෂ 50ක් පමණ දැකිය හැකියි. විචිත්‍ර හැඩතල සහ විවිධ වර්ණ සහිතව දැකිය හැකි මේ විශේෂ එකකට එකක් නොදෙවැනි අන්දමින් සොඳුරුය. ඒ නිසාම මල් ලෝලීන් තම වගාවට මොන්ස්ටෙරා වර්ග කිහිපයක්ම එකතු කර ගැනීමට පසුබට නොවෙති.

නිවෙස ඇතුළත සේම ගෙවත්තෙහි තරමක් විශාල කඳක් සහිත ශාක ආශ්‍රිතව හෝ ආධාරක සහිතව සෙවණේ වගා කරන මොන්ස්ටෙරා නිවෙසට සේම ගෙවත්තට රැගෙන එන්නේ ද කදිම ආකර්ෂණයකි. ඊට අමතරව තරමක් ඉඩකඩ සහිත කාර්යාල සඳහා ද ගෘහස්ථ පැළෑටියක් ලෙසින් මොන්ස්ටෙරා එකතු කර ගනියි.

මේ ශාකය ඍජු හිරු එළිය සේම දැඩි ආලෝකය ද නොඉවසයි. නමුත් වඩාත් සෙවණ සහිත අඳුරු ස්ථානවල ද ප්‍රශස්ත වර්ධනයක් දැකිය නොහැකිය. එබැවින් වැඩි සෙවණ හෝ එළිය නොමැති අර්ධ සෙවණ සහ ආලෝකය සහිත පරිසර තත්ත්වයක් තුළ ඉතා හොඳින් වැඩෙනු දැකිය හැකියි.

බෝ කිරීම

දඬු කැබලි කපා සිටුවීම හරහා පහසුවෙන්ම මෙහි වර්ගයා බෝ කරගත හැකියි. මෙහිදී මොන්ස්ටෙරා කඳ කොටස ඉහළට ඇදෙත්ම මුල් සහිත කොටස් බඳුනෙන් හෝ පොළොවෙන් පිටතට මතු වේ. එවිට මුල් සහිත කොටස් කිහිපයක් කපා වෙනම සිටුවා ගත හැකි අතර, මවු ශාකය නැවතත් වර්ධනය වනු ඇත.

 

වගා මාධ්‍යය

පස් කොටස් 2ක් සඳහා කොම්පෝස්ට් කොටස් එකක් සහ වැලි කොටස් එකක් වශයෙන් මිශ්‍ර කර වගා මාධ්‍යය සකසා ගන්න. මෙහිදී ඔබට මවු ශාකයෙන් වෙන් කරගත් අලුත් පැළ සඳහා තරමක ප්‍රමාණයේ බඳුන් තෝරා ගත හැකි අතර, වසර 2 -3ක් ගත වූ පැළ සඳහා වගා මාධ්‍යය අලුත් කර විශාල ප්‍රමාණයේ බඳුන් තෝරාගන්න. කඳ කැබලි කපාගත් පසු දිලීර ඇතුළු වී කුණු වීම වළක්වා ගැනීමට දිලීර නාශකයක් ආලේප කරන්න. මේ ශාකය බඳුනේ සිටුවා ප්‍රමාණවත් පරිදි ජලය යොදා සිටුවා ගත් බඳුන සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ඉටි කවරයකින් ආවරණය කර සෙවණ ඇති ස්ථානයක සතියක් පමණ නොසෙල්වා තබන්න. එමඟින් ඉක්මනින් මුල් අද්දවා ගත හැකියි. ඇතැම් අය මෙම දඬු කැබලි කපා ජල බඳුනක බහා තැබීමෙන් ද මුල් අද්දවා ගනී. මේ ඕනෑම ක්‍රමයකට මොන්ස්ටෙරා ප්‍රොපගේෂන් කරගත හැකිය.

 

ජල සැපයුම

කඳ කැබලි සිටුවා මුල් සවිමත් වනතුරු දිනපතා ජලය සැපයුව ද පසුව දින දෙකකට හෝ තුනකට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්.

 

පොහොර

නයිට්‍රජන් වැඩි පොහොරක් මසකට වරක් යොදන්න.

 

රෝග සහ හානිපත්‍ර කළු වීම

ජලය වැඩි වීම සහ වගා මාධ්‍යය තුළ හොඳින් ජලය නොබැසීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මුල් කුණු වී ඇත්නම් කපා ඉවත් කර ජලය හොඳින් බැස යාමට අවශ්‍ය කටයුතු යොදන්න.

 

පත්‍ර දුඹුරු පැහැ ගැනීම

ජලය වැඩි වීම සහ අඩු වීම නිසාද මෙය සිදු වේ. පසෙහි තෙතමනය නිතර පරීක්ෂා කර ක්‍රමවත්ව පවත්වාගෙන යන්න.

 

පත්‍ර කහ පාට වීම

ජලය වැඩි වීම සහ ආලෝකය ප්‍රමාණවත්ව නොලැබීම නිසා ඇතිවන තත්ත්වයකි. ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන්න.

 

පත්‍ර හැකිළීම

ජලය අඩු වීම නිසා මේ තත්ත්වය ඇතිවන අතර, ක්‍රමවත්ව ජලය යෙදීම සහ එය වගා මාධ්‍යයේ රැඳී තිබෙන වෙලාව පිළිබඳ සැලකිලිමත් වන්න.

 

පත්‍ර හැලීම

ශාක මුල්වලට ජලය ක්‍රමවත්ව නොලැබීම නිසා ඇතිවන තත්ත්වයකි. මෙය වළකාගන්නට නම් පස හොඳින් මුල්ලු කර මුල්වලට ජලය ලැබෙන්නට සලස්වන්න.

 

පළිබෝධ හානි

මෙය ඉතාමත් කලාතුරකින් දැකිය හැකි රෝගී තත්ත්වයකි. එබැවින් පළිබෝධ නාශක හෝ නිවෙසේදී සකසා ගත හැකි කෘමි විකර්ශකයක් භාවිත කරන්න.

 

උපදෙස්

හෝමාගම ප්‍රසාදි පැළ තවානේ

මනෝරි කුරුප්පු