වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
ජ්‍යොතිෂ ගැටලු
අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ෙජ්යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
සැමියා නින්දෙන් බිය වෙයි
මාගේ ස්වාමියා සතියේ දින දෙකක් පමණ රාත්‍රියේ නින්දෙන් බිය වී කෑගසා අවදි වෙයි. එයට හේතුව හා ප්‍රතිකාර කියන්න.
කඩවත - ප්‍රියංගනී
ඔහුගේ හඳහනට අනුව මේ ගෙවෙන්නේ රාහුගේ මහ දශාවේ කේතු අතුරු දශාවයි. උපතින්ම රාහු ග්‍රහයා නරක ලෙස පිහිටා ඇත. එම කාලය ඔහුගේ කායික මානසික මට්ටම පිරිහෙන අතර ගෙදර රැඳී සිටීමට ප්‍රිය නොකරනවා ඇත. නිතරම තේරුම් නැති ගමන් බිමන් යොදා ගනී. මෙවැනි කාලවලදී අමනුෂ්‍ය බලපෑම් ඇතිවන අතර මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේමය. ආයුර්වේදයට අනුව අධික ලෙස මත්ද්‍රව්‍ය ගැනීමෙන් මොළයේ ස්නායු දුර්වලතා හටගන්නා බැවින් මේ වන විටත් ඔහුගේ ස්නායු අක්රීයත්වය ඇති බව සඳහන් කරමි. පළමුව සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන ඔහු සහභාගී කරගෙන එය දින හතක් අඛණ්ඩව පවත්වන්න. නවග්‍රහ පූජා තබා, දෙහි පුහුල් කපා, අභිසම්භිධාන යන්ත්‍රය පලඳවන්න. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදෙස් මත හිසට සුදුසු තෙලක් දමන්න. ප්‍රතිකාර කරන්න. ඉදිරි කාලයේ ඉතා අපල බව සඳහන් කරමි.
නිෙවසේ දෝෂ
මාගේ නිෙවසේ දළ සටහන හඳහන සමඟ එවා ඇත. නිවෙසේ තිබෙන දෝෂ සඳහන් කරන්න.
පන්නිපිටියේ - සුධර්මා
ඔබගේ හඳහනට අනුව සෙනසුරුගේ මහ දශාව ගෙවෙන අතර සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය ගෙෙවයි. එමෙන්ම ඔබගේ නිෙවසේ ප්‍රධාන දොර පිහිටා තිබීම ගෘහ මූලිකයාට අපල ගෙන දේ. එය වෙනස් කළ යුතු වන්නේය. නියමිත පාදයකට දොර තැබිය යුතුය. මේ වන විට ඔබ දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති අතර ස්වාමියාගෙන් වෙන්ව ඇති බවද සඳහන් කළ හැකි වේ. පවුල තුළ අසමගිය පැතිරෙයි. මෙම කරුණු නිවැරැදි කරගන්න.
රාත්‍රී නින්දේදී හීන පෙනෙයි
මා හොඳ රැකියාවක් කරමි. නමුත් විවාහ වී නොමැතිය. රාත්‍රී නින්දේදී හැඩි දැඩි පුද්ගලයකු අඩන්තේට්ටම් කරන බව දැනී ඇහැරෙයි. එම මොහොතේදී මුළු ගතම දහඩියෙන් තෙත් වී මරණ බියක් දැනේ. මෙයට පිළියම් තිබේද?
රාගම - ප්‍රියානී පෙරේරා
ජ්‍යොතිෂයට අනුව ඔබ හඳහනේ නරක ග්‍රහයෝග කීපයක් යෙදී ඇති බැවින් විවාහය සිදු නොවෙයි. නමුත් එම අවශ්‍යතාවය තදින් දැනෙන කාලවකවානුවක් වෙයි. එම නිසා ඔබගේ මානසික තත්ත්වය මල්වරවීමත් සමඟ තිබෙන කළුකුමාර දෝෂය ඇති බව පෙනේ. ආයුර්වේදයට අනුව මානසික ආතතියකින් ඔබ පෙළෙන බව පෙනෙනු ඇත. මෙයට දීර්ඝ කාලීන විසඳුම හඳහන් ගළපා සුදුසු සහකරුවකු විවාහ කර ගැනීමයි. එම තත්ත්වය උදාකර ගැනීමට පළමුව අඟහරුවාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 21ක් සම්පූර්ණ කර දක්ෂ ඇදුරෙකු ලවා ශිව පාර්වතී පූජාව තබා, දෙහි පුහුල් කපා, අභිසම්භිධාන යන්ත්‍රය පැලඳීම ඉතා යෝග්‍ය වෙයි.
එතෙක් දිනපතා රාත්‍රී නින්දට පෙර බුදුන් වැඳ රතන සූත්‍රය කියා නිදා ගැනීම තාවකාලික ප්‍රතිඵල ලැබිය හැකි වේ.
රහස් ප්‍රදේශයේ ගැටලුවක්
දැනට වසර ගණනාවක සිට මාගේ රහස් ප්‍රදේශයෙන් නිතර සුදු පාට දියරයක් පිටවෙයි. එහි දුර්ගන්ධයක් ද හමයි. මෙය භූත දෝෂයක් ද?
යාලගොඩ - පද්මකාන්ති
ඔබේ හඳහන පරීක්ෂා කළෙමි. මෙයට ග්‍රහ බලපෑම් බලපාන අතර, ආයුර්වේදයට අනුව ස්වේද ප්‍රදරය යන සුද යෑමේ රෝගය බව මෙහි සඳහන් කරමි. මෙය කාන්තා රෝගයකි. මෙයට ප්‍රතිකාර තිබේ. එයට ගැළපෙන හොඳ විරේකයක් කර, ඇඟ නිවෙන ආහාර ගැනීම ප්‍රථමාධාරයක් ලෙස ඔබට කළ හැකි ප්‍රතිකාරයකි. දක්ෂ වෛද්‍යවරයෙකු හමුවන්න.