කෝවිඩ් සමයේ අඹු සැමි ගැටලු අවබෝධයෙන් විසඳා ගන්න

ජූලි 7, 2021

 

වෙනදට උදේම ගෙදරින් ගිහින් හවස්වෙලා ගෙදර එන අඹු සැමියො දැන් දවසෙම ගෙදර. නිතර දකින කුකුළගෙ කරමලේ සුදු වෙලා පේනවා වගේ දවස තිස්සෙම එකට ගැටි ගැටී ඉන්න දෙන්න දෙමහල්ලන් අතරේ පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇති වෙන එක ස්වාභාවිකයි. ඇතැම් අඹු සැමියන් එකට ගත කරන්න ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ආදරය තව තවත් වැඩි කර ගන්නවා. ඒත් දවසෙම ගෙදරට කොටුවෙලා ගතවෙන මේ කාලය බොහෝ දෙනකුගේ මානසික ආතතිය වැඩි කරනවා . ඉතිං නිවෙසෙට වී සිටීමට සිදුව ඇති මේ කාලේ ඔබේ නිවෙසේත් පුංචි පුංචි ගැටලු මතු වෙලා ඇති. දෙන්නා දෙමහල්ලන් අතර ඇති මේ ගැටලු මුලදීම නිරාකරණය කරගත්තොත් ජීවිතය ඉදිරියට ගෙන යෑමට පහසුවක් වේවි. ඒ සඳහා කරන්න තිබෙන්නේ ඉතාමත් පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට පුංචි වචනයකින් සැමියාගේ බිරියගේ සිතට ලොකු සහනයක් ආදරයක් ඇති කරන්න ඔබට පුළුවන්. අපි ඒ ගැන කතා කරමු.

ඔබේ ගැටලුවත් අපට ලියන්න. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු.

 

අපගේ ලිපිනය,

කියන්න බැරි දේ ලියන්න

තරුණී- ලේක් හවුස්

කොළඹ 10

 

 

ප්‍රශ්නය

33 හැවිරිදි මා විවාහ වී අවුරුදු තුනකි. තවම දරුවන් නොමැත. කෝවිඩ් තත්ත්වය නිසා මේ දිනවල සැමියා රැකියාවට නොගොස්, ඔන්ලයින් ක්‍රමයට නිවෙසේ සිටම රැකියාවේ වැඩකටයුතුවල නිරත වෙනවා. නිවෙසේ සිටියත් ඔහු ගෙදර දොරේ කටයුතුවලට මට කිසිදු සහයක් ලබා නොදෙයි. ඒ නිසා මට ඔහු ගැන ඇති වන්නේ තරහක්. ඔහු රැකියාවට යන කාලයේ ඉතා කාර්යබහුලව සිටියා. නමුත් නිවෙසේ සිටියදීවත් ඔහු මා සමඟ වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. තනියම පැත්තකට වී ඔහු ඔහුගේ වැඩ කටයුතුවල නිරත වී සිටියි. ඔහු නිතරම මාව වදයක් සේ සිතයි. දැන් මා නිතරම කරන්නේ ඔහුගේ අඩුපාඩුවලට බැන වදිමින් රණ්ඩු කිරීමයි.

මට මේ දේවල් නිසා ජීවිතය පවා එපා වී ඇත. මේ ගැටලුව විසඳා ගැනීමට උපදෙසක් ලබා දෙන්න.

මහනුවර - සජානි

 

පිළිතුර

වෙනදට රණ්ඩු වෙන්න දවසේ කාලය මදි වුණාට දැන් මේ කොරෝනා නිසා ඒකට ඕනවටත් වඩා කාලය හම්බ වෙලා. නමුත් මේ රණ්ඩු සරුවල්වලින් ඔබ නොහිතන පලුද්දක් ඔබගේ ආදරයට ඇති වෙන්න පුළුවන්. එහෙම වෙනවට ඔබ කැමැති නැහැ නේද? එහෙනම් කොහොමද මේ දවස්වල සැමියා සහ බිරිය අතර ආදරය වෙනදා වගේම නොබිඳී තියාගන්නේ...? මේ විස්තර ටික හොඳින් කියවන්න. ඔබේ සැමියාටත් මෙය කියවන්නට දෙන්න. ඔහු මෙය කියවූවත් නැතත් ඔබේ අතින් සිදුවිය යුතු කාරියයන් කරන්න. වැඩි දවසක් යන්න කලින් ඔබට හොඳ ප්‍රතිපලයක් ලැබේවි.

 

සැමියා සහ බිරිය එක්වී වැඩ බෙදා ගන්න

 

ගෙදර දොරේ වැඩ කටයුතු බිරියම පමණක් කළ යුතුයි කියා නියමක් නැත. ඔබ ආහාර පිසින විට ඔබට පුළුවන් ඊට අවශ්‍ය එළවළු ඔහුට කියා කපා ගන්න. ඔබ නිවෙස අතු ගානවිට ඔහුට කියා මිදුල අතුගාන්න. නමුත් ඔහුගෙන් ඊට අවශ්‍ය සහය ලබා ගත යුත්තේ ඔහු නිදහසේ සිටින විට පමණයි. ඔහු අතිශය කාර්යබහුල මොහොතක හෝ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක හෝ දුරකතන ඇමතුමක සිටින අවස්ථාවකදී එවැනි දේවල් පැවසීම සුදුසු නොවේ. එයින් ඔබ ඔහුට කරදරයක් වැනි හැඟීමක් ඇති විය හැකියි. ආදරයෙන් කතාබස් කර ඔහුගෙන් සහය ලබා ගන්න ඔබ බුද්ධිමත් විය යුතුය.

  •  තමන්ගේ ලෝකෙ තනිවෙන්න
  •  පුංචි වෙලාවක් හදාගන්න
  •  අණ කිරීම නොකරන්න.
  •  නිදහසට බාධා නොකරන්න.

දවස තිස්සෙම ගෙදර ඉද්දී සැම විටම අනෙක් කෙනාගේ පස්සෙම වැටිලා ඉන්න එක ඉබේම සිදුවන දෙයක්. නමුත් ඔබ නොහිතුවාට එයින් සහකරුගේ සිතේ පීඩනයක් හට ගන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාගේ දුරස් වෙලා තමන්ගේ ලෝකෙ තනිවෙන්න පුංචි වෙලාවක් හදාගන්න එක නුවණට හුරුයි.

තමන් ආස කරන වැඩක යෙදෙන්න මේ වෙලාවට ඔබටත් පුළුවන්. පොතක් කියවන්න, රූපවාහිනිය බලන්න වගේ මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකමක් තෝරා ගන්න එක වඩාත් සුදුසුයි.

විශේෂයෙන්ම ඔහු කාර්යයාලීය වැඩ කරන විට ඔහුට බාධා කිරීම සුදුසු දෙයක් නොවෙයි.

 

දෙදෙනා එකමුතු වී නිවෙසේ වැඩ කරන්න

 

දෙදෙනාම එකමුතු වී එකම කාර්යයක නිරත වෙන්න. එයින් අදහස් කරන්නේ දවස පුරාම කරන සෑම වැඩකටම ඔහුව හවුල් කරගන්න කියන එක නෙවෙයි. දවසට එක් වරක්වත් හවුලේ වැඩක් කරන්න. මිදුලෙ මල් පාත්තියක් සකසන එක එහෙම නැත්තම් දෙදෙනාම එකතු වෙලා ආහාර වේලක් පිළියෙල කරන එක වගේ දේකින් ඔබට පුළුවන් සහකරුවරුත් සමඟ නැවත නැවත ආදරයෙන් ප්‍රීතියෙන් බැඳෙන්න.

ඔහු ඒ දේවල් වලට අකැමැති නම් බල කරන්න එපා. එවිට ඔහුට තරහා යන්න පුළුවන්. නමුත් ඔහු කැමැති කාර්යයක් තෝරාගෙන එය ඔබත් හවුල්වී කිරීමෙන් ඔහුට ඔබ ගැන ඇති පැහැදීම වැඩි කරගන්න පුළුවන්. අවසානයේ ‘‘අනේ මේ මගේ වැඩේටත් චුට්ටක් හවුල් වෙන්න. මට ඒක තනිවම කරන්න අමාරුයි ‘‘ කියා අනුකම්පාව මතහෝ ඔබේ කාර්යයට ඔහු හවුල් කරගන්න තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි.

 

සහකරුගේ අඩුපාඩු කීම නවත්වන්න

 

ඔබ නිතරම මැසිවිලි නගන්න ගත්තොත්.. ඔහු කරන කරන සෑම වැඩකටම අඩුපාඩු කියන්න ගත්තොත් ඉක්මනටම දෙන්නගෙ ආදරේ යටපත් වී රණ්ඩු දබර මතු වෙන්න පුළුවන්. ඔහු කරන වැඩවල අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙත් මේ අඩු පාඩු ගැන නිතර නිතර කියමින් රණ්ඩු වීමට සුදුසු වෙලාවක් නොවෙයි. ඒ වෙනුවට ඔහු කරපු වැඩ කොටස අගය කරන්න. අඩුපාඩු ඇත්නම් දෝෂාරෝපණ ස්වරූපයෙන් නැතුව ආදරයෙන් කියන්න. නිතර නිතර වාද කර කර ඉන්නවට වඩා, මේ වෙනස මේ අපහසු කාලය හිත සැහැල්ලුවෙන් ගෙවා ගන්න ඔබට ලැබෙන තෑග්ගක් වේවි.

එකම දෙයක් රස විඳින්න

 

මේ මොහොතේ මනස සන්සුන්ව තියාගන්න එක වගේම දෙන්නගේ ආදරය යහපත්ව පවත්වා ගැනීම ඉතාම වටිනවා. ඔබට පුළුවන් ඔහු එක්ක එකතු වෙලා දෙන්නටම රස විඳින්න හැකි දෙයක් සොයා ගන්න. ගීතයක් අහන්න, චිත්‍රපටියක් බලන්න, එහෙම නැත්නම් පොතක් කියවන්න.

ඒ වගේම මේ රසවිඳින්න පටන්ගත්ත දෙය දෙදෙනාගෙම කැමැත්ත මත සිදුවන දෙයක් විය යුතුයි. ඔහු ගීත අහන්න අකැමැති නම් ඔහු සමඟ ගීතයක් අහන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒක අනෙක් කෙනාට එපා වෙන්න පුළුවන්. දෙදෙනාම එකතු වෙලා ලස්සන අත්කම් වැඩක් වුණත් කරන්න පුළුවන් මේ වෙනුවට. එහෙත් ඔහු ඔබ කැමැති දේ වලට අකැමැති නම් කළ යුත්තේ ඔහු ඒවාට බලහත්කාරයෙන් කැමැති කරවාගැනීමට යාම නොව ඔහු කැමැති දේ අසා ඔබ අකැමැති වුවත් අපහසුවෙන් හෝ එයට සහභාගි වීමයි.

මේ මොන දේ කළත් දෙන්න අතර තිබෙන ආදරේ නොසෙල්වී තියාගන්න පුළුවන් ඔබටමයි. ඔහු වෙනස් වීමට අකැමැති නම් කළ යුතු හොඳම දේ වන්නේ ඔබ ඔහු කියන ලෙස වෙනස් වීමයි. ඒ සඳහා කැපවීමක් කිරීමට ඔබ නිරතුරුවම සූදානම්ව සිටය යුතුයි. එසේ වූ විට නිවෙසේ සාමකාමී පරිසරයක් ගොඩ නැගෙනු ඇත.

 

 

 

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ