වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙසක් ඉදිකිරීමේදී පළමුවෙන්ම කරන්නේ ළිඳක් කැණීමයි
ගම්පහ නගරයේ බෞද්ධාලෝක මාවත ඔස්සේ රෝහල පැත්තට යද්දී දකුණු පැත්තෙන් පැරැණි නිවෙසක් දක්නට ලැබෙනවා. මුලින්ම මේ නිවෙස නෙත ගැටුණේ මීට දශක හතරකටත් ඉහත කාලයකදී.
සිංහල සොල්දර සම්ප්රදායේ නිවෙසක් වන මෙය අදටත් එදා දුටු අයුරින්ම ඉතාම හොඳින් නඩත්තු කරමින් පවත්වාගෙන යනවා. මැලේෂියන් බෆලෝ තණකොළ වවා කපා මට්ටම් කළ තණ නිල්ල සහිත ගෘහෝද්යානයත් නෙතට ගෙන එන්නේ අපුර්ව සුන්දරත්වයක්.
බැලූ බැල්මටම තේරෙනවා සීදේවිය රජයන නිවෙසක් කියලා. වැදගත්ම කාරණාව මේකයි. මේ නිවෙස වසර සීයකට වඩා පැරැණියි. ඔබත් දැකලා ඇති සමහර නිවාස තියෙනවා, මහා ධනස්කන්ධයක් වියදම් කරලත් හදපු මහා මන්දිරවල පදිංචිවෙලා වසරෙන් දෙකෙන් පාළු වෙලා යනවා. ඇයි එහෙම වෙන්නෙ.... එක නිවෙසක සීීදේවිය රජයන්නටත්, තවත් නිවෙසක මූදේවිය අරක්ගන්නටත් හේතුව මොකක්ද?
අපිට විසඳුම් නැති වුණාට විසඳුම් තියෙන අය අපි අතර ඉන්නවා. ඉතින් මමත් ගියා මාවනැල්ලේ මාවෙල තියන පුරාණ ගම්මානෙට. බලන කපොල්ල තරණය කරන්න ආපු පරංගි හේවායන්ගේ රුහිරු ගංගාවෙන් රත් පැහැයට හැරුණු ඇළපාර ‘මාලේ ඇළ’ වුණාලු. ඉතින් මාලේ ඇළ පියමං කරලා පාරම්පරික ඡ්‍යොතීර්වේදී ජානක රත්නායකයන්ගේ නිවෙසට ගොඩවැදුණා. යහමින් කිතුල් පැණි දාපු තලප එහෙම සප්පයාං වෙලා තමයි කතාබහට මුල පිරුවෙ.
*ජානක මහත්තයා, නිවෙසක් ඉදිිකිරීමේදී වාස්තු විද්‍යාව කියන සාධකය අනිවාර්යයම ද?
“පැහැදිලිව ඔව්. ඒ නියමයන් පිළිපැදීම නියතයක්. අද කාලෙ සමහරු අපේ පාරම්පරික ඥානයට මිථ්‍යාව කියල ගැරහුවාට ඒවායේ විද්‍යාත්මක භාවය ඔප්පු කරන්න කොතෙකුත් නිදර්ශන පෙන්වා දෙන්නට පුළුවන්. ඒ පිළිබඳව අපි ඉදිරියෙදි කතා කරමු.”
* හොඳයි එහෙමනම් නිවෙසක් ඉදිකිරීමේදී පළමුවෙන්ම කළ යුත්තේ මොකක්ද?
“හොඳ ප්‍රශ්නයක්. ඔන්න ඔතන තමයි වැඩේ තියෙන්නෙ අද කාලෙ. ආදි කාලෙ භූමිය, ඉඩකඩ පිළිබඳ ගැටලුවක් තිබුණෙ නැහැනෙ. ඒ විතරක් නෙවෙයි බොහොමයක් නිවාස සැලසුමත් හරිම සරලයි. අද වෙනකොට ඒ දෙපැත්තම දෙවිදිහකින් විශාල වෙනස්වීම්වලට භාජනය වෙලා...”
* ඒ කිව්වෙ?
“ඉඩම පර්චස් හතරකට පහකට සීීමා වේද්දි නිවාස සැලසුම් අතිශය සංකීර්ණ වෙලා. ඒ නිසා නිවාස ඉදිකිරීමේදී අතිශය සැලකිලිමත් විය යුතුමයි. දැන් ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම්... පළමුවෙන්ම කළ යුත්තේ කුමක්ද?
මුලින්ම නිවෙස ඉදිකරන භූමිය පරීක්ෂා කළ යුතුයි. එතැනදි තීරණය කරන්න පුළුවන් බහිරව පූජාවක් කළ යුතුද නැද්ද කියලා.”
* බහිරව පූජාව අත්‍යවශ්‍යම දෙයක් නොවෙයිද?
“මෙහෙමයි.... අදාළ භූමියේ පැරැණි නිවෙසක්, ළිඳක්, වළක්, පැරැණි දැවැන්ත වෘක්ෂයක් වගේ දෙයක් තියෙනවා නම් බහිරව පූජාවක් කළ යුතුමයි. එහෙම නැතුව අගලක්වත් නැති සමතලා බිමක් නම්.... අපි හිතමු වෙන්දේසි ඉඩමක් කියලා. එතැනදි ඔබ මිලදී ගන්නා බිම් කොටසේ ගුප්ත බලපෑමක් නැත්නම් බහිරව පූජාවක් කළ යුතු නැහැ.”
* ඔබතුමා මුලින් කියූ සාධක... පැරැණි නිවාස, ළිං, ගස් වගේ දේවල් වෙන්දේසි ඉඩම්වල දකින්න නැහැනෙ. ඉඩම සංවර්ධනය කරනවා කියන්නෙ තියෙන ගස් ටිකයි, පස් ටිකයි විකුණලා සමතලා කරල දාන එකනෙ...?
“හරියටම හරි. එයාල එහෙම කළාට ගුප්ත විද්‍යා දැනුම සහිත පළපුරුදු ඡ්යොතිර්වේදියකුට නොපෙනෙන දෝෂ සහ බලපෑම් හඳුනා ගන්නට පුළුවන්. එවිට බහිරව පූජාවක් කිරීමට නිර්දේශ කරනවා. එමඟින් අදෘෂ්‍යමාන බලවේග ඉඩමෙන් පිටමං කරන්න පුළුවන්. එය කළ යුතුමයි.”
* අපි මෙහෙම හිතමු... ජනවාස වූ ඉඩමක හෝ නගරයක් මැද වගේ කුඩා ඉඩමක බහිරව පූජාවක් වගේ දෙයක් කිරීම අසල්වාසීන්ට බාධාවක් වෙන්නේ නැද්ද?
“බහිරව පූජාවක් පැවැත්වීමේ නිවැරැදි පිළිවෙත වෙනම ලිපියකින් පැහැදිලි කරමු. ඔබ කිව්ව විදිහෙ බාධාවලින් තොරව බහිරව පූජාවක් කිරීමේ ක්‍රමවේදය ශාස්ත්‍රය තුළ සඳහන් වී තිබෙනවා. ඒ විදිහට භූමිය තෝරා ගත්තාට පසුව සිවිල් ඉන්ජිනේරුවරයෙක් ලවා පසේ තත්ත්වය පිළිබඳ විමසීමක් කිරීමත් හොඳයි. ස්ථාවර ඉදිකිරීමකට ඒ උපදෙස් අත්‍යවශ්‍යයි.”
* මට තව ගැටලුවක් තියෙනවා. ඉඩමේ හැඩය බලපාන්නේ නැද්ද මිලදී ගැනීමකදී?
“ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ඉතින් අද කාලෙ නියත අවධානයක් යොදවන්න අමාරුයි. ඒ නිසා ඉඩමේ හැඩය නිසා ඇති වෙන දෝෂ මඟහරවා ගත හැකි ක්‍රම තියෙනවා.”
* ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නකො...
“ඉඩමේ හැඩයට අනුව නිවාස සැලසුම ඇඳීමෙන් වගේම ඉර නඟින දිශාව පිළිබඳ සැලකිලිමත් වීමෙන් එම දෝෂ මඟහරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශාස්ත්‍රය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් කළ යුතුයි. මොකද කිව්වොත් බොහෝවිට කෙනෙක් නිවෙසක් ඉදිකරන්නේ ජීවිතයටම එකයි. එය ඵලදායී, සුවදායී ස්ථානයක් බවට පත්කර දීමේ වගකීම ඒ සඳහා දායක වෙන සැමටම තියෙනවා.”
උපදෙස් - ඡ්යොතීර්කීර්ති, දේශමාන්‍ය, ආචාර්ය මාවනැල්ලේ
ජානක රත්නායක