අධ්‍යාපනය ජයග්‍රහණය තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් නොවේ

මැයි 19, 2021

 

දියුණුව එය අප හැමගේ බලාපොරොත්තුවයි. දියුණුවීම සඳහා අප සතුව ඉලක්කයක්, අරමුණක් තිබිය යුතුය.

රැකියාවක ඉහළ තනතුරකට යාමට හෝ ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අපට කුමනාකාරයේ කුසලතා තිබිය යුතුදැයි දැන ගැනීම ඉතාමත් වැදගත් ය. මන්ද අධ්‍යාපනයෙන් ඉහළට ම ගිය ද ඇතැම් පුද්ගලයන් සාර්ථක වූ බවක් නොපෙනෙතත් ඇතැම් පුද්ගලයන් එතරම් විසල් අධ්‍යාපනයක් නොලැබුව ද තම දියුණුව ළඟා කරගෙන අති බව දකින්නට ලැබෙන හෙයිනි.

අපට වැරැදුණේ කොතැනදැයි සිතමින් ඇතැම් හු සුසුම් හෙළන්නේ ද මේ හේතුව නිසයි. ඇතැම් විට එවැනි පුද්ගලයන්ගේ පවුල් ජීවිත, සමාජ ජීවිතය පවා අසාර්ථක විය හැකිය. එමනිසා සැබැවින් ම සමාජයේ දී වඩාත් වැදගත් වන දියුණුව ළඟා කරගත හැකි කුසලතා මොනවාදැයි දැන ගැනීම ඔබට වැදගත් වේවි. අද අප ඔබව දැනුම්වත් කරන්නේ ඒ පිළිබඳවයි.

පාසලෙන් ලබා ගන්නා අධ්‍යාපනය පුද්ගලයකුට වැදගත් ය. එහෙත් පාසලෙන් ලබා ගන්නා අධ්‍යාපනය පුද්ගලයකුගේ ජයග්‍රහණය තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් නොවේ. මෙය සමාජය දෙස විමසිල්ලෙන් බැලීමේ දී පෙනී යන කරුණකි. නමුත් මෙයින් අදහස් කරන්නේ යමෙක් ඉගෙන ගැනීම නොකළ යුතු බව නොවේ.

විධිමත් අධ්‍යාපනය තුළින් පුද්ගලයකුට ඕනෑම තැනක තම පැවැත්ම තහවුරු කරගන්න, ජීවත් වෙන්න, සමාජයට වටින දෙයක් දායාද කරන්න වගේම තමාගේ ඉලක්ක වේගවත් කරගැනීමේ හැකියාව පවතී. එහෙත් අප පිළිගත යුතු අනෙක් කාරණය වන්නේ පාසලෙන් ලබන අධ්‍යාපනය පමණක් මේ සඳහා නොසෑහෙන බවයි. එසේනම් දියුණුව කරා යාමට පුද්ගලයකුට අවශ්‍ය අනෙක් දේ කුමක්ද?

පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කරගැනීමට යන ගමනේ දී දියුණු කරගත යුතු කුසලතා දෙකක් ඇත. මේ කුසලතා දෙක පිළිබඳ අපේ රටේ කතාබහ නොවෙන තරම් ය. මේ කුසලතා දෙක වන්නේ තාක්ෂණික කුසලතා හා මානව කුසලතා ය. මානව කුසලතා මෘදු කුසලතා ලෙසින් ද හැඳින්විය හැකියි. එමෙන්ම එය ජීවන නිපුණතා ලෙසින් ද හැඳින්විය හැකි වේ.

තාක්ෂණික කුසලතා යටතට ගැනෙනුයේ පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වන විධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයයි. ඔබ පාසල් ගොස් යම් විෂයයකට ඉහළ ලකුණු ලබා ගන්නවායැයි හිතුවොත් ඉන් අදහස් වන්නේ ඔබ සතුව තාක්ෂණික කුසලතාවක් හෝ තාක්ෂණික කුසලතා කිහිපයක් ම පවතින බවයි.

සරල උදාහරණයක් ගතහොත් ඔබට භාෂා දෙකක් කතා කළ හැකි නම්, ඉන් අදහස් වන්නේ ඔබට භාෂාව සම්බන්ධ තාක්ෂණික කුසලතා දෙකක් තිබෙන බවයි. ඔබට පරිගණකයකින් හොඳින් අපහසුවකින් තොරව වැඩ කළ හැකි නම් ඉන් අදහස් වන්නේ පරිගණකය සම්බන්ධයෙන් ඔබට තාක්ෂණික කුසලතා පවතින බවයි. ඔබ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා නම් ඔබට රෝගියකු පරීක්ෂා කොට ඔහුට ඇති රෝගය නිර්ණය කිරීමෙන් අවශ්‍ය ඖෂධ ලබා දීමේ තාක්ෂණික කුසලතාව ඇත.

මෙයින් කියැවෙන්නේ පාසල්, විශ්ව විද්‍යාල හා අනෙකුත් සියලුම පාඨමාලාවන් මඟින් සංවර්ධනය කරන්නේ තාක්ෂණික කුසලතා බවයි. මේ කුසලතා දෙක පිළිබඳ ප්‍රායෝගික ලෝකය තුළින් ගත් නිදසුනක් මඟින් පැහැදිලි කළ හොත් අපි වෛද්‍යවරුන් දෙදෙනෙක් ගනිමු.

මේ වෛද්‍යවරුන් දෙදෙනා එකම ආකාරයෙන් දක්ෂ වන අතර ඔවුන් දෙදෙනාම යම් රෝගයක් සඳහා ලබා දෙන්නේ එකම වර්ගයේ ඖෂධ ය. එසේ නම් ඔබ මේ වෛද්‍යවරු දෙදෙනාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාමට කැමැති කුමන වෛද්‍යවරයා ළඟට ද? අනිවාර්යයෙන් ම ඔබේ පිළිතුර වන්නේ මෙයින් ඔබ ගිය විට සුහදව පිළිගන්න, ඔබත් එක්ක කතා බහ කරන, ප්‍රියමනාප භාවයක් ඇති වෛද්‍යවරයා ළඟට යාමට කැමැති බවයි.

මෙය වැඩ ලෝකයේ දී විමසා බැලුවහොත් එකම මට්ටමේ සිටින, එකම ලෙසින් දක්ෂව සේවය කරන සේවකයන් දෙදෙනකුගෙන් එක් අයකුට උසස් වීමක් ලබා දිය හැකි නම් ඒ උසස්වීම ලබා දෙන්නේ වැඩවලට එහා ගිය දක්ෂතාවක් මත පදනම්ව ය.

මෙහිදී අපට පෙනී යන කරුණක් වන්නේ තාක්ෂණික කුසලතාවක් පුද්ගලයකුට අවශ්‍ය වන්නේ තමාට රැකියාවක් සොයා ගැනීමට යි. මෙය මූලික එළැඹීමේ සුදුසුකමක් පමණි. නමුත් ඔබ රැකියාවේ ඉහළට යාමට මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට නම් පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට නම් ඔබේ සමාජීය ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන්ම ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම් තාක්ෂණික කුසලතාව පමණක් ඔබට සෑහෙන්නේ නැත.

එහෙම නම් ආරම්භ කළ ගමන ඉදිරියට සාර්ථකත්වය ලබා ගනිමින් යාමට නම් අවශ්‍ය වන අනෙකුත් කරුණු කාරණා පිළිබඳ අපි ලබන සතියේ ඉලක්කයෙන් කතා කරමු.

 

 

 

උපදෙස් ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු